[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රේෂ්ඨත්වයේ ආරම්භය අප්‍රමාදී බවයි

ශ්‍රේෂ්ඨත්වයේ ආරම්භය අප්‍රමාදී බවයි

‘ගමන දුරයි හෙමින් යන්න’ මෙය අජාන්චා හිමියන්ගේ සඳහනකි. මේ තුළ අපට කියාදෙන පාඩම අප්‍රමාදී වීමයි. තථාගත ශ්‍රාවකයෙක් හැටියට උන්වහන්සේ අප්‍රමාදි ගුණයට තම ජීවිතය තුළ වටිනාකම් ලබා දුන්හ. එහි ආස්වාදය විඳි උන්වහන්සේ මුළු මහත් සමාජයට කියා සිටින්නේ අප්‍රමාදී වන ලෙසයි.

සංයුත්ත නිකායේ අප්පමාද සූත්‍රයේ දී කොසොල් රජු අප්පමාදය පිළබඳ තථාගතයන් වහන්සේගෙන් මෙසේ විමසුවේ.

"තථාගතයන් වහන්ස, මෙලොව පරලොව අභිවෘද්ධියට හේතුවන එක් දෙයක් දේශනා කරන්න" යනුවෙනි.

බුදුරදුන් එහිදී පුද්ගලයාගේ දියුණුවට හේතුවන කරණු ලෙස දේශනා කළේ අප්‍රමාදී වීමයි.

වනයෙහි ඇත් පාදය තුළ ඕනෑම සත්ව පාදයක් තැබිය හැකි වන්නේ යම් සේ ද ඕනෑම දියුණුවකට අවශ්‍ය ගුණය අප්‍රමාදී වීමයි. මෙහිදී තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනුයේ ආයුෂ, නිරෝගී බව, ලස්සන, සැපයෙන් අග්‍ර බව, උසස් කුලයන්හි ඉපදීම ඇතුළු කුදුමහත් උදාර සම්පත්තීන් පතන්නා අප්පමාදය පුරුදු කළ යුතු බව ය. බාල, තරුණ, මහලු සියල්ලෝ ම මෙලොව මෙන්ම සසර ම ඉහත දැක්වූ වරප්‍රසාද ලබා ගැනීමට නම් අප්‍රමාදීව සියලු කටයුතු මෙහෙයවීම අවශ්‍ය බවය.

එසේම තථාගතයන් වහන්සේ දේශනා කරනුයේ ප්‍රමාද වූ අප සියලු දෙනාගේ මිත්‍රයා මාරයා බවයි. සසර ගමන කෙටි කරගෙන නිවන් අවබෝධ කරගනු කැමති සියල්ලෝ ම අප්‍රමාදී බව පුරුදු කළ යුතු ම ය. තථාගත දේශනාවේ අප්පමාදය ලෙස විස්තර කරනුයේ එළඹසිටි සිහිය ඇති බවයි. මෙහිදී එළඹසිටි සිහිය ලෙස දක්වන්නේ වර්තමානයේ නිසි අවබෝධයෙන් කටයුතු කිරීම ය. එය තවත් ආකාරයකින් දක්වන්නේ නම් යෝනිසෝ මනසිකාරය, සති සම්පජඤ්ඤය (සිහිය සහ බුද්ධිය) මේ මොහොත ලෙස විස්තර කොට ගත හැකි ය.

ප්‍රමාදයට පත්වන්නේ අතීතයේ හෝ අනාගතයේ ජීවත් වීම නිසයි. එළඹි වර්තමානයේ ජීවත් වන්නේ නම්, ප්‍රමාදයට පත් නොවේ. මෙම සිහිය දහම තුළ ගෝචරසීමාව, පිය උරුමය ලෙස ද විස්තර වේ.

ගෝචර සීමාව නොදත් බව බොහෝ ගැටලුවලට මූලයකි. ඒ මත ප්‍රමාදය හටගනී. පසුගිය කාලයෙහි සීදුව ප්‍රදේශය තුළ සිදුවූ භික්ෂු ඝාතනය එවැන්නකි.

තරුණ හිමියන් සහ ගුරු හිමියන් තම තමන්ගේ ගෝචර සීමා හඳුනා නොගැනීම කෙනකු සිරගත වීම හා තව කෙනකුට ජීවිතය අහිමිවීමට බලපෑහ. මෙයින් පැහැදිලි වන්නේ ප්‍රමාදයෙහි ආදීනව ගිහියන්ට පමණක් නොව භික්ෂුවට ද සමාන බව ය.

මෑත ඉතිහාසය තුළ ප්‍රමාද වූ බොහෝ දෙනකු ගේ සෝචනීය ඉරණම් අපි අත්වින්දෙමු. එහෙයින් එළඹසිටි සිහිය තුළ කටයුතු කිරීම තමන්ගේ ජීවිත දේපළ පවා ආරක්ෂා වීමට හේතුවේ. සකුණග්ගි සූත්‍රයේ ද කැටකුරුල්ලාගේ ජීවිතය අවසානයේ දී ආරක්ෂා වූයේ පිය උරුමය හෙවත් සිහිය මත කටයුතු කිරීම මත ය.

බුදුරදුන්ගේ අවසාන බුද්ධ වචනය වූයේ ද " සියලු සංස්කාර ධර්ම අනිත්‍යයයි . එහෙයින් නොපමාව කුසල් සම්පාදනය කර ගන්න" යනුවෙනි.

එය තථාගත වචනයෙන් ම සඳහන් කළේ ‘අප්පමාදේන සම්පාදේථ” වශයෙනි.

අවශ්‍ය කුසල් වඩන්න අප්‍රමාදිවීම, සදාචාරවත් ජීවිතයක් ගත කරන්න අප්‍රමාදිවීම , පංචශීලය ආරක්ෂා කිරීමට අප්‍රමාදීවීම, සරලවම දැන්වුවහොත් පිනට ලැබිච්ච ජීවිතය පවට නැඹුරු නොකිරීමට අප්‍රමාදීවීමයි.

අපායේ භයංකාරත්වය, සසර දුක්ඛයාගේ විශාලත්වය නුවණින් හඳුනා ගන්නා පුද්ගලයා කායික මානසික සුවය ඇති කල්හි සසර අවශ්‍ය මඟ වියදම් සකසා ගත යුතු වේ. එතැන දී උකටලී නොවීම අප්‍රමාදයයි. අප්‍රමාදී බව වඩාත් අර්ථවත් වන්නේ සත්තිස්බෝධිපාක්ෂික ධර්ම වැඩිමේදී ය.

විශේෂයෙන් බෞද්ධයකුගේ නිෂ්ඨාව නිවනයි. ඒ වෙනුවෙන් දියුණු කළ යුතු ගුණ ධර්ම බෝධි පාක්ෂික ධර්මයන් ය.

අප්‍රමාදී බව සියල්ලන්ගේ ම ප්‍රශංසාවට ලක්වන අතර, ප්‍රමාදය ගැරහීමට පත්වේ.

අප්පමාදං පසන්සන්ති පමාදො ගරහිතෝ සදා” වර්තමාන තරුණ පරම්පරාවට මේ වෙනුවෙන් හඳුනාගත හැකි ප්‍රධාන චරිතය කුම්භඝෝෂක චරිතයයි. ධම්මපදයේ අප්පමාද වර්ගය තුළ දැක්වෙන “උට්ඨානවතෝ සතිමතෝ” යන ගාථාව දේශනා වෙන්නේ ඔහු අරභයා ය.

බුදුරදුන් ඔහුගේ අප්‍රමාද බව ප්‍රශංසාවට ලක්කර එවැනි ගුණ සහිත අයගේ යසස වැඩෙන බව දේශනා කළහ. උත්සාහයෙන්, සිහියෙන්, යහපත් කර්මාන්ත සිදුකරන අය, සංයමයෙන් කටයුතු කිරීම තුළ අප්‍රමාදීව කීර්තිය හෙවත් යසස වැඩෙනවාට කැමැති අය සිහිය, උත්සාහය මෙන් ම යහපත් කටයුතු සිදුකළ යුතු ම ය.

එසේ නොවන ඕනෑම කෙනකුගේ කීර්තිය ඉතා තාවකාලික ය . කම්මැලිකමින්, බොරුවෙන්, සාහසිකකමින් ලබන කීර්තිය ඉතා තාවකාලික ය. එමෙන්ම වැඩ කළ හැකි කාලවල දී එසේ නොකිරීම පසුතැවීම්වලට ද හේතු වේ. ‘අචරිත්වා බ්‍රහ්ම චරියං” යන ගාථාව තුළ දැක්වෙන්නේ වැඩ කළ හැකි අවස්ථාවන්වල දී එසේ නොකිරීම පසුතැවීමට හේතුවන බවයි.

නාකි කොස්වා ලිහිණියෙක් වතුර මඩ වලක දැන් දැන් මාළු එතැයි බලා සිටින්නා හා සමානව වයසට ගිය කල පසුතැවේ. සාමාන්‍ය වහරෙහි එය අප දක්වන්නේ මහන්සි විය යුතු කළ හාන්සි වුණාම හාන්සි විය යුතු කළ මහන්සි විය යුතු වේ යනුවෙනි.

ශක්‍රයා ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ අප්‍රමාදී බව මත ම ය.

“අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතං ගතො” සසර භවය තුළම සක්‍රයා අප්‍රමාදී වූ අතර, සක්‍ර සැපය තුළ පවා අනාගාමී වූහ. තථාගතයන් වහන්සේගෙන් බණ අසා සක්‍රයා සඳහන් කරන්නේ තමනට දහම් ඇස පහළ වූ බවත්, අවසාන ආත්මය අකනිට්ඨා බ්‍රහ්ම ලෝකයෙහි උපදින බවත් ය. අකනිට්ඨාව ඇතුළු සුද්ධාවාසවල උපදින්නේ අනාගාමී වූ පිරිස් ය.

එමෙන්ම වාසව, පූරින්දද යන ගෞරව නාම ලැබුණේ අප්‍රමාදිවීම නිසා ය. වාසස්ථාන සකසා දීම, මුලින්ම දන්දීම එතුමාගේ චර්යාව විය. ලෞකික අග්‍රඵලයන් ලැබීමට අප්‍රමාදය හේතු විය. කුසීතකම මත ප්‍රමාද වූ තැනැත්තා දහම තුළ හඳුන්වන්නේ බාලයා ලෙසෙනි. දෙව්දත් තෙරුන්, මාගන්ධිය වැන්නවුන් ඒ අරුතින් බාලයන් විය. තමන් සමඟ පැවිදි වූ ආනන්ද, භගු , කිම්බිල, අනුරුද්ධ, උපාලි වැනි හිමිවරුන්ට අප්‍රමාදීව නිවන් සුවය විඳින්නට ලැබුණ ද දෙව්දතුන් අවීචියෙහි බවකීල දුක උරුම කර ගත්හ.

සුභ සූත්‍රයට අනුව ද ප්‍රමාද වූ තැනැත්තා පංච නීවරණවල ගොදුරක් බවට පත් වන බව දේශනා කළහ.

අප්‍රමාදී වීමට ඇති ප්‍රධාන බාධා රාශියකි. ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, ධනය, කුලය, අලසකම ඒ අතර ප්‍රධාන වේ.

ලෝභයෙන් යුතු තැනැත්තා අනෙක් සියලු දේ පසෙක ලා ලෝභය, පිරිමසා ගැනීමට පෙළඹේ. එහිදී ඔහුගේ සිහිකල්පනාව ඒ මත රැඳේ. ඒ වෙනුවෙන් බොහෝ දුරාචාර සිදුකරයි. තමන්ට ද ලැබුණ බලය දැනුම පවා අවභාවිතකිරීමට පෙළඹේ. මේ සියල්ල තුළම සිදුවන්නේ ප්‍රමාදයකි. අනෙක් කාරණා ද එසේ ම ය.

බෝසතාණන් වහන්සේ වීර්යය වැනි පාරමිතා පුරමින් සසර අප්‍රමාදවීම මත උතුම් සත්‍ය අවබෝධ කොට ගෙන ලෝක සත්වයා ද දුකින් මුදවීමට කටයුතු කළහ. ඒ අප්‍රමාදී ගුණය නිසා ය.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]