[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ ජනතාව අමා දහම් ඔසුවෙන් සුවපත් කරන පූජ්‍ය බූටාවත්තේ ශ්‍රී සරණංකර නා හිමි

ලෝක බෞද්ධ ජනතාව අමා දහම් ඔසුවෙන් සුවපත් කරන පූජ්‍ය බූටාවත්තේ ශ්‍රී සරණංකර නා හිමි

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනමේ අධ්‍යක්ෂ

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනමේ අධ්‍යක්ෂ බූටාවත්තේ ශ්‍රී සරණංකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෝක බෞද්ධ ජනතාව අතර ගෞරව සම්භාවනාවට පාත්‍ර වූ සුපේශල ශික්ෂාකාමී බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් හැඳින්විය හැකි ය.

සැදැහැති මවුපියන්ගෙන් ලද ශාසනික උරුමයත්, සංසාරගතව පැවැති පූර්වෝපචිත පුණ්‍ය ශක්තියත් මත 1960 වර්ෂයේ දී බූටාවත්තේ සරණංකර යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රවෘජ්‍යාභාවයට පත්වූහ.

ලක්දිව ශාස්ත්‍රාලෝකයේ දීප්තිමත් පරිවේණාස්ථානයක් වශයෙන් ලංකා ශාසනාම්බරය බැබළ වූ කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර පරිවේණාස්ථානය තුළ ශාස්ත්‍රානුලෝමී හැඟීමෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට නිසි වයස එළඹි කල්හි මාදිලිගම ස්වර්ණජෝති නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරවාසී විනයාචාර්ය වෑඋඩ දේව රක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාරවාසී පින්නවල ශ්‍රී ධීරානන්ද චන්ද්‍රජෝති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරු කටයුතු වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නය වෙතින් උතුම් වූ සුපරිසුද්ධෝපසම්පදාවට පත්වීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වූහ.

සාර්ව භෞම පාණ්ඩිත්‍යයෙන්, සංඝ සෝභන ගුණයන්ගෙන් පිරිපුන් ගෝණදෙණියේ සුමනජෝති නාහිමිපාණන් වහන්සේ, මාදිලිගම ස්වර්ණජෝති නාහිමිපාණන් වහන්සේ, කොළඹ තලංගම කොස්වත්ත සිරි නන්දාරාමාධිපතිව වැඩ සිටි පිටිපන සිරි සුමන නායක ස්වාමීන් වහන්සේ යන ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ ආභාසය, ආදර්ශවත් භික්ෂු ආකල්ප උන්වහන්සේගේ උතුම් පැවිදි දිවිය ආලෝකවත් වීමට හේතුවක් විය.

කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි එවකට වැඩ සිටි ධර්ම විනයධර ශ්‍රද්ධා සම්පන්න සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේගේ සෙවණේ උන්වහන්සේ ලැබූ ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය සමස්ත ලෝක බෞද්ධ ජනතාවම අමාදහම් ඔසුවෙන් සුවපත් කිරීමට තරම් පොහොසත් විය. විශිෂ්ට ධර්ම දූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් දේශීය හා විදේශීය වශයෙන් චිරප්‍රසිද්ධ උන්වහන්සේ වර්තමානය වන විට ජාත්‍යන්තර ප්‍රජාව දිනා ගනිමින් සුවිශාල ශාසනික මෙහෙවරක යෙදී සිටී.

1981 වර්ෂයේ දී ප්‍රථම වතාවට මැලේසියාවට වැඩම කළ බූටාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේ 1983 වර්ෂයේ දී ස්ථිර වශයෙන් මැලේසියාවේ වැඩ සිටීමට තීරණය කළහ. මැලේසියාවේ Sri Lanka Buddhist Temple  නමින් තිබූ කුඩා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් වශයෙන් ගොඩනඟමින් බෞද්ධ අබෞද්ධ සංවිධාන සමඟ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස කටයුතු කරන උන්වහන්සේගේ ධර්මයට ආශක්ත වූ නිසඟ දේශනා කෞශල්‍යය ජාත්‍යන්තර ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත. මිලියන හතර හමාරක මුදලක් වැය කරමින් දෙල්ගොඩ මහමෙව්නා බෞද්ධ විද්‍යාලය ඉදි කිරීමට කටයුතු කළ උන්වහන්සේ වාර්ෂිකව ලංකාව තුළ පොත් ප්‍රදර්ශන පවා පැවැත්වීමට කටයුතු කරයි. බෞද්ධ විෂයයට අමතරව, ආදර්ශවත් චරිත කතා, පෞරුෂ වර්ධන ග්‍රන්ථ ඇතුළත් ලක්ෂ දහයක හෝ පහළොවක වටිනා පොත් ලබාගැනීමේ පහසුකම් සපයා දෙනු ලබන්නේ දැනුමෙන් පෝෂිත භික්ෂු පරපුරක් ලෝකයට දායාද කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ය.

මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරන උන්වහන්සේ විශිෂ්ට ධර්ම දූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලබා ගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් පරිචයත් පෙරදැරිව ශාසනයේ උන්නතිය පිණිස ශික්ෂාකාමී ධර්ම විනයධර උගත් භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණින් වසර 25කට අධික කාලයක සිට වාර්ෂිකව ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අඛණ්ඩ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කර ඇත.

2500ක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එකවර එකම ස්ථානයකට වැඩම කරමින් උන්වහන්සේගේ භික්ෂු ජීවිතය තුළ උදාරත්වය, පූජනීයත්වය, භික්ෂු ආකල්පයන්ගේ වටිනාකම, ධර්මධරව විනයධරව හැසිරීමේ වැදගත්කම, ධර්මකාමී, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමකගේ ගෞරවනීය බව උන්වහන්සේ වෙත අවබෝධ කර දීමට කටයුතු කරනු ලබන්නේ ශාසනානුලෝමී හැඟීමෙන් යුතුව ය.

2019 වර්ෂයේ දී දුරබැහැර දුෂ්කර පළාත්වල ස්වාමීන් වහන්සේ අරලියගහ මන්දිරයටත්, කඩුවෙල මහමෙව්නා මධ්‍යස්ථානයටත් වැඩම කරවමින් දන්පැන් පිළිගැන්වීමට නිහතමානී වූ උන්වහන්සේ තමන්ගේ චරිතය ආදර්ශවත් ව ගොඩනඟා ගැනීම පිණිස ප්‍රායෝගික මඟ පෙන්වීමක් ලබා දීමට ද ක්‍රියා කළහ.

පිරිවෙන් අවසන් විභාග සමත් භික්ෂූන් වහන්සේ සති දෙකක තුනක කාලසීමාවකට මැලේසියාවට වැඩම කරවමින් ධර්ම දැනුම ප්‍රායෝගීකරණය වීමේ වැදගත්කම පෙන්වා දීමට කටයුතු කරන බූටාවත්තේ සරණංකර මාහිමිපාණන් වහන්සේ දුෂ්කර පිරිවෙන් නඟාසිටුවීම පිණිස සිප් දිරිය සුහුරු අත්වැල පරිගණක ප්‍රදානය නමින් පරිගණක ඇතුළු අන්තර්ජාල පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ.

සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා විහාරස්ථාන ඉදි කිරීමටත් කටයුතු කළ උන්වහන්සේ ධර්මදූත සේවාවේ අත්දැකීම් බහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් නිර්මල ථේරවාදී බුදුදහම තවදුරටත් ලොව පුරා ප්‍රචළිත කිරීමේ අරමුණින් ධර්මානුකූල දැනුමත් සමඟ ජාත්‍යන්තරයට අවැසි භාෂාමය නිපුණතාවයේ වැදගත්කමත් තරුණ ස්වාමීන් වහන්සේට අවබෝධ කරදීමට කටයුතු කරයි. භික්ෂුවකට ගැළපෙන සන්සුන් ඉරියව් පවත්වා ගනිමින්, නිහතමානීව, නම්‍යශීලිව, පහදින අයගේ පැහැදීම තවදුරටත් වර්ධනය වන ආකාරයට කරුණාව, මෛත්‍රිය පෙරදැරිව සිවුරට ගැළපෙන කතා ශෛලියකින්, පරිපූර්ණව ශ්‍රද්ධාව බලවත්වන ආකාරයට කටයුතු කිරීම තුළින් නිවැරැදි ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම පිළිබඳ අර්ථයෙන් ධර්මයෙන් තරුණ ස්වාමීන් වහන්සේ වෙත අනුශාසනා කරනු ලබයි.

ලංකාවේ විවිධ පළාත්වල අධ්‍යාපනය ලබන අපේම දරුවන් 15000කගේ අධ්‍යාපනය නඟා සිටුවීම පිණිස පාසල් පොත්පත්, උපකරණ, ඇඳුම්, සපත්තු, බෑග් ආදී කළමනා වාර්ෂිකව පරිත්‍යාග කිරීමට වග බලා ගන්නා උන්වහන්සේ වසර 22ක් පුරාවට අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. කාසල් කාන්තා රෝහල ඇතුළුව රෝහල් 27කට අවශ්‍ය වෛද්‍ය යන්ත්‍ර, වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළ නායක හිමිපාණන් වහන්සේ දුෂ්කර පළාත්වල ජීවත් වන ජනතාවගේ සුභ සිද්ධිය පිණිස නිවාස 30කට අධික ප්‍රමාණයක් ඉදි කර දීමට කටයුතු කර ඇත.

Abbott of Sri Lanka Buddhist (Sri jayanthi association) sentul kualalumpur, Malaysia, Founder and spiritual Advisor to Maha karuna Buddhist society, chairman of yayasna Maha karuna, Patron of the Sri saranankara Foundation in Sri Lanka Bootawatte Saranankara Thero Trust Fund සහ සිරි සරණංකර ද්වි භාෂා ධර්ම දූත මූලික පිරිවෙන ආදී දෙස් විදෙස් බෞද්ධ සංවිධාන සමඟ ජාතික, ආගමික, ශාසනික අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් අගයෙන් අගය කළ යුතු මහනීය සේවාවක නිරතවන ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන බූටාවත්තේ සරණංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයේ සම්භාවනාවට පාත්‍ර වෙමින් මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීමට භාග්‍යවන්ත වූහ.

වප් අව අටවක පෝය

 ඔක්තෝබර් 17 සඳුදා
පූර්වභාග 09.31 අව අටවක ලබා
18 අඟහරුවාදා
පූර්වභාග 11.58 ගෙවේ.
 17 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]