[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුනුරුවන්ගේ අසීමිත ගුණ සිහි කරන මහා පිරුවානා පොත් වහන්සේ

තුනුරුවන්ගේ අසීමිත ගුණ සිහි කරන මහා පිරුවානා පොත් වහන්සේ

බොදුනුවන් සිය යහපත වෙනුවෙන් දේශනා කර ගනු ලබන මෙම පිරිත් අන්තර්ගත වන්නේ චතුභාණවාර පාලි හෙවත් පිරිත් පොතට ය. මෙහි පිරිත් දේශනා සූත්‍ර නමින් ද, පරිත්ත නමින් ද නම් කොට ඇති ඇයුරු දක්නට හැකි ය.

උදාහරණ වශයෙන් මහා මංගල, රතන, කරණියමෙත්ත, මෙත්තානිසංස, මිත්තානිසංස ආදී සූත්‍ර ගණනාවක් සුත්ත නමින් ද,

ඛන්ධ, මෝර, චන්ද, සුරිය යන දේශනා ගණනාවක් පරිත්ත නමින් ද පිරිත් පොතෙහි අන්තර්ගත ව පවතී.

බණවර සතරකින් සමන්විත වන පිරිත් පොතෙහි මෙම මූලික බණවර හතරට අමතරව පසුකාලීනව ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ සූත්‍ර අඩංගු වී ඇත. දරු ප්‍රසූතියට සූදානම් ව සිටින මව්වරුන්ට දේශනා කරනු ලබන අංගුලිමාල සූත්‍රය ඒ අතර ප්‍රමුඛ වේ.

මෙම සූත්‍ර සංග්‍රහයට පිරිත් පොත යැයි නම් කොට ඇත්තේ වාචෝද්ගත කිරීම් වශයෙන් පුරුදු කළ යුතු නිසාවෙන් බව “වාචුග්ගතවසෙන පරියාපුණිතබ්බත්තා චස්ස පිරුවාණාපොත්ථකං ඉති වොහාරන්ති සිහළා” යන පාඨයෙන් පැහැදිලි වේ.

බෞද්ධ ජනතාව කුඩා අවදියේ සිට පරිහරණය කරනු ලබන පිරිත් පොත මහා පිරුවානා පොත් වහන්සේ නමින් හඳුන්වන්නේ එහි අන්තර්ගත දේශනාවන්හි ශක්තිය, බලය හා තුනුරුවන්ගේ අසීමිත ගුණ අන්තර්ගත වන හෙයින් ඒ පිළිබඳ ඉමහත් ගෞරවයෙනි.

මෙහි අන්තර්ගත වන දේශනාවන් මූලික බුද්ධ දේශනාව වර්ගීකරණයට ලක් කොට සැකසූ ත්‍රිපිටකයට ම අයත් සූත්‍ර පිටකයේ අන්තර්ගත සූත්‍ර ඇසුරින් උපුටා ගත් දේශනාවන් ම ය.

සරණාගමනය, දස ශික්ෂා, සාමණේර පඤ්හ, ද්වත්තිංසාකරය, මහා මංගල, රතන, කරණීය මෙත්ත, ආලවක, කසීභාරද්වාජ, පරාභව, වසල යන සූත්‍ර ඛුද්දක නිකායෙන් ද

පච්චවෙක්ඛණ, දසධම්ම සුත්ත, ඛන්ධ පරිත්ත, මෙත්තානිසංස සුත්ත, ගිරිමානන්ද සුත්ත, අංගුත්තර නිකායෙන් ද,

මිත්තානිසංස, මෝර පරිත්ත ජාතක පාලියෙන් ද,

චන්ද පරිත්ත, සුරිය පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග දේශනා හා ධම්මචක්කප්පවත්තන සුත්ත සංයුත්ත නිකායෙන් ද,

ඉසිගිලි සුත්ත, සච්චවිභංග සුත්ත මජ්ක්‍ධිම නිකායෙන් ද,

මහා සමය, ආටානාටිය සුත්ත දීඝ නිකායෙන් ද

වශයෙන් උපුටා ගෙන ආරක්ෂක දේශනාවන් වශයෙන් භාවිත කිරීමට සංග්‍රහ වී තිබීමෙන් ස්වකීය ආරක්ෂාව සපයන දේශනයක් වශයෙන් ද, බුද්ධ භාෂිතයක් වශයෙන් ද සලකා බහුජන බුහුමනට පිරිත් පොත ලක්ව පවතී.

විපත් දුරු කර ගැනීම සඳහාත් (විපත්ති පටිබාහාය), සියලු අර්ථ සිද්ධිය ඇති කර ගැනීම සඳහාත් (සබ්බ සම්පත්ති සිද්ධියා) සියලු දුක්, බිය, රෝග දුරු කර ගැනීම සඳහාත් (සබ්බ දුක්ඛ, සබ්බ භය, සබ්බ රෝග විනාසාය) පිරිත් දේශනය පවත්වන සේක්වා (පරිත්තං බූථ මංගලං) යනුවෙන් පිරිතට ආරාධනා කිරීම් වශයෙන් ප්‍රකාශ කරන ගාථාවන්ගෙන් පිරිත් දේශනයෙන් අපේක්ෂා කරන අරමුණ කුමක් දැයි වටහා ගත හැකි ය.

එසේ නම් පිරිත කායික මානසික සුවය ශාන්තිය උදා කර ගැනීමට උපකාරී වන දේශනයක් බව පැහැදිලි වේ.

පිරිත් දේශනාවට මෙවන් ශක්තියක්, බලයක් ලැබී ඇත්තේ කවර හේතුවක් නිසා ද යන්න අපගේ අවධානයට ලක් කර ගත යුත්තකි. මෙහි අන්තර්ගත වන්නේ එක අතකින් ඉදම්පි බුද්ධෙ රතනං පණීතං, ඉදම්පි ධම්මේ රතනං පණිතං, ඉදම්පි සංඝෙ රතනං පණීතං යනුවෙන් ද බුද්ධානුභාවෙන, ධම්මානුභාවෙන, සංඝානුභාවෙන යනුවෙන් ද වරින් වර කියැවෙන තුනුරුවන්ගේ අසීමිත ගුණ කදම්බය යි.

අනෙක් පසින් එම ගුණ කදම්බය සිහි කරවමින් කරනු ලබන එතෙන සච්චේන සුවත්ථි හොතු යනුවෙන් ප්‍රකාශිත සත්‍ය ක්‍රියාවන් ය. එම දේශනාවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් වදාළ දේශනාවන් ය.

එමෙන්ම මහා රහතන් වහන්සේ දේශනා කරනු ලැබූ දේශනාවන් ය. මේ සියලු කරුණු එක්තැන්වී ඇති පිරිත් දේශනය මහත් ශක්තියක්, බලයක් ජනිත කරවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කොට ශාන්තිය උදා කරවීමට බුදුන් වහන්සේ දේශිත එකම රතන සූත්‍රය ප්‍රමාණවත් විය. එහිදී තුනුරුවන්ගේ අසීමිත ගුණ බලය ප්‍රකාශ කරමින් මේ සත්‍ය වචනයේ බලයෙන් ශාන්තියක් වේවා'යි කළ සත්‍ය ක්‍රියාවේ ප්‍රතිඵලය වූවේ විශාලාව වෙළාගෙන සිටි තුන්බිය දුරු වී සැනසිල්ල උදාවීමයි.

බවුන් වැඩීමට වනගත වූ භික්ෂු පිරිසකට එහි වූ වෘක්ෂ දේවතාවන්ගෙන් ඇති වූ ගැහැට හමුවේ බවුන් වැඩීමට බාධා එල්ල විය. මේ බව එම භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන් වූ විට උන්වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය වදාරා එය සජ්ඣායනා කරන ලෙසත්, මෛත්‍රිය වඩන ලෙසත් වදාළහ.

එසේ කළ කල්හි එම භික්ෂු පිරිසට කිසිදු බාධකයක් නොවුණු අතර, විවිධ ගැහැට ඇති කළ දෙවිවරුන්ගේ ද සහාය උන්වහන්සේට සැලසුණි.

ඛන්ධ පරිත්තය සර්පයන්ගෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා නාගරාජ කුලයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව දක්වමින් වදාළ සූත්‍රයකි.

ධජග්ග සූත්‍රය කෙලෙස් සහිත දෙවිවරුන්ගේ රැකවරණය අභිබවා තෙරුවන්හි රැකවරණය බලවත් වන බව ප්‍රකට කරමින් වදාළ සූත්‍රයක් වන අතර, අප තෙරුවන් වන්දනාවට භාවිත කරන ගාථා අඩංගු සූත්‍රය ද වෙයි.

බොජ්ඣංග දේශනාවන් මුගලන් මහා රහතන් වහන්සේ හා කාශ්‍යප මහා රහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේ විසිනුත්, බුදුන් වහන්සේ රෝගී වූ අවස්ථාවේ මහා චුන්ද මාහිමියන් විසිනුත් වදාළ දේශනා අඩංගු සූත්‍ර වන අතර ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද තෙරුන් රෝගී අවස්ථාවේ ආනන්ද මාහිමියන් බුදුරජාණන් වහන්සේගෙන් දස සංඥා ඉගෙන ගිරිමානන්ද තෙරුන්ට දේශනා කළ සූත්‍රයයි.

එම දේශනාවන් අවසානයේ දී උන්වහන්සේ සුවපත් වූ බව දැක්වෙන අතර අද ද රෝගීන් හමුවේ දේශනා කරන සූත්‍ර ලෙස මෙම සූත්‍ර සම්භාවනාවට ලක්ව පවතී.

ආටානාටිය සූත්‍රය වෙසවුණු යක්ෂ සේනාපතියා විසින් භික්ෂූන්ගේ ද භික්ෂුණීන්ගේ ද, උපාසකයන්ගේ ද, උපාසිකාවන්ගේ ද උවදුරු වැළැක්වීම් පිණිසත්, හිංසා නොවීම පිණිසත් එය ඉගෙන ගන්නා ලෙසත්, පුහුණු කරන ලෙසත් එය භික්ෂු භික්ෂුණීන්ගේ හා උපාසක උපාසිකාවන්ගේ මෙලොව පරලොව යහපත පිණිසත්, ආරක්ෂාව පිණිසත් හේතුවන බව බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට අනුදැන වදාරන ලද්දකි.

අකුසල කර්මාවරණයෙන් ද, රාගාදී ක්ලේශාවරණයෙන්, නොඇදහීමෙන් ද යන කරුණු තුන නිසා පුද්ගලයාට පිරිතෙන් ලද හැකි ආනිසංස නොලැබෙන බව මිලින් ද පඤ්හයේ සඳහන් වේ. ඒ අනුව දේශකයාත් ශ්‍රාවකයාත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගෙන, ශීලයෙන් හා විශ්වාසයෙන් යුතුව පිරිතේ ජීව ගුණය ග්‍රහණය කර ගත යුතු ය.

දේශනාවේ දී මෙන්ම ශ්‍රවණයේදීත් මනා සිහි කල්පනාවෙන් සමන්විත විය යුතු ය. පිරිත් දේශනාවෙහි මූලිකම පරමාර්ථය ආශිර්වාදය හා ආරක්ෂාව සැපයීමයි. පිරිත් දේශනයන්හි අර්ථ මැනවින් මෙනෙහි කරමින් ශ්‍රවණය කිරීමෙන් පිරිත පුරා විහිදී යන තුරුනුරුවනේ අනන්ත ගුණ බලය හා සත්‍ය ක්‍රියාව සැදැහැති සිත්හි ශ්‍රද්ධාව වර්ධනය කිරීමටත්, මෛත්‍රී චිත්තය දියුණු කිරීමටත් හේතු වන අතර, ඒ මානසික ශක්තිය කායික මානසික පීඩාවන් පහවී සැනසීම ඇතිවීමට ඉවහල් වේ.

වප් අව අටවක පෝය

 ඔක්තෝබර් 17 සඳුදා
පූර්වභාග 09.31 අව අටවක ලබා
18 අඟහරුවාදා
පූර්වභාග 11.58 ගෙවේ.
 17 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]