[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාග්‍යවතුන් වහන්සේ දැකීමට තබන පියවර

භාග්‍යවතුන් වහන්සේ දැකීමට තබන පියවර

සතං හත්ථි සතං අස්සා සතං අස්සතරී රථා
සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණිකුණ්ඩලා
ඒකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සෝළසිං

“ඇතුන් සිය දහසක් ද අශ්වයන් සිය දහසක් ද, වෙළඹ සියදහසක් ද, රිය සියදහසක් ද, මැණික් කුණ්ඩලාභරණයන්ගෙන් සරසන ලද කන්‍යාවන් සියදහසක් ද (යමකුට ලැබුණේ ද භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නහුගේ) එක් පියවරක සොළොස්වන කලාවෙන් කලාවටත් නොඅගී.”

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තයේ අඩංගු සුදත්ත සූත්‍රයේ අඩංගු ධර්ම කොට්ඨාසයකුයි. අපි මෙම දහම් කතාව, දහම් අවබෝධය පිණිසත්, කෙලෙසුන් හි නැසීම පිණිසත් සතිය උපදවාගෙන විවරණය කර ගනිමු.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ සීත වනයෙහි වැඩ වසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති කිසියම් කටයුත්තක් පිණිස රජගහ නුවරට පැමිණියේ ය. අනාථපිණ්ඩික සිටුවරයාට මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ සේකැ යි අසන්නට ලැබිණි. එසේ අසන්නට ලැබුණු මොහොතේ දී ම භාග්‍යවතුන් වහන්සේ දක්නට බලවත් සිතක් පහළ විය. එනමුත්, ඒ මොහොතේ දී ම අනාථපිණ්ඩික ගෘහපතීන්ට මෙවැනි අදහසක් ද පහළ විය. භාග්‍යවතුන් වහන්සේ, දකින්නට අද යාම සුදුසු නොවේ. හෙට දිනයේ

භාග්‍යවතුන් වහන්සේ දකින්නට යමි'යි යන අදහසින් භාග්‍යවතුන් වහන්සේ සිහිකර ගෙනම නින්දට සැරසුණේ අලුයම යැයි සිතා තුන් වරක් ම නැඟී සිටියේ ය.

ඉන්පසු ගෘහපති සොහොන් දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවෘත කළහ. අනාථපිණ්ඩික ගෘහපති නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. ගෘහපතීන්ගේ සිතට බිය සහ තැති ගැනීම් ද ඇති විය. මේ නිසා ආපසු හැරී යන්නට සිත් විය. ඒ අවස්ථාවේ සීවක නම් යක්ෂයා නොපෙනෙමින් ඉහත සඳහන් කළ ගාථාව ඇසෙන්නට සැලැස්වීය.

මෙසේ පවසමින් ගෘහපතීන්ව උනන්දු කළේ ය.

ගෘහපතියෙනි ඉදිරියට යන්න. ඉදිරියට ම යන්න. නුඹගේ ඉදිරියට ම යාම සුදුසුයි. ආපසු යාම නොමැනවි යනුවෙනි.

එවිටම අඳුර අතුරුදන් වී ආලෝකය පහළ විය. යම් බියක්, තැති ගැනීමක්, ලොම් පණ ගැනීමක් වී නම් එය මේ නිසා සන්සිඳිණ.

දෙවැනි, තෙවැනි වරට ද නැවතත් එළිය අතුරුදන් වී අඳුර පහළ වන විට ගෘහපතීන්ට බිය තැතිගැනීම් ලොම් පණ ගැන්වීම් ඇතිවී පෙරළා යාමට සිත් ඇතිවූයේ ය. සීවක යක්ෂයා පළමු ගාථාව නැවතත් ඇසෙන්නට සලස්වා ඉදිරියට යන්න, ඉදිරියට යන්න. ඉදිරියට ම යාම මැනවි, ආපසු යාම නොමැනව යනුවෙන් පැවසීය.

අඳුර පහවී ආලෝකය පැතිරිණි. යම් වූ ද බියක්, තැතිගැනීමක්, ලොම් පණගැනීමක් වූයේ නම් එය සන්සිඳිණි. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති ශීත වනයට ගියේ ය.

මේ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැඟිට එළිමහනේ සක්මන් කරමින් වැඩ සිටින සේක. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ දෙසට එන්නා වූ අනාථපිණ්ඩික ගෘහපති දුරදීම දුටු සේක. භාග්‍යවතුන් වහන්සේ සක්මනින් බැහැරව පනවන ලද ආසනයෙහි වැඩ සිටිමින් අනාථපිණ්ඩික ගෘහපතීන්ට

“සුදත්ත” මෙහි එන්න යි වදාළහ.

මෙහිදී අනාථපිණ්ඩික ගෘහපති, භාග්‍යවතුන් වහන්සේ විසින් මාගේ නමින් ම මට කථා කරන්නේ යැයි සතුටුව භාග්‍යවතුන් වහන්සේගේ දෙපා සමීපයෙහි හිසින් ගෞරව කොට මෙසේ ප්‍රශ්න කළේ ය.

භාග්‍යවතුන් වහන්ස, සුව සේ සැතපුණ සේක් ද?

භාග්‍යවතුන් වහන්සේ පතළ මහා කරුණාවෙන් මෙසේ වදාළහ.

“යමෙක් කාමයන්හි නොතැවරේ ද? කෙලෙස් ගිනි නැති බැවින් සිහිල් වූයේ ද? කෙලෙස් රහිතව පිරිනිවියා වූ ඒ පැවිදි උතුමෝ හැම කල්හි ඒකාන්තයෙන් සුව සේ සැතපෙයි”

“සියලු තෘෂ්ණාවන් සිඳ, හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණි උපශාන්ත වූයේ සුව සේ සැතපෙයි.”

මෙම සදහම් පෙළ විවරණය කර ගනිමු. යමෙක් කාමයන්ගෙන් සන්සිඳුණේ ද ඒ සිත සන්සුන් ය. සුවපත් ය. වස්තු කාම සහ ක්ලේශ කාමයෝ පෘථග්ජන සිත් රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් අවුලවති. මේ නිසා එවැනි කාමයෙන් දැවෙන, තැවෙන සිත් ඇති යමකුට සුව නින්දක් නොව සුවපත් වූ සිතකින් මොහොතක් හෝ ගත කළ හැක්කේ දැයි සැක සහිත ය. වස්තු කාමයන්ට හසුවුණේ මහා සාගරයට ජලය ගලා එන්නාක් මෙන් ද, ගින්නට දර දමන්නාක් මෙන් ද සෑහීමක් නොවන්නේ ය.

මහිච්ඡතා නම් වූ දුර්ගුණයෙන් යුක්ත වූයේ කොපමණ ලැබුවත් සෑහීමකට පත්නොවන්නා සේ ම තිබෙන වස්තුව පවා නිසි ලෙස පරිහරණය නොකොට වස්තුවකට අරක්ගත් රාක්ෂයෙක් සේ ද, තෘෂ්ණාවෙන් සහ ඒ නිසා හටගත් බියෙන්, සැකයෙන්, ඊර්ෂ්‍යාවෙන් යුතුව කල් ගෙවයි.

පළඟැටියා පහන් දැල්ලට සමීප වී මිය යන්නාක් මෙන්, වස්තු කාමයෙන් මුසුපත් වූවෝ එයින් ම දුක් විඳ කයින් ද මනසින් ද දුබල වී මිය යති. මරණින් මතු බොහෝ ලෙස දුක් දෙන නිරයක උපදිත්.

“තෝදෙය්‍ය” නම් බමුණාගේ කථාව මෙයට නිදසුනකි. වස්තු තණ්හාවෙන් මියගිය බමුණා තම නිවසේ ම සුනඛ දේනුවකගේ කුසින් සුනඛ පෝතකයෙක් ව උපත ලැබීමයි.

ක්ලේශ කාමයන්හි කතාව මෙයටත් වඩා භයානක ය. ලෝභ, දෝස, මෝහ ලෙසිනුත් නැවතත් ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන, උද්දච්ච, අහිරික, අනොත්තප්ප ලෙස දස ආකාරයකින් පසුව එක්දහස් පන්සියයක් ලෙසිනුත් දක්වා තිබේ.

භාග්‍යවතුන් වහන්සේ, කාමයෝ අල්ප ආස්වාද ඇතියහ. බොහෝ දුක ඇතියහ. බොහෝ උපායාස (බලවත් සිත් තැවුල්) ඇතියහ. බොහෝ දුක් සහිත ආදීනව වදාරන ලදහ. කාමයෝ ඇටසැකිල්ලක් වැනිය යි... දෙසූහ.

මෙසේ බොහෝ දුක් දෙන, තවන, දවන, කාමාදී කෙලෙස්වලින් සන්සිඳුණේ, එසේ සන්සිඳුණු රහතන් වහන්සේ උපශාන්තව, අති පාරිශුද්ධියට පත් වූ හදවතින් යුතු වූයේ, සුව සේ සැතපෙයි.

ඉතාමත් කෙටියෙන් විවරණය කළ සදහම් පෙළ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධා ගුණය දියුණු කොට ගෙන අනාථපිණ්ඩික ගෘහපතීන්ගේ, භාග්‍යවතුන් වහන්සේ දැකීම ද සිතට නඟාගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස වීරිය දරමු.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]