[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2022-12-30

සංවරය

සමාජයෙහි නිරන්තරයෙන් ඇස ගැටෙන්නේ සාමකාමී වාතාවරණයකට වඩා නොසන්සුන්වූ, අසහනකාරී බවකි. අසංවර බවකි. මිනිසා විසින් ම නිර්මාණය කර ගන්නා ඒ වාතාවරණය පීඩාවට පත්කරන්නේ මිනිසා ඇතුළු සමස්ත පරිසරය ම ය.

දුක් කරදරවලින් තොර සාමකාමී ජීවිතාපේක්ෂාව සෑම පුද්ගලයකුට ම පොදු ය. සියල්ලෝ අපේක්ෂා කරන්නේ සතුටින් ජීවත් වන්නට ය. හොඳ හෝ වේවා නරක හෝ වේවා, සියල්ල කරන්නේ සතුට ළඟා කර ගන්නටයි. ගැටලුව ඇත්තේ ද එහිම ය. හොඳ, යහපත පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත. එවැනි ගුණ ඇත්තකුට මානසික පීඩාවන්, පසුබැසීම් ඇති නොවන්නේ ය. එහෙත් අයහපතින්, නරකින් නම් කෙනෙක් සතුට සොයන්නේ එතැන නිර්මාණය වන්නේ ව්‍යාජයක් මිස සැබෑ සාමයක්, සතුටක්, සංහිඳීමක් නොවේ.

තමන් වපුරන්නේ යම් දෙයක් ද ඊට අනුව අස්වනු ලැබෙන බව අවබෝධ කර ගන්නට හැකි නම්, එය නිතර නිතර සිහිපත් කරන්නට හැකි නම් ඕනෑම කෙනකුට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය දුර නැත. ඒ, අයහපතට, පාපයට බියවීම තුළ, ලජ්ජාවීම තුළ ඒ පුද්ගලයා වෙතින් අකටයුත්තක් සිදු නොවන බැවිනි.

අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු එසේ තමන්ටත්, අනුන්ටත් අනර්ථයක් නොවන ලෙස අපගේ පැවතුම් හසුරුවා ගන්නට ය. සම්බුදු දහම තුළ සීලය හඳුන්වා දී තිබෙන්නේ ඒ සංවරකම හික්මීම ඇති කර ගන්නට ය.

තමන්ටවත් බරක් නොවන ලෙස ජීවිතය හසුරුවා ගන්නට බැරි පුද්ගලයාට අනුන්ට බරක් නොවී ජීවත්විය නොහැකි ය. එහෙයින් පළමුව යහපත් සිතිවිලි තුළ යහපත් ක්‍රියාකාරකම් ගොඩනඟා ගනිමින් සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට පුරුදු පුහුණූු විය යුතුව ඇත. බෞද්ධයාට පංච ශීල ප්‍රතිපදාවෙන් අරඹා ශීල ශික්ෂාව ඉදිරියට ගෙන යනවා නම්, එතැනට පත්වීම අසීරු නොවේ.

සීලයෙන් හැඩ ගැසුණු පුද්ගලයා තුළ නීවරණ දුරුකිරීමේ හැකියාව ඇති වේ. අල්පේච්ඡ පුද්ගලයෙක් වේ. අනුන්ගේ ගරු සැලකිලි අපේක්ෂා නොකළ ද සමාජය ඒ පුද්ගලයාට ගරු කරයි. සිල්වත් කෙනකුට ගැරහුම් කරන්නට, අකටයුත්තක් කරන්නට, නින්දාවක්, අපහාසයක් කරන්නට පෙළඹෙනවා නම් ඒ ඉතාම කලාතුරකිනි. යම් හෙයකින් අටලෝ දහමට අනුව එවැනි තත්ත්වයක් උදාවූයේ වුව ද හිරු දුටු පිනි සේ වහා ඒ පුද්ගලයාගේ අපකීර්තිය දුරු වී යන්නේ ය.

එමෙන් ම සිල්වත් තැනැත්තා පෝෂණය කිරීම පහසු ය. තමන්ගේ මූලික අවශ්‍යතා අවමව පිරිමසා ගනී. බොහෝ දේ අපේක්ෂා නොකරයි. එවැනි පුද්ගලයාට ඕනෑම දුෂ්කර කාලයක වුව ජීවත්වීම ඉතා පහසු ය. එමෙන් ම සිල්වත් වූ කල අනුන් සමඟ ගැටීමක් ඇති නොවේ. ක්‍රෝධයෙන් වෛරයෙන්, ඊර්ෂා සිතිවිලිවලින් සිත පුරවා නොගනී. අනවශ්‍ය දැයින් සිත පුරවා නොගැනීම නිසා ඔහු සන්සුන් ය.

නිරෝගී බව හා අපගේ ආහාර රටාව අතර ඇත්තේ දැඩි සම්බන්ධයකි. සිල්වත් පුද්ගලයා ආහාරයේ පමණ දනී. එවිට ඔහු නිරෝගී පුද්ගලයෙක් ද වේ.

මේ සිල්වත් බවේ අනුසස් ස්වල්පයක් පමණි. සතුටින් ජීවත්වීමට ඒ පැවැත්ම වුව ප්‍රමාණවත් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අප සමාජය තුළ හැල්මේ දුව යන්නේ කුමක් අත්පත් කර ගන්නට ද? අඩුම තරමේ සතුන් මැරීමෙන්, සොරකමින්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, මත්වතුර හා මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින්නට උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද? වැඩි දෙනෙක් සතුට උරගා බලන්නේ ද මේ සිල්පද බිඳ දැමීමෙනි. ඉතින් ඒ ගමනේ අවසානය දුක්ඛ දායකම ය. මෙලොව ද දුක් සහිත ය. පරලොව ද දුක් සහිත ය. එය තේරුම් නොගන්නාතාක් දුක පැරදවිය නොහැකි ය.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]