ආදරය හා විශ්වසනීයත්වය හොඳම දායාදයයි
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
අවිවාහක ගිහි ජීවිතය පෙරදිග රටවල වැදගත් කොට නො සලකයි. ගිහියකු නම් විවාහ විය යුතුය, නො එසේ නම් පැවිදිවිය යුතු ය යන්න පිළිගත් අදහසකි. බෞද්ධ සාහිත්‍යයේ තරුණ වියේ
දී විවාහවීමත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමත් සඳහා සැපයෙන උපදේශ රාශියක් වේ.
තරුණයකු හෝ තරුණියක විසින් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ තමාට සුදුසු ප්‍රතිවිරුද්ධ
ලිංගික සහකරුවා සොයා ගැනීමයි. සමසීල, සමසද්ධා, සමපඤ්ඤා යනාදි ගුණාංගවලින් හෙබි
තැනැත්තා හෝ තැනැත්තිය තෝරා ගැනීමයි. එම ගැළපීම නැති කෙනකු තෝරා ගන්නා අයට විවාහ
ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.
මහෞෂධ කුමරු අමරා දේවිය විවාහ කර ගැනීමට පෙර කරන ලද පරීක්‍ෂණය සිහිපත් කර ගැනීම
ප්‍රයෝජනවත් ය. බුදුන් වහන්සේ වදාළේ දෙවියෙක් දෙවඟනක් සමඟ වසන්නාක් මෙන් විවාහ
ජීවිතයට එළඹීමට නියමිත හෝ විවාහක ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර සුසංයෝගය තිබිය යුතු
බවයි.
රූපය හෝ ධනය පමණක් සලකා විවාහ වීම සදාචාරමය ගැටලු රාශියක් ඇතිවීමට හේතුවේ. මොනරා
කෙතරම් ලස්සන කෙනකු වුවත් ඔහු පිරිස් ඉදිරියේ රංගනයේ යෙදෙනුයේ අධෝමුඛය කාහටත් පෙනෙන
පරිදි පිල් විදහා ගෙනය.
විවාහප්‍රාප්ත තරුණයකුගේ කාර්යභාරය වන්නේ කුටුම්බ සංරක්ෂණයයි. මංගල සූත්‍රයෙහි
විවාහ ප්‍රාප්ත පුද්ගලයකු විසින් අනුගමනය කළ යුතු වැදගත්ම කරුණු කිහිපයක් දක්වයි.
මවුපියන්ට සැලකීම (මාතාපිතූ උපට්ඨානං), අඹුදරුවන් පෝෂණය කිරීම, වැඩ කටයුතු අවුල් නො
කරගැනීම (අනාකුලා ච කම්මන්තා), දන්දීම (දානං), දැහැමි ලෙස හැසිරීම (ධම්මචරියං),
ඥාතීන් විෂයයෙහි වන යුතුකම් ඉටු කිරීම (ඤාතකානඤ්ච සංගහො), නිවැරදි ක්‍රියා කිරීම
(අනවජ්ජානි කම්මානි) , අකුශලයන්හි මනසින් නො ඇලීම හා වරදින් වෙන්වීම (ආරති විරති) ,
මත්ද්‍රව්‍ය භාවිත නො කිරීම (මජ්ජපානා ච සඤ්ඤමො) , නිතර සිහිකල්පනාවෙන් කටයුතු
කිරීම (අප්පමාදො ච ධම්මෙසු) , ගරු කළ යුත්තන්ට ගරු කිරීම (ගාරවො) , යටහත් පහත්
පැවැත්ම (නිවාතො), ස්වකීය අඹුදරුවන්ගෙන් සහ ලද දෙයින් සතුටට පත්වීම (සන්තුට්ඨී) ,
වෙනත් අය විසින් කුදු මහත් වශයෙන් තමාට කළ අනුග්‍රහ පිළිබඳ කෘතඥවීම (කතඤ්ඤුතා) , ඉඩ
ලද අවස්ථාවන්හි ධර්මය ඇසීම (කාලෙන ධම්මසවණං), ඉවසීම (ඛන්තී) යන කරුණු ඒ අතර වේ.
මේවා පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කිරීමේ දී තරුණ අඹු සැමි යුවළකට ගැටලු හා අභියෝග ජය
ගනිමින් සාර්ථක දරු පරම්පාරාවක් බිහිකරමින් සුඛිත මුදිත ලෙස දිවි ගෙවිය හැකි ය.
කායික ශක්තිය තරුණ වියේ සිටින පුද්ගලයකුට ලැබී ඇති ලාභයයි. එම ශක්තිය මෙහෙයවා
හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට වෑයම් කිරීම කෙනකුගේ බුද්ධිහීනත්වය ප්‍රකට කරන්නකි.
ස්වකීය ශ්‍රමය බාහු බලය කැපවීම මෙහෙයවා ඔවුන් විසින් ස්වකීය වර්ගයා විෂයයෙහි
දැවැන්ත මෙහෙවරක් කළ යුතු ය. කිසි ලෙසකත් ස්වකීය ශක්තිය අනුන් පෙළීම සඳහා නොවිය
යුතු ය.
තම අභිලාෂයන් කෙරෙහි අවදියෙන් සෙසු අයගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දායකත්වය සැපයිය
යුතු ය. තරුණ විය යනු ජීවිතයේ ඉතා වැදගත්ම අවධිය වන්නේ ස්වභාව ධර්මය විසින් කෙනකුට
ලැබිය යුතු සියල්ල ලබා දෙන අවධියයි.
විවිධ තනතුරු ආදිය මඟින් විවිධ ඇඳුම් අන්දවන, මිල මුදලින් අප සනසවන, කායික ශක්තිය
අපට ලබා දෙන මෙම අවධිය අපට අපව අමතක කරවන කාලයයි. නැවත මෙම එබැවින් අප තුළ සිටින
අවංක ආදරණීය හා සැබෑ මිනිසා සැමදාම ආරක්ෂා කර ගැනීමට වෑයම් කළ යුතු ය.
නිදසුනක් ලෙස පොලිස් නිලධාරියකු ලෙස සිතන්න. වෘත්තිය විසින් ඔහුට ලබා දෙනුයේ අසීමිත
බලයකි. එහෙත් ඔහු විශ්‍රාම ගත් පසු එම ඇඳුම සහ බලය ආපසු බාරදිය යුතු ය. නැවත පොදු
මිනිසා අතරට යා යුතු ය. එදිනට පොදු සමාජය ආදරය කරන්නේ ඔහු තුළ සිටි මිනිසාට ය. ඔහු
තුළ සිටියේ යකෙක් නම් පොදු සමාජය අප්‍රිය කරයි. මෙය සෑම සමාජ සත්වයකුටම හිමි සරල
සත්‍යයකි.
බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන භූමිකාවන් දෙක ද මෙයට යටත් ය. එබැවින් සැම විටම කවර
වෘත්තියක හෝ සමාජ ස්තරයක පසු වුව ද තමාගේ යහපත්කම් සහිත මනුෂ්‍යත්වය රැක ගත යුතු ය.
පවුල් ජීවිතයේ දී අගම ධර්මය කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අප නිතර සිහිපත් කරනුයේ
එහි ප්‍රායෝගික වටිනාකමක් ඇති නිසා ය. තරුණ වියෙහි දී වගකීම් මඟහරිමින් චතුරාර්ය
සත්‍යය පසක් කිරීමෙහි ලා නිරතව සිටීම රටක තරුණ ප්‍රජාවකගේ වගකීමක් නොවේ.
තරුණ වියේ දී චතුරාර්ය සත්‍යය සොයා යාමට උපදෙස් සපයන ආගමික ආයතන ඇති බව අපි දනිමු.
එහෙත් රටක්, ජාතියක් වශයෙන් ගෙන සැලකූවිට ඔබට ඊට පෙර කළයුතු, කළ හැකි බොහෝ දේ ඇත.
සුමේධ නමින් ඉපිද සිට බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන් පාමුල දී අතට පත් නිවන
අත්හළේ කුමක් සඳහා දැයි සිතනු මැන.
තරුණයෝ වූකලී රටක ජාතියක අනාගතය නිර්මාණය කරන්නෝ ය.
ඔවහු ආගමික නායකයෝ ය. ගුරුවරු ය. ඉංජිනේරුවරු ය. වෛද්‍යවරු ය. කලාකරුවෝ ය. ගවේෂකයෝ
ය. ව්‍යාපාරිකයෝ ය. පරිසරවේදීහු ය. සැලසුම් හා ඉදිකිරිම්කරුවෝ ය. වෘත්තිකයෝ ය. මෙසේ
ශ්‍රමික හා බුද්ධිමය දායකත්වය විසින් විවිධ පුද්ගලයන් ලෙස ක්‍රියාකරන උත්තුංග හා
ජවසම්පන්න තරුණ විය තුළ ඒ ඒ පුද්ගලයාට සමාජයේ දියුණුවට හෝ පරිහානියට හෝ කළ හැකි
බලපෑම අනල්ප ය. එබැවින් තම කාර්යය නිසි පරිදි කිරීමම ධර්ම චර්යාවක් වේ.
ඔබට ස්වාමි පුරුෂයකු හෝ බිරියක වශයෙන් පැවරෙන වගකීම් ධාර්මික චර්යාවක් ලෙස පුරුදු
පුහුණු කළ හැකි ය. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරදුන් සිහිපත් කර දී ඇත්තේ එම
චර්යාවයි. අගම ධර්මය විසින් තරුණ ඔබට මුලින්ම කියා දිය යුත්තේ එකී මාර්ගයයි.
ඔබ යක්ෂයකු හෝ යක්ෂණියක වීමට අවශ්‍ය ඉඩ කඩ ඕනෑවටත් වැඩියෙන් අද අප වෙසෙන සමාජය තුළ
ඇත. කෙබඳු සළුපිළිවලින් අප වෙළී සිටිය ද ඒවා ඉවත් කළ විට අපගේ ප්‍රකෘතිය නිරාවරණය
වේ. අප උපතින් මනුෂ්‍යත්වය උරුමව පැමිණි අයයි. එය අපට හිමි ස්වභාවයයි.
කුඩා දරුවකුට අනෙක් සියලු දෙනා ආදරය කරන්නේ එම නිකැළැල් මනුෂ්‍ය ධර්මයන්ට ය. එය
සුරක්ෂිත කර ගනිමින් වැඩෙන දරුවාට ද සමාජය එපමණකට ම ආදරය කරයි.
අංගුලිමාල නමැති මිනීමරුවා තුළ සිටි මිනිසා එළියට ගත්තේ බුදුරදුන් විසින් තාරුණ්‍යය
සමඟ වැළලී ගිය මෙම සත්‍යය පහදා දීමෙනි. එබැවින් කුටුම්බ රක්ෂණය හෙවත් පවුල් ජීවිතයක
දී අඹුවට සහ දරුවන්ට නො එසේ නම් සැමියාට සහ දරුවන්ට පියකු හෝ මවක වශයෙන් පෙන්විය
යුතු එකම දෙය නම් අවංක ආදරය හා විශ්වසනීයත්වයයි. එය රැක ගැනීමට අපොහොසත් තරුණ විය
අතිශයින් දුර්වල වූවකි.
තරගකාරිත්වය හමුවේ මානව හිතවාදිත්වය භූමදානය කරන ඇතැම් පිරිස් අවි ආයුධ, විෂමිශ්‍ර
ආහාර අලෙවිය, භාවිතයට නුසුදුසු බේත් හේත් අලෙවිය, රාජකාරිය කිරීමට පවා අල්ලස්
ගැනීම, එකිනෙකා බිඳවා තම අපේක්‍ෂාවන් සපුරා ගැනීම වැනි අනේකවිධ ක්‍රම මගින් අනුන්ට
හිංසා කරති. ඝාතනය කරති. එයින් උපයන ධනයෙන් තමා ද ජීවත් වෙමින් තම දරුවන් ද ජීවත්
කරවීමට වෑයම් කරති. එහෙත් යථාර්ථයක් වශයෙන් එය සපල නොවේ. කුමක් නිසාද යත් අපරාධයේ
අනිසි පල, මාරාන්තික අනතුරු, රෝග ව්‍යසන, අබල දුලබතා මගින් භුක්ති විඳීමට සිදුවන
බැවිනි. එබඳු ලෝක ධර්මයක් ලෝකයේ ඇත.
තමාට මෙන් තම පවුලේ සාමාජිකයන්ට ද දැහැමිව උපයා සපයා දීමත්, එබඳු දැහැමි ජීවනෝපාය
මාර්ගයක් පෙන්වා දීමත් කුටුම්බ සංරක්ෂණයේ වගකීම වේ. එබැවින් මහිච්ඡතාව හෙවත් අසීමිත
කැමැත්ත වෙනුවට අල්පේච්ඡතාව හෙවත් ලද දෙයින් සන්තෘප්ත වීමේ ජීවන ප්‍රතිපදාවට
හුරුවන්න. එය බොහෝ ගැටලුවලින් මිදීමට අසීමිත ලෙස ඔබට මඟ පෙන්වනු ඇත. |