[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන් නොව ජය ගත යුතු තමන් ය

අනුන් නොව ජය ගත යුතු තමන් ය

තමන් ගැනම පමණක් සිතන ආත්මාර්ථකාමී පුද්ගලයා ජීවත් වන්නේ තමා සඳහා ම පමණි. සමාජයේ අන් අයට ආදරය, ගෞරවය කිරීමක් ගැන මෙවැන්නන්ට හැඟීමක් නැත. සුළු දෙයකට පවා අඬදබර කරන ඔහුගේ හෝ ඇයගේ හෝ මුළු ජීවිතය ම දුකින් පිරී ජීවන ගමනකි.

සමාජයේ අන් අය එදිරිවාදිකාරයින් සේ සැක කරන ඔහු අන් අයගේ දියුණුව, සාර්ථකත්වය කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. අන් අය සතු දේට ලොබ බඳින ඔහුට හෝ ඇයට අන්‍යයන්ගේ සතුට විඳ දරා ගත නො හැකිය. අවසානයේ සිත මුළුමනින් ම දූෂ්‍ය කර ගන්නේ, සමාජයට ම අනතුරුදායක අයකු බවට පත්වන්නේ ය.

ආත්මාර්ථකාමී පුද්ගලයා දුප්පත් වූවත්, පොහොසත් වූවත් ඔහු හෝ ඇය මෙහෙයවන්නේ, තෘෂ්ණාවෙනි. ලද දෙයින් කිසි දිනෙක සතුටු වෙන්නට ඔවුනට නොහැකි ය.

සියලු දෙනාගේ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ලොව ප්‍රමාණවත් ය. එහෙත් එක් පුද්ගලයකුගේ තණ්හාව සන්සිඳුවීමට නම් මුළු ලොවම වුවත් ප්‍රමාණවත් නොවේ” යැයි මහත්මා ගාන්ධිතුමා පවසා ඇත.

යමෙක් පොහොසත් පුද්ගලයෙක් නම් ඔහු තමන් වෙසෙන නිවස ගැන,තමන් සතු දේපළ වස්තුව පිළිබඳ නොසෑහේ. නිරතුරුව ම තව තව මුදල් සෙවීමට සිතන ඔහු ඉතාම සුදුසු කටයුත්තක් සඳහා වූවත් තමන් සතු වස්තුවෙන් බිඳුවක් හෝ පරිත්‍යාග කරන්නේ ද නැත. වස්තුව විනාශ වේ ද? සොරු පැහර ගනී ද, කවුරු හෝ වංචා කරාවි ද? ආදී සිතිවිලි නිතර දෙවේලේ ඔහු තැවීමටත් දැවීමටත් පත් කරනු ඇත.

ඒ වගේ ම ඔහු දුප්පතෙක් නම්, නැතිකම නිසා ඔහුට දුක් විඳින්නට වේ. දුප්පතා නිතරම සිතන්නේ වස්තුව දේපළ රැස්කර ගන්නේ කෙසේ දැයි යනුවෙනි. යහපත් මාර්ගයකින් වස්තුව, දේපළ රැස්කර ගැනීමට අසමත් වූ විට දාමරික ලෙස හෝ ප්‍රචණ්ඩව හෝ ඒ දේ සොයා ගැනීමට පෙළඹේ.

ආත්මාර්ථකාමීත්වය යමකුගේ සිතේ ඇතිවන්නේ වැරැදි හැඟීම් හා ජීවිතයේ ඇති තතු අවබෝධ කොට ගැනීමට නොහැකි වීම නිසා ය. තෘෂ්ණාවේ, අන්ධ දෘෂ්ටියේ පිහිටා පවතින මේ ආත්මාර්ථකාමිත්වය විනාශකාරී ආවේගයකි. හැඟීමකි. මෙම සිතිවිල්ල වළක්වා ගනු නොලැබුවහොත් ඉන් සමාජයටත්, තමන්ටත් සිදුවන අවැඩ, දුක නිම්හිම් නැත.

ආත්මාර්ථකාමිත්වය අයහපත් විපාක ගෙන දෙන අහිතකර ප්‍රබල වූ සිතිවිල්ලකි. ඒ වගේ ම ප්‍රබල බලවේගයකි. අපේ සිතේ හට ගන්නා අපේ ම සිතිවිලිවලින් හටගන්නා ක්‍රියාවන්ගේ ඵල විපාක අප ලබන්නේ විශ්ව සාධාරණ සදාචාර නීතිය අනුව ය. දුක සහ වේදනාව අකුසල සිතිවිලිවල විපාකයකි. සැපත කුසල සිතිවිලිවල ප්‍රතිඵලයකි.

බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලට වඩා අපට බලපාන්නේ අපේ ම සිත්වල ඇතිවන සිතිවිලි ය. “අන් සියලු දෙනා ජය ගැනීමට වඩා තමන් ජය ගැනීම වඩා අගනේ ය. ආත්ම දමනයෙන්, සංවරයෙන් යුතු අයකු ලැබූ ජය දෙව්, බඹු, මාර ආදී කිසිවකුටවත් උදුරා ගත නොහැකි බව ධම්මපදයේ ඉගැන්වේ.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]