[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත පොබ කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ ගලයායේ පියදස්සී

සසුන් කෙත පොබ කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ ගලයායේ පියදස්සී

රූපං ජීරති මච්චානං නාම ගොත්තං න ජීරතී” රූපය දිරයි – නාමය නොදිරයි යන බුදුවදන පසක් කරමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2022 දෙසැම්බර් මස 19 වැනි දින අපවත් වූහ.

යො හොති විසාරදො ච – බහුස්සතො ධම්මධරො ච හොති
ධම්මස්ස හොති අනුධම්මචාරි – ස තාදිසො වුච්චති සංඝ සොභනො

යමෙක් ව්‍යක්ත ද, විශාරද ද, බහුශ්‍රැත ද ධර්මධර ද ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේ ද හෙතෙම සංඝ ශාසනය බබුළුවන්නෙක් වේ. මෙම බුදුවදන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ගලයායේ පියදස්සී නා හිමිපාණන් වහන්සේ ගේ ජීවන චරිතය හා ගැළපේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

උන්වහන්සේ අතිශය දුර්ලභ ගති ලක්ෂණ රැසකින් සමන්විත සංඝ පීතෘවරයාණන් කෙනකි. භික්ෂූත්වය ශෝභමාන කරන ගුණාංග රාශියකින් උන්වහන්සේගේ චරිතය සමන්විත වෙයි. ථෙරවාදී භික්ෂු විනයට අනුකූල සුපේශල ශික්ෂාකාමිත්වයෙන් ද, ධර්මය මැනවින් උගත් ධර්මධරයෙක් ලෙස දේශ දේශාන්තර ඤාණයෙන් පෝෂණය වූ බහුශ්‍රැත පඬිරුවනක් ලෙස ද පරාර්ථචරණය පරමාදර්ශය කොටගත් උන්වහන්සේ නිබඳවම ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම පැසසුමට පාත්‍ර විය. කිංස්බර් ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ගනිමින් උන්වහන්සේ සිදුකළ ජාතික, ආගමික, ශාසනික, සමාජිය සේවාවන් අගය කළ මහා බ්‍රිතාන්‍යයේ අග රැජිනිය වූ එළිසබෙත් මහ රැජින විසින් උන්වහන්සේ ර් ඕ ඡ් ගෞරව නාමයෙන් සම්භාවනාවට පාත්‍ර කළහ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙත පිරිනැමූ එම ගෞරව නාමය සමස්ත භික්ෂු සංඝ සමාජයටත්, පොදුවේ ශ්‍රී ලංකාවාසී ජනතාවටත් මහත් ආඩම්බරයක් ගෙන දෙන්නක් ම විය.

එවන් උත්තම ගණයේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකුට උපහාරයක් ලැබීමම අප භාග්‍යයක් කොට සැලකිය යුතු ය.

කෙසේ වුව ද මේ මොහොත වන විට සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතා ධර්මයට උන්වහන්සේට ද අනුගත වන්නට සිදු විය.

1947 වර්ෂයේ ජුනි මස 28 වැනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය නම් සුන්දර ගම්පියසක උන්වහන්සේ ජන්ම ලාභය ලැබූහ. අබේකෝන් මුදියන්සේලාගේ සුරවීර පියාණන් හා ඩිංගිරිමැණිකේ මෑණියන් උන්වහන්සේ ගේ මව්පියන් වූහ.

සම්භාවනීය පවුලකට උරුකම් කියූ ගලයාය පියදස්සී හිමියෝ පාසල් අවධියේ සිටම සමිති සමාගම් පිහිටුවා ගනිමින් කුඩා දරුවන් වෙනුවෙන් ළදරු පාසලක් ද ආරම්භ කළහ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමේ අරමුණින් ප්‍රදේශයේ අඩුපාඩුවක් ව පැවැති පුස්තකාල සේවාවක් ද ලබා දීමට ක්‍රියා කර ඇත. සංසාරයේ පුරන ලද පාරමිතා බලයට අනුව 1970 වර්ෂයේ ජුනි 11 වැනි දා ගලයායේ පියදස්සසී යන උතුම් ශාසනික නාමයෙන් ගිරපළාත ඔරුගල්සෑය පුරාණ විහාරස්ථානයේ දී ප්‍රව්‍රජ්‍යා භාවය ලැබූ උන්වහන්සේ 1971 වර්ෂයේ ජුනි මස 07 වැනි දා අධිශල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට තරම් පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වූහ. 1972 -1976 වර්ෂවල විද්‍යෝදය පිරිවෙනේ ත්‍රිපිටකාචාර්ය, ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලබා ගත් උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය ලැබීමෙන් පසුව පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් කටයුතු ආරම්භ කළහ. එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ව වැඩ විසූ මහාචාර්ය හම්බලව ශී‍්‍ර සද්ධාතිස්ස නාහිමියන්ගේ ආරාධනාව මත 1984 වර්ෂයේ දී උන්වහන්සේ එංගලන්තය බලා වැඩම කරමින්, පසුව කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අරඹා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවියම කැප කළහ. ජාත්‍යන්තර ධර්ම දූත සේවයට අමතරව උන්වහන්සේ වෙතින් විශාල සමාජ සත්කාර්යයන් සිදු විය. අඛණ්ඩව වසර 13ක් සිංහල අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට කටයුතු කළ උන්වහන්සේ උඩරට, පහතරට, නැටුම්, සිංහල ජන නැටුම් ආදි සංස්කෘතිකාංග තුළින් සිංහල සංස්කෘතියේ වටිනාකම එංගලන්තයට හඳුන්වාදීමට ක්‍රියා කළහ.

එනිසාම 2003 වර්ෂයේ දී එංගලන්ත කවුන්සිලයක් විසින් උන්වහන්සේ වෙත සම්මානයක් ද පිරිනැමීමට කටයුතු කර ඇත. මල්වතු මහ විහාර පාර්ශ්වය විසින් එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ද උන්වහන්සේ වෙත පිරිනැමීය.

තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නයේ නොමද ප්‍රශංසාවට පාත්‍ර වූ උන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට ම පිරිමැසිය නොහැකි පාඩුවක් බව සඳහන් කළ යුතු ය.

අපවත් වී වදාළ එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝනායක කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය ම ලැබේවා.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]