[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඔබ මේ ගැල අදිනවා නම් මින්පසු කරත්තයේ බඳින්නේ නෑ

ඔබ මේ ගැල අදිනවා නම් මින්පසු කරත්තයේ බඳින්නේ නෑ

අතීතයේ ලංකාද්වීපය පිහිටි, මායා සහ රුහුණු කියලා කොටස් තුනකට බෙදී තිබුණා. රුහුණු දේශය සහල්වලින් පිරුණු සශී‍්‍රක දේශයක්. වෙළෙන්දන් බොහෝ පිරිසක් රුහුණු රටට නිතර පැමිණියා වෙළදාම් කිරීමට.

එක් ගැල්කරුවෙක් රුහුණු රටට ගියා සහල් ගෙන එන්න. ගැල්කරුවන් පිරිසක් සමගින් මේ වෙළෙන්දාත් තමන්ගේ ගැලට උපරිමයෙන් ම දැරිය හැකි සහල් පුරවා ගත්තා. දින කිහිපයක් රුහුණු රටේම සිට ගමන් වෙහෙස නිවා ගත්තා.

ගැල්කරුවන් සියලු දෙනාම තම තමන්ගේ ගැල්වලට සහල් පුරවාගෙන නැවත යාමට පිටත් වුණා. පිරිස දින ගණනක් සහල් සහිත කරත්ත අරගෙන යා යුතුයි වෙළඳාම් කරන තැනට. සමඟියෙන් දින කිහිපයක් ගමන් කරන විට මහ වැස්සකට මුහුණ දෙන්න සිදු වුණා. පස් බොරලු සහ මඩ සහිත මාර්ගය ගැල්වලට ගමන් කිරීමට නොහැකි තරම් අබලන්වී තිබුණා. කරත්ත බොහෝ ප්‍රමාණයක් ඒ මාර්ගයේ ගමන් කර තිබීමත් ඔවුන්ගේ ගමනට බාධාවක් වුණා.

මේ කතාවට අදාළ ගැල්කරුවාට සිටියේ මහාදත්ත නම් ගවයෙක්. ගවයාගේ ශරීර ස්වභාවය තරුණ ගවයකුගේ මෙන් තිබුණත් බොහෝ වයසට ගිය කෙනෙක්. විශාල බරක් ගෙනයා හැකි වුවත් ඉක්මනින් ම වෙහෙසට පත්වෙනවා. ගැල්කරුවා ගැල් සමූහයේ අවසානයට තමයි ගමන් කළේ. ගමන් ගන්නා ඔවුන්ට හමුවුණා විශාල වගේම ගැඹුරු මඩ වගුරක්. සෙසු ගැල් ක්‍රමයෙන් ගොඩ වුණා. මේ ගැල්කරුවාත් තමාගේ මහාදත්තට ආදර වචනයෙන් කතා කරමින් වීර්යවඩවමින් ගැල මඩවගුරින් ගොඩට ගන්න උත්සාහ කළා. හය වතාවක් ම උත්සාහ කළා. එහෙත් ගැල ගොඩට ගන්න පුළුවන් වුණේ නම් නෑ. අවසානයේ ගැල්කරුවා ගවයාගේ පිට පිරිමදිමින් ආදරයෙන් කතා කරමින් ‘එම්බා මහාදත්ත ඔබ හරිම උත්සාහවත් කෙනෙක්. දැන් හයවතාවක් ම ගැල ගොඩට ගන්න උත්සාහ කළා. දැන් අවසාන අදියරේ සිටින්නේ කොහොම හරි මේ වතාවෙන් ගැල ගොඩට අරගෙන දුන්නොත් ඔබව කවදාවත් නැවත ගැලකට බඳින්නේ නෑ. නිදහසේ ජීවිත කාලයම ගත කරන්න අවස්ථාව සලසලා දෙනවා. කොහොම හරි මට ගැල ගොඩට අරගෙන දෙන්න’යි පවසා සිටියා.

මහාදත්ත ගවයාට දැන් බොහොම සතුටුයි. ඔහු තමන්ගේ ස්වාමියාගේ වචනය විශ්වාස කරලා උපරිම ශක්තිය යොදවලා කරත්තය ගොඩට ගන්න ඇද්දා. ඔහුගේ උපරිම ශක්තිය ක්ෂය වෙමින් හදවතින් ලේ ගලමින් නාසයෙන් කටින් ලේ දමමින් ඇද වැටුණා. ඒත් සමග කරත්තය ගොඩබිමට ම පැමිණියා. මේ දෙස බලා සිටි ගැල්හිමියා මෙහෙම කල්පනා කළා.

‘මේ ගවයා දැන් ගොඩක්ම මහලුයි. මට අරගෙන ගිහින් මොහුට ඇප උපස්ථාන කරන්න වෙලාවක් නෑ. මූ මෙහි ම නවතා අලුත් ගවයෙක් බැඳගෙන කරත්තය ගෙන යන්න ඕනෑ යි හිතලා සෙසු ගැල්කරුවන්ගෙන් ඉල්ලා ගත් ගවයෙක් කරත්තයේ බැඳගෙන සහල් කරත්තය නගරයට ගෙන ගියා. මහලු මහාදත්ත ගවයා මඩ වලෙහි ම වැටී සිටියා. ඌට නැඟිටගන්නවත් බෑ දැන්.

මේ අතරේ මෙතැනින් යන්න ගියා එක්තරා වළං සාදන්නෙක්. ඔහු දැක්කා මහලු ගවයෙක් මඩවලේ වැටී සිටින බව. ඌට ඇවිද ගන්න බැරි බව. ඔහු මෙහෙම කල්පනා කළා.

‘මගේ වළං කර්මාන්තයට මැටි අනන සම්කඩ දැන් හොඳටම දිරා ගිහින්. හරියට මැටි ටික අනන්න බැරි නිසා ආදායම පහළ ගිහින්. අද මට හොඳ අවස්ථාවක් ලැබිල තියනවා. මේ ගවයාට ඇවිද ගන්න බෑ. අයිතිකරුවකුත් නෑ. මහලු වයසට පත්වෙලයි ඉන්නේ. මෙයාගේ සම් ටික ගලවාගෙන ගියා නම් මැටි ටික හොඳින් අනා ගන්න පුළුවනි’යි කල්පනා කරලා පණ පිටින් සිටිය දී ම ගවයාගේ සම්ටික ගලවාගෙන යන්න ගියා.

දෙවැනියට එතැනට පැමිණියා තූර්යභාණ්ඩ හදන මිනිසෙක් ඔහු මෙහෙම කල්පනා කළා.

‘ දින ගණනාවක් ම වීණාවක් හදා නිම කරන්න උත්සාහ කළත්, මට ඊට ගැළපෙන තත්ටිකක් හදා ගන්න ක්‍රමයක් ලැබුණේ නෑ. මේ ගවයාගේ ශරීරයේ වීණාවට ගැළපෙන තත් හදා ගන්න හොඳම නහර ටිකක් තියන බව පේනවා. නහර අවශ්‍ය ප්‍රමාණයට ගලවාගෙන යන්න ඕන’යි කියලා කල්පනා කරලා ගවයා පණ පිටින් සිටියදීම ඌගේ ශරීරයෙන් තමාට අවශ්‍ය‍ ප්‍රමාණයට නහරවැල් ගලවාගෙන යන්න ගියා.

තෙවැනියට ආවා මස් වැද්දෙක් ඔහු මෙහෙම කල්පනා කළා. ‘මගේ කෑමට නම් මස් ඇති වෙන්න තියනවා. ඒත් මගේ දඩයම් බල්ලන්ට දෙන්න මස් නෑ. මේ සතාගේ මස් පිරී තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අරගෙන යන්න ඕන’යි හිතලා පණ පිටින් සිටියදීම මස් ඇති පමණ කපාගෙන මල්ලක දමාගෙන යන්න ගියා.

මහාදත්ත ගවයාගේ ශරීරයේ කොටස් දැන් බොහෝ ප්‍රමාණයක් අඩුවී ගිහින්. ලේ හැම තැනම පැතිරිලා ගිහින්. කුහුඹුවෝ, නිලමැස්සෝ ආදී සතුන් පිරිලා ඒ රස විඳිමින් සිටිනවා.

මේ අතරේ ඒ මාර්ගයේ වැඩම කරමින් සිටියා චුල්ලපිණ්ඩපාත තිස්ස තෙරුන් වහන්සේ තවත් පන්සියයක් තෙරුන් වහන්සේලා සමඟ. උන්වහන්සේ ක්‍රමයෙන් ගවයා සමීපයට ළඟා වුණා. සිදුව ඇති විපත දැක බොහෝ වේදනාවටත්, කරුණාවටත් පත් වුණා.

‘දැන් මේ සතා අවසන් හුස්ම ටික ගත කරමිනුයි ඉන්නේ. පෙර අකුසලයක් නිසා මේ විපත සිදුවෙලා තියෙන්නේ. ඊළඟ සසරත් දුකට පත්වීමට ඉඩ තියනවා. දැන්ම පිහිට විය යුතු යැ’යි කල්පනා කළා. සෙසු තෙරුන් වහන්සේ පාත්‍රවලින් පැන් අරගෙනවිත් බොහෝ මහන්සි වී පැන් ටිකක් පොවා කුස පිරෙව්වා. දෙවනුව සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න පටන් ගත්තා. දේශනාව අවසන් වන විට ම මහාදත්ත ගවයාට පන්සිල් ද සමාදන් කරවන්න පටන් ගත්තා. තිසරණය අවසන් වී පන්සිල් සමාදන් කරවන විට ම මහාදත්ත මරණයට පත් වුණා.

සතිපට්ඨාන සූත්‍රය ඇසීමෙනුත්, තිසරණ සීලය සමාදන් වීමෙනුත් අධික පිනක් උපදවා ගැනීමට මහාදත්ත සමත් වුණා. කළුරිය කළ මොහොතේ ම තව්තිසා දෙව්ලොව මහා බලසම්පන්න දෙවිකෙනෙක් ලෙස උපත ලැබුවා.

පරිවාර ස්තී‍්‍ර දෙවඟනන් දහස් ගණනක් හා රමණීය දිව්‍ය මන්දිරයක් පහළ වුණා. ඒ සියල්ල ලැබුණු පසු මහාදත්ත පෙර ආත්ම භාවය මෙනෙහි කර බැලුවා. එතකොට ඔහුට දකින්න ලැබුණා. තමාට වුණ විපත හා චුල්ලපිණ්ඩපාත තිස්ස තෙරුන් වහන්සේ තමන්ට පිහිටවුණ හැටි.

ඒ මොහොතෙහි ම කෘතගුණ පෙන්වීමට තෙරුන් වහන්සේ වැඩ සිටින ආරාමයට මධ්‍යම රාති‍්‍රයේ සැපැත් වුණා. තෙරුන් වහන්සේගේ පා මුල වැටී නමස්කාර කළා. එවිට තෙරුන් වහන්සේ

"ඔබ කවුද? මෙපමණ පිරිසක් සමඟ පැමිණියේ කුමන කරුණක් නිසාද?"

යනුවෙන් ප්‍රශ්න කර සිටියා. එවිට මහාදත්ත දිව්‍ය පුත්‍රයා මෙහෙම කියන්න පටන් ගත්තා.

‘පින්වත් ස්වාමිනි, මම ගිය ආත්මයේ මහාදත්ත නමින් ගව කුලයේ උපත ලැබූ කෙනෙක්. ඔබ වහන්සේ අසවල් කැලෑ පෙදෙසේ දී, අසවල් මඩ වගුර අසල වැටී සිටි මට සතිපට්ඨාන සූත්‍ර දේශනා කර, තිසරණ සිල්හි පිහිටුවා, පැන් පොවා උපස්ථාන කළා. ඒ පින් බලයෙන් මට මේ සම්පත් සියල්ල ලැබුණා. මට තවත් ඒ ධර්මය අහන්න ඕන. ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. අපට අනුකම්පා කර මට එම ධර්මය නැවතත් දේශනා කරන්න’යි පවසා සිටියා.

චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේත් මහත් සතුටට පත් වී සතිපට්ඨාන සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ දෙවඟනන් බොහෝ පිරිසක් සෝවාන් ඵලයේ පිහිටියා. හංස රාජයකු පිරිවරාගත් හංස සමූහයක් මෙන් මහාදත්ත දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ දිව්‍ය පිරිස තෙරුන් වහන්සේට වන්දනා කර දෙව්ලොව බලා පිටත්ව ගියා‘යි කතා පුවතක් සීහලවත්ථුවේ සඳහන් වෙනවා.

හෙළදිව සිදු වූයේ යැයි පැවසෙන මේ කතා පුවතින් චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේගේ අපමණ කරුණා මහිමයත්, මහාදත්ත දිව්‍ය පුත්‍රයාගේ කෘතගුණයත්, ගැල්කරුවාගේ අකෘතඥ බවත් පහදා දෙනවා.

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]