[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින සහ කුසලය දෙකක් ද? එසේ නම් එකක් ද? නැත

පින සහ කුසලය දෙකක් ද? එසේ නම් එකක් ද? නැත

මෙම සටහන, පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිය පන්සිල් පටන් එයට වැඩි අධි සිල් සුරකින ගුණවතත් බොදුනුවන් (බෞද්ධ + නැණවත්) අරමුණු කොට තබන්නකි.

එයට හේතු වන්නේ පෙරදාත් මෙදාත්, අනාගතයේත් පින් කොට සදෙව්ලොව හෝ මිනිස් ලොව සුගති සම්පත් ද, කුසල් කොට රූපාවචර - අරූපාවචරාදියෙහි බ්‍රහ්ම සම්පත් ද ලැබූ හා ලබන බෞද්ධ නොවන පුණ්‍යවන්තයන් එක්තිස් (31) ලොවම සිටින හෙයිනි.

බෞද්ධ අපගේ පරම නිෂ්ඨාව වනුයේ, පරම නිෂ්ඨාව (අවසන් කෙළවර) විය යුත්තේ, එකී 31 ලෝකයෙන් (අපාය 4 + මනුලොව + දෙව්ලොව 6 + දෙපාවචර බඹතල 16 + අරූපාවචර බඹතල 4 = 31 ) කෙනකුටවත් මේ මරණයෙන් පසු යන අයුරෙන් මෙලොව ජීවත්වීම නොව මේ මරණයට පෙර (මෙලොවදීම) අරහත් ඵලය සාක්ෂාත් කොට පුනර්භවයක් නොලබන අයුරින් පින් කුසල් තුළ හැසිරීමක් චුති සිතට යාම ය.

අපට මහා කරුණාවෙන් පරිපූර්ණ භාග්‍යවත් තථාගත සම්බුද්ධ රාජයාණන් වහන්සේ, ඒ උත්තම ශාන්ති නායකයාණන් වහන්සේ ස්වයම්භු ඤාණයෙන් අවබෝධ කළ මුලක්, මැදක්, අගක් ඇති ස්වක්ඛාත වූ, තමන් තුළින්ම දැකිය හැකි සන්දිට්ඨික වූ, හැම කාලයටම ඔබින අකාලික වූ, ඕනෑම මතවාදියකුට නොබියව ‘එව බලව‘ යනුවෙන් දැක්විය හැකි ඒහිපස්සික වූ, සියලු වැඩ පසෙකලා ළං කර ගත් වේලෙහෙි පල ලැබිය හැකි ඕපනයික වූ, අසා තම තමා දැනගත් තමාට ප්‍රතිඵල ලැබෙන පච්චත්තං වේදි තබ්බ නම් වූ, ශ්‍රී සද්ධර්මය ද,

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා සාරිපුත්ත, මහ මුගලන් ආදී අවිචිණ්ණ මහ සඟ පරපුරෙහි වර්තමාන නියෝජනය ආදී සමඟින් වූ සඟ රුවන ද මුණ ගැසී තවම ගතව ඇත්තේ වසර (2566+45 ) 2611 වැනි කෙටි කාලයකි.

එයට පෙර ද මේ විශ්වය මේ එක්තිස් ලෝකය තිබුණි. එකල් හි ද මේ ලොව බුද්ධිමතුන්, ප්‍රඥාවන්තයන් විසූහ. එහෙයින් පින් කළ අය සුගති ලෝකවල ද කුසල් කළ අය බ්‍රහ්ම ලෝකවල ද දීර්ඝායුෂ ලබමින් දැනුදු වෙසේ.

අපි මේ වනවිටත් ධර්මය අසා දැන සිටින කරුණකි. පින් කිරීමෙන් එහි විපාක වශයෙන් සුගති සම්පත් ලැබිය හැකි බව. එනම් භවගාමී ස්වභාවයෙන් මිනිස් දෙව්ලොව උපත ලබන බව. එමෙන්ම කුසල් කිරීමෙන් නිර්වාණගාමී විය හැකි බව ද ධර්ම දේශනා තුළින් අපි අසා ඇත්තෙමු.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ද වරක් සසර සැරිසරද්දී “පස්ස පුඤ්ඤානං විපාකං කුසලානං සුඛෙසිනො’ යනාදී වශයෙන් දේශනා කරමින්

මහණෙනි, පින් කිරීමට බිය නොවන්න. සත්වසක් මෙත් සිත් වඩා කල්ප සතක් මනු ලොවට නොපැමිණියෙමි’ යනුවෙන් මා පුඤ්ඤභාසි සූත්‍රයේ දී (අං.නි. 4 - විට 412 ) වදාළ ස්ථාන ඇත.

ඉහත සියලු කාරණා සැලකිල්ලට ගනිමින් අති දීර්ඝ කාලයකට පසු සමතිස් පෙරුම්දම් පුරා සම්මා සම්බුදුවරයකු මිනිස් ලොව පහළ වන්නේ ම අනුගාමිකයා නැවත භවයකට ගෙන යාමට නොව, මේ උපන් භවයේ දී ම භව ගමන නවතා දීමට ය.

ත්‍රිපිටකාගත බුද්ධ දේශනා තුළ මේ අනුශාසනාව විවිධාකාරයෙන් බොහෝ සූත්‍රවල සාර යම වේ. (උදා - එකක් පමණක් ස.නි.2 කස්සප සංයුත්තයේ ජිණ්ණ සූත්‍රය පිටුව 308 කියවා බලන්න)

පින පාලියෙන් පුඤ්ඤ යනුයි. අර්ථය පිරිසුදු යහපත් ක්‍රියාවන් ය. කුසල යන්ට අර්ථ කීපයක් ඇතත් මෙහිලා උපකාර වනුයේ දක්ෂ වූ, නිපුණ වූ අදහසයි.

මෙතෙක් පහළ වූ සියලු බුද්ධෝත්තමයාණෝ ද “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යනුවෙන් මෙත්ත සූත්‍රයේ “කරණීය මත්ථ කුසලේන - යං තං සන්තං පදං අභිසමෙච්ච” (ශාන්ත පදය නම් නිර්වාණයට එළඹෙනු කැමැති අත්ථ කුසල හෙවත් අරමුණ ඉටුකර ගැනීමට දක්ෂ පුද්ගලයා) යනුවෙන් ද ඇති තැන් සිහිපත් කරමින් මෙසේ ඉදිරි සටහන් තබමු.

සසරෙහි ආදීනව නොදැන අනවබෝධයෙන් මතු සම්පත් අපේක්ෂාවෙන්, ඥාන විප්‍රයුක්තව අවිජ්ජා පච්චයා සංඛාරා ලෙසින් පුණ්‍ය ක්‍රියා කරන්නෝ වෙති.

සසරෙහි යථාර්ථය දැන සසරින් මිදීම පිණිස කර්ම භව නිරෝධය සලකා ඥාන සම්ප්‍රයුක්තව පුණ්‍ය කරන පිරිසක් ද වෙති.

මේ දෙපිරිස ම සුගති සම්පත් ලබති.

මේ අතර තවත් සමහරු දස අකුසලින් ම වෙන් ව වාසය කරයි. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහ ක්ෂය කරමින් සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන්හි දැනුම ලැබ ඒවායෙහි හැසිරීමට දක්ෂ නොවෙති.

එහෙයින් ඔවුහු පින්වත් වුවත් ගුණවත් වුවත්, ලෞකික කුසල් (දක්ෂකම්) ඇත්තවුන් ලෙසින් සුගති සම්පත් ලබන්නට ම සුදුස්සෝ වෙති.

මෙසේ ලෞකික කුසල් ඇත්තෝ මෙන්ම ලෝකෝත්තර කුසල් ඇත්තෝ ද බුද්ධ ශ්‍රාවකයන් අතර වෙති. ඔවුහු පින් කිරීමේ දී ඥාන සම්ප්‍රයුක්තයෝ වෙති.

සසරට බිය ඇතිව, සතර ප්‍රධාන වීරිය වඩමින් සියලු බුදුවරු දෙසූ අයුරින් සියලු පව් අකර්මණ්‍ය කරමින්, කුසල් උපදවමින්, සම්මා දිට්ඨිගත ව, නිවන් අරමුණට ගෙන, සිත දමනයෙන් ප්‍රඥාව පහළ කරවා ගෙන, පටිච්ච සමුප්පාද අවබෝධයෙන් සංසාර තුන් වටය වටහාගෙන, පරම චතුස්සත්‍යය අවබෝධය මෙලොව දී ලබන්නකු වේ.

ඔවුහු පුනර්භවය නැත්තන් විය. අපිදු එසේ වන්නට වීර්ය වඩන්නෝ වෙමු.

අනභි සම්බුද්ධ කාලයන්හි ද පින් කළෝ දිව්‍ය මනුස්ස සම්පත් ද, කුසලයෙහි දක්ෂයෝ ධ්‍යාන වඩා බඹතලවල කෙලෙස් සහිතව පහළව කාකාරාගත් කෂායෙහි ජලය චිත්තය මෙන් ද, ඒ ජලයෙහි අඩංගු වූ නානාවිධ බෙහෙත් රස චෛතසික මෙන්ද, සලකන්නාක් මෙන් යහපත් ක්‍රියා නම් වූ පින් සිත් නැත්තේ එවන් කවරකු හට හෝ ඒ ක්‍රියාකාරකම්වල දක්ෂයකු (කුසලතා) විය නොහැක.

එහෙයින් පිනෙන් තොර කුසලයක් නැත. කුසලයෙන් තොර නිවනක් නැත. නිවන් අධිෂ්ඨානයෙන් ම පින් ද කුසල් ද කරන්නෝ වෙමු.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]