[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙන්වීමේ දුකට හඬනවා ද?

වෙන්වීමේ දුකට හඬනවා ද?

පොල්ගහඅංගි
සද්ධාතිස්ස හිමි

සැවැත්නුවර එක්තරා සිටුවරයකු මිය ගියා. ඔහුගේ පුතා පියාගේ මරණය නිසා දැඩි ශෝකයෙන් තැවෙමින්, හඬමින් උමතු වූවකු මෙන් ඇවිදිමින් යම් කෙනෙක් මුණ ගැසුණා ද ඒ අයගෙන් “මාගේ පියා දුටුවේ ද?” කියා අසයි. ඔහුගේ දුක දුරු කිරීමට කිසිවකුට නොහැකි වූවා.

ශාස්තෘන් වහන්සේ එදින අලුයම් කාලයේ ලොව බලන කල්හි මේ අඬා වැටෙන පුත්‍රයාට සෝවාන් වීමට පින් ඇති බව දැන මොහුට අතීත කාරණයක් පැහැදිලි කොට ශෝකය නිවා සෝවාන් ඵලය ලබා ගැනීමට උපකාර කළ යුතුයි සිතා දෙවැනි දවසේ තවත් භික්ෂූන් වහන්සේ නමක් සමඟ ඔහුගේ නිවසට වැඩියා. ඔහු භාග්‍යවතුන් වහන්සේට වැඳ පසෙකට වී මෙසේ කියා සිටියා. “ස්වාමීනී, මගේ පියා ගිය තැන ඔබ වහන්සේ දන්නවා ද?” එවිට ශාස්තෘන් වහන්සේ වදාළා “කිමෙක් ද ඔබ මේ කියන්නේ? උපාසකය, ඔබ මේ අත්භවයෙහි පියා ගැන ද අහන්නේ? නැතිනම් අතීත භවයේ පියා ගැන ද අහන්නේ? එවිට ඒ පුත්‍රයා “ස්වාමීනි, මට පියවරු බොහෝ සිටියා ද?” කියා ශෝකය මදක් තුනී කරගෙන අසා සිටියා. එවිට ශාස්තෘන් වහන්සේ ඔහුගේ ශෝකය දුරු කිරීම පිණිස ධාර්මික කතාවක් කොට ශෝකය පහ වූ විට මෘදු සිතක් ඇති කල්හි චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්ම දේශනා කොට සෝවාන් ඵලයට පමුණුවා නැවත විහාරයට වැඩම කළා.

ඉන්පසු භික්ෂූන් වහන්සේ ධර්ම සභාවට රැස්ව “බුද්ධානුභාවය බලනු මැනවි. පියා මළ ශෝකයෙන් පීඩත වූ, අතිශයින් ශෝක කළා වූ උපාසක, භාග්‍යවතුන් වහන්සේ ඇසිල්ලෙන් සෝවාන් ඵලයෙහි පිහිටුවූවා නොවේ දැ” යි කතිකා කළා.

ටික වේලාවකින් ශාස්තෘන් වහන්සේ එහි වැඩමවා පනවන ලද ආසනයේ වැඩහිඳ “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව ද ඔබලා වැඩ වාසය කළේ?” අසා සිටියා. එවිට, භික්ෂූන් වහන්සේ වදාළා “ස්වාමීනී, බුද්ධානුභාවය කොතරම් ද කියා ය අප කථා කරමින් සිටියේ.”

එවිට තථාගතයන් වහන්සේ, මොහුගේ ශෝක මා දුරු කළේ මේ භවයේ දී පමණක් නොවේ. පෙර භවයේ දීත් එසේ කර ඇති බව වදාරමින් අතීත කථාව මෙසේ වදාළා.

පෙර දවස බරණැස් නුවර එක්තරා ගෘහපතියකුගේ පියා කළුරිය කළා. පියාගේ මරණින් පස්සේ ඔහු ශෝකයට පත්ව විලාප කියමින් කඳුළු පිරි මුහුණින් යුතුව ළයෙහි අත් ගසා හඬමින් ඔහුගේ චිතකය අසලට වී සිටියා.

එවිට ඔහුගේ නුවණැති, ව්‍යක්ත, බුද්ධි සම්පන්න වූ ‘සුජාත’ නම් දරුවා පියාගේ ශෝකය පහ කිරීමට සිතමින් එක දවසක් නගරයෙන් පිටත මළ ගවයකු දැක තණ කොළ හා වතුර ද ගෙනවුත් ඒ මියගිය ගවයා ඉදිරියේ තබාගෙන ටික ටික දෙමින්, ජීවත්ව සිටින කෙනකුට මෙන් “කාපන්! කාපන්!” කියමින් ගවයා අසල දැවටුණා. එතැනට පැමිණි අය “යහළුව, නුඹ මියගිය ගවයකුට මෙසේ කෑම දෙමින් පිස්සකු මෙන් හැසිරෙන්නේ ඇයි?” අසා සිටියා.

ඔහු කිසිවක් නො කියූ නිසා ඔහුගේ පියා ළඟට ගොස්

“නුඹගේ පුතා උමතු ලෙස මියගිය ගවයකු ළඟට ගොස් තණකොළ හා වතුර දීමට උත්සාහ කරනවා.” යැයි කියා සිටියා.

එවිට ඒ සිටුවරයා “මගේ පුතා උමතු වී යැයි තවත් ශෝකයෙන් යුතුව වහා ම පුතා අසලට ගොස් පුත, නුඹ ඥාානවන්ත, ව්‍යක්ත, බුද්ධි සම්පන්න කෙනෙක් නේද? කුමක් නිසා නුඹ මේ ගොනාට තණ හා වතුර දෙනවා ද?

මේ මැරුණු ගොනා ආහාරපාන දුන්න කියලා නැඟිටින්නේ නැහැ. අඥාාන මනුස්සයෙක් දොඩවනවා වගේ දොඩවන්නේ නුඹත් නුවණ නැති මෝඩයෙක් ද?”

“ඒ වුණාට තාත්තේ, මේ තියෙන්නේ කකුල්. මේ තියෙන්නේ ඔළුව, මේ තියෙන්නේ වලිගෙත් එක්කම ඇඟ. මේ ඇස් දෙක තියෙන්නේ තිබුණු විදිහටම. මේ ගොනා නැඟිටීවි. ඒ වුණාට අපේ සීයාගේ අතපය, ශරීරය, හිස මොනවත් දැක ගන්නට නැහැ. එහෙම එකේ ඒ සීයා වෙනුවෙන් අඬන තාත්තා ම නේද මෝඩ?”

පින්වත් දරුව, නුඹේ අවවාදය අහපු මම දැන් ශෝකය උදුරා දැමූ කෙනෙක් සිසිල් වූ කෙනෙක් නිවුණ කෙනෙක් දැන් මම ශෝක වෙන්නේ නැහැ. හඬන්නේ නැහැ.

යම් කෙනකුට අනුකම්පා කරනවා නම් ප්‍රඥාාවන්ත අය ඔහොම තමයි කරන්නේ. මේ සුජාත කුමාරයා තමන්ගේ පියා ශෝකයෙන් මුදවනවා වගේ අන් අය ශෝකයෙන් මුදවන්න උත්සාහ කරන්න.

තථාගතයන් වහන්සේ මෙම දේශනාව ඇසුරෙන් චතුරාර්ය සත්‍ය ධර්මය භික්ෂූන් වහන්සේට වදාළා. එය අවසානයේ දී බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]