[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්පුරුෂ ඇසුර සසර පුරාම පැතිය යුතු ඇයි?

චූලපුණ්නව සූත්‍රය:

සත්පුරුෂ ඇසුර සසර පුරාම පැතිය යුතු ඇයි?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අසත්පුරිසො භික්ඛවෙ අසද්ධම්ම
සමන්නාගතො හොති, අසත්පුරිස
භත්ති හොති,අසත්පුරිස චින්තී
හොති, අසත්පුරිස මන්තී හොතී
අසත්පුරිස වාචො හොතී,අසත්පුරිස
කම්මනතො හොති,අසත්පුරිස
දිට්ඨි හොතී, අසත්පුරිස දානං දෙති

පුද්ගලයකුගේ අභිවෘද්ධිය පිණිස කවර කාලයක වුවත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වෙනවා. පුද්ගලයා නිවනට යොමු කරවන්නේ ද සත්පුරුෂයා විසින්.

අසත්පුරුෂයා හැම කල්හිම දුසිරිතට, පාපයට ම පුද්ගලයා රැගෙන යනවා. ඒ නිසා ආශ්‍රය සඳහා සත්පුරුෂයන් ම තෝරා ගත යුතු වෙනවා.

අපි ඕනෑම පුණ්‍ය කර්මයක් අවසානයේ සත්පුරුෂ ආශ්‍රය පතමින්, අසත්පුරුෂයන් ප්‍රතික්ෂේප කරන්නට “ඉමිනා පුඤ්ඤකම්මේන” යන ගාථාව කියනවා.

සත්පුරුෂයා සහ සත්පුරුෂතරයා යනුවෙන් දෙදෙනෙක් බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා. පංච දුශ්චරිතයෙන් වැළකී තම ජීවිතය පුණ්‍යවන්ත කරගත් පුද්ගලයා සත්පුරුෂයා යි. එවැනි කෙනෙක් අන්‍යයන් ද පංච දුෂ්චරිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරනවා නම්, වෙහෙස වෙනවා නම් ඒ පුද්ගලයා සත්පුරුෂතරයා බවට පත් වෙනවා.

සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නට වටිනා කරුණු කීපයක් චූල පුණ්නව සූත්‍රයෙහි බුදුහිමියන් වදාළා.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩවසන සමයෙහි පුන් පොහෝ දිනයෙක සන්ධ්‍යාවේ තමන් වහන්සේ පිරිවරාගත් භික්ෂු සමූහයා වෙත සත්පුරුෂයා හා අසත්පුරුෂයා හඳුනා ගන්නා ආකාරය පිළිබඳ කළ දේශනාව මේ සූත්‍රයට ඇතුළත් වී තිබෙනවා. එයට අනුව අසත්පුරුෂයා හඳුනා ගන්නා ලක්ෂණ අටක් බුදුහිමියෝ පෙන්වා වදාළා.

මහණෙනි, අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුක්ත වෙනවා. (අසද්ධම්ම සමන්නාගතො හොති)

අසත්පුරුෂයා, අසත්පුරුෂයන් ම ආශ්‍රය කරනවා (අසත්පුරිස භත්තො හොති)

අසත්පුරුෂයා අසත්පුරුෂ සිතිවිලිවලින් යුක්ත වෙනවා (අසත්පුරිස චින්තී හොති)

අසත්පුරුෂයා අසත්පුරුෂ ලෙසට කථාවෙන් යුක්ත වෙනවා. (අසත්පුරිස මන්තී හොති)

අසත්පුරුෂයා අසත්පුරිස වචනවලින් යුතු වෙනවා. (අසත්පුරුස මන්තී වාචො හොති)

අසත්පුරුෂයා අසත්පුරිස ක්‍රියාවලින් යුක්ත වෙනවා. (අසත්පුරුස කම්මන්තො හොති)

අසත්පුරුෂයා අසත්පුරිස දෘෂ්ටි ඇත්තෙක් වෙනවා. (අසත්පුරිස දිට්ඨි හොති)

අසත්පුරුෂයා අසත්පුරිස දානයක් දෙනවා (අසත්පුරිස දානං දෙති)

මේ ආකාරයෙන් බුදුපියාණෝ අසත්පුරිස ගති පෙන්වා මෙම සූත්‍රයේ දී ඊළඟට ඒ එක් එක් කාරණාව විවරණය කර තිබෙනවා. ඒ අනුව අසත්පුරුෂයා තෙරුවන් කෙරෙහි කිසිදු පැහැදීමක් නැති, ධර්මය පිළිබඳ කිසිදු අවබෝධයක් නැති, කම්මැලි, කුසීත සිහි මුළා වූ අඥානයකු බව බුදුහිමියෝ මෙහිදී පැහැදිලි කළා.

එමෙන් ම අසත්පුරුෂයා නිතරම ශ්‍රද්ධාව නැති, විලිබිය නැති අල්පශ්‍රැත, කම්මැලි සිහිය මුළා වූ අඥානයන් ම ආශ්‍රයට එකතු කර ගන්නවා.

අසත්පුරුෂයා තමන්ට ද, අනුන්ට ද අහිත පිණිස ම සිතනවා. තමන්ටත් අන්‍යයන්ටත් නපුරු ලෙසට සිතිවිලි ගොඩනඟා ගන්නවා.

ඊළඟට අසත්පුරුෂයා හැම විටෙක ම අසත්පුරිස කථාවෙන් යුතු වෙනවා. කරන කථාව තමන්ටත් පීඩා ඇති කරනවා. අන්‍යයන්ටත් පීඩා පිණිස ම පවතිනවා.

තමන්ටත්, අනුන්ටත් අනර්ථය පිණිස ම හේතුවන කථා කරන්නේ අසත්පුරුෂයායි. එමෙන්ම අසත්පුරුෂයා බොරු, කේලාම්, පරුෂ වචන සහ සම්ප්‍රප්පලාප නිතර නිතරම කියනවා.

අනුන්ගේ වතගොත සොයමින් ඒවායේ වැරැදි අඩුපාඩු තවත් කෙනෙක් සමඟ කියනවා. අන්‍යයන්ගේ කීර්තිය නැති වන විදියට විවිධ බොරු ප්‍රවාද හදනවා. කටපුරාම පරුෂ වචන පිරිලා. ඕනෑම දෙයකට පරුෂ වචනයකින් ම පිළිතුරු දෙන්න පුළුවන්.

ඊළඟට අසත්පුරුෂයා පරපණ නසමින්, සොරකමින් ම ජීවත් වෙන්න උත්සාහ කරනවා. දුෂ්ට වෙළඳාම් ආදියෙහි නිතර ම නිරත වෙනවා. මිනිසුන්ගේ ජීවිත විනාශ වන ආකාරයෙන් මිනිසුන්ට වස විෂ විකුණනවා.

සමහර විට මිනිසුන් අනුභව කරන ආහාර පාන කල් තබා ගැනීම පිණිස දැන දැනම ඒවාට වස විෂ යොදන අය අපේ සමාජයේ ඉන්නවා. ඒ සියලු දෙනාම අසත්පුරුෂයන් අතරටයි වැටෙන්නේ. ඒ වගේම තමයි කාමයෙහි වරදවා හැසිරෙමින් ජීවිත තිරිසනකුගේ තත්ත්වයට පත් කර ගන්නේ ද අසත්පුරුෂයෙක්.

තිරිසනා හැසිරෙන්නේ තමන්ට සහජයෙන් ලැබුණ චර්යාවන්ට අනුව. ඒවා වෙනස් කර ගන්න තිරිසනුන්ට බැහැ. ඒත් මිනිසුනට එහෙම නොවෙයි. මනසක් ලැබී තිබෙන්නේ සිතට එන විදියට ම වැඩ කරන්න නොවෙයි. ඒ නිසා තම හැඟීම්වලට වහල් වෙලා රාගයෙන් මුලා වෙලා, සමාජයේ සල්ලාලයන් ලෙස ක්‍රියා කරන්නේ අසත්පුරුෂයා යි.

ඒ වාගේම අසත්පුරුෂයාට හොඳ, නරක මෙලොව, පරලොව, කර්මය හා කර්ම ඵලය පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. මෙලොවක්, පරලොවක් හෝ කුසල අකුසල පිළිබඳ විශ්වාසයෙන් තොර මනුෂ්‍යයා තම ජීවිතයෙන් මොනතරම් පාප ක්‍රියා සිදු කර ගන්නවා ද? කුසලය හා අකුසලය පිළිබඳ විශ්වාසය නැතහොත් කර්මය පිළිබඳ විශ්වාසය පුද්ගලයකු සදාචාරාත්මක දිවි පෙවෙතකට යොමු කරවනවා. වැරැද්දෙන් මිදී ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් අසත්පුරුෂයාගේ හැටි බලන්න. ඔහු මේ කිසිවක් පිළිනොගෙන පව් කර ගන්නවා.

එමෙන්ම අසත්පුරුෂයා යමක් දෙන විට පරිත්‍යාග කරන විට තමන්ගේ දෑතින්ම එය කරන්නේ නැහැ. දෙන දෙය කෙරෙහිත්, ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් කිසිම ගෞරවයක් ඇත්තේ නැහැ. තමන්ට ප්‍රයෝජනයට ගත නොහැකි දේ් ම සොයා දන් දෙනවා. විපාකය පිළිබඳවත් විශ්වාසයක් නැහැ. සමාජයෙන් කීර්තියක් ලබා ගැනීම සඳහා දන් දෙන අය මේ සමාජයේ ඉන්නවා. මේ අයගේ දාන අසත්පුරිස දාන වශයෙන් වදාළා.

මේ අනුව මේ සූත්‍රයේ දී අසත්පුරුෂයා පාප ධර්මයෙන් යුතු බවත්, අසත්පුරුෂයන් ම ආශ්‍රය කරන බවත්, සිතන සිතිවිලි අසත්පුරුෂ බවත්, කතාව වචන අසත්පුරුෂ බවත්, ක්‍රියාව හා දෘෂ්ටි අසත්පුරුෂ බවත්, දන් දෙන්නේ ද අසත්පුරුෂ ස්වභාවයකින් බවත් බුදු පියාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී වදාළා. මේ අසත්පුරුෂයා මරණින් මතු නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි උප්පත්තිය ලබන බව ද බුදුපියාණන් වහන්සේ වදාළා.

එබැවින් පින්වතුනි, ඔබ හැම විටෙක ම මේ අසත්පුරුෂ ගතිවලින් මිදෙන්න උත්සාහ කළ යුතු සේ ම බුදුහිමියන් වදාළේ මේ අසත්පුරුෂයන් සේවනය නොකළ යුතු බවයි. “අසේවනාච බාලානං”. “නභජේ පාපකේ මිත්තේ” යන දේශනාවෙන් විමසා බලන විටත් විවිධ සූත්‍ර දේශනා විමසන විටත් අසත්පුරුෂයන් ගැන බුද්ධ දේශනාව අපට පැහැදිලි වෙනවා.

එබැවින් ජීවිතය සන්තුෂ්ඨිමත් කර ගැනීම සඳහාත්, මෙලොව අභිවෘද්ධිය සඳහාත්, දුගතියෙන් බේරීම සඳහාත්, නිවනට මඟ සාදා ගැනීම සඳහාත් සත්පුරුෂයන්ගේ ආශ්‍රය සසර පුරා ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. මේ දේශනාව කියවූ ඔබට අසත්පුරුෂයා තේරුම් ගෙන ඔවුන්ගෙන් මිදෙන්නට හා සත්පුරුෂයා දැන හැඳින ගෙන ඔවුන් හා කටයුතු කරන්නට ශක්තිය සැලසේවා.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]