[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලද පමණින් තුටු විය හැකි හිත උතුම්

ලද පමණින් තුටු විය හැකි හිත උතුම්

කරණීයමෙත්ත සූත්‍රයේ එන ඉතා වැදගත් ම අර්ථයක් දෙන වචනයක් තමා “සන්තුස්සකො” යන්න. මෙයින් සත්‍ය වශයෙන් ම ප්‍රකාශ වන්නේ පුද්ගල සන්තානය තුළ “මේ දැන් මට ඇති” අදහසට එකඟව හිත සකස් කර ගැනීමේ අවශ්‍යතාව යි.

මේ සිතිවිල්ල ඇති කර ගැනීම ඉතා බරපතළ දුෂ්කර කාර්යයක්. බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා

“ඌනො ලොකො අතින්තො තණ්හාදාසො” යන මේ බුදුවදනින් ප්‍රකාශ වන්නේ එයයි.

සත්වයා ලැබෙන දෙයින් සැනසෙන, සෑහීමකට පත්වීම සිදුවන්නේ බොහොම අල්ප වශයෙන්. තණ්හාවට දාසවෙලයි ඉන්නේ. මේ තත්වය අපේ සමාජ රටාව තුළ දක්නට ලැබෙනවා ද, යන්න අප විමසුමට ලක්කළ යුතු කරුණක්.

ඇත්තටම දිවි ඇති තෙක්ම කරන වෘත්තිය, දරන තනතුරු, ලබන ලාභ ප්‍රයෝජන, යන මේවායින් සෑහීමකට පත්වෙනවා ද? යන්න සිතිය යුතු කරුණක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයෙන් මෙය තෘෂ්ණාවට දාස වීමක්. එවගේම මේ ජීවත් වන ලෝකයේ අප ගතකරන සෑම තත්පරයක් ම අසහනයෙනු යි පසු කරන්නේ.

වර්තමානයේ තාක්ෂණික මෙන්ම විද්‍යාත්මක වශයෙන් දියුණු යැයි අප හිතන මේ ලෝකයේ එම අසහනකාරි ස්වභාවය වඩාත් උග්‍රයි. මොකද? ඒ දියුණුව නිසාම ඇති වී සමාජය ඉදිරියට පැමිණ තිබෙන මෙවලම් ඉදිරියේ පුද්ගලයා ඒවා අත්පත් කර ගැනුමට යාමේ දී ඇතිවන අසහනකාරි ස්වභාවය නිසයි.

ඉතාම සරල නිදසුනක් ගත හොත් වර්තමානයේ ජංගම දුරකථන මෙවලමක් මිල දී ගැනීමේ දි එයින් කෙරෙන කාර්යය සිදු කරවා ගැනීමට මොනතරම් පිරිවැයක් දරනවා ද? යන්න. වාහන, ඇඳුම් පැළඳුම්, කෑමබිම, ඉදිකිරීම් යන මේ හැම කේෂ්ත්‍රයක දී ම අපට මේ කරුණ අත්විඳීන්නට හැකි යි. මෙ තත්වය ඇති වන්නේ අධ්‍යාපනයෙන් දුරස්ථවීම, පාප මිත්‍ර කණ්ඩායම්වල එක්වීම, ධර්මයෙන් ඈත්වීම වැනි කරුණු හේතුවෙනු යි.

මේ කරුණෙහි දී භික්ෂූන් වහන්සේ වන අපටත්, ගිහි උදවිය හැටියට සමාජයේ ජීවත්වන ඔබටත් ඉතා වැදගත් අර්ථයක් ප්‍රකාශ වන බුදුදහමේ එන වචන තුනක් තිබෙනවා. යථාලාභ සන්තෝස, යථාබල සන්තෝස, යථාසාරුප්ප සන්තෝස යන කරුණු තුනයි එයින් පැහැදිලි කරලා තිබෙන්නේ.

මේ කරණීයමෙත්ත සුත්‍රය දේශනා කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පැනනැඟුණ හේතුවක් උඩ නිසා එහි මූලික වශයෙන් භික්ෂූන් වහන්සේගේ පැත්තෙන් ඒ අයගේ ආධ්‍යාත්මික සුවය පිණිස එම කරුණු හේතු වෙනවා.

ඒ වගේම ගිහි ජනතාවගේ පැත්තෙනුත් එහි කිසි අඩුවක් නොමැතිව බරපතළ වැදගත්කමක් තිබෙනවා.

තමන්ට ලැබුණු ලැබුණු ප්‍රමාණයෙන් සතුටට පත්වීම යථාලාභ සන්තෝස යන වචනයෙන් ප්‍රකාශ වෙනවා. එය තවත් ආකාරයකින් කියනවා නම්, ලද පමණින් සතුටට හෙවත් සෑහීමට පත් වීම යි. භික්ෂූන් වහන්සේගේ පැත්තෙන් ගත්හම උන්වහන්සේට ලැබෙන එකම ලාභය තමා චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍යය කියන සිව්පසය. ඉතින් මේ සිව්පසය පරිභෝග කිරීමේ දී කොතෙක් ලැබුණත් එසේ තෘප්තියකට පත් නොවන සමාජ පරිසරයක ජීවත් වීමේ දී හැම විටම බෞද්ධ වත පිළිවෙත ගිලිහෙනවා. නිවන් මඟ වඩාත් ඉක්මනින් පසක් කර ගැනීමට උත්සාහවත් වන භික්ෂු භික්ෂුණී දෙපක්ෂය ම මේ කරුණ වඩාත් දැඩිව අවබෝධ කර ගෙන තම දිවි පවත්වාගෙන යායුතු ය කියන මේ කාරණය එම දෙපක්ෂයේ පැවිදි ජීවිතය වඩාත් සුරක්ෂිතව පවත්වා ගෙන යාමට හේතු වෙනවා.

ඒවගේ ම තමයි බුද්ධශ්‍රාවක ගණයට ගැනෙන ගිහි පාර්ශවය ද මේ කරුණ දැඩිව අවබෝධ කර ගත යුතු වන්නේ ඔවුන්ගේ ජීවිතය වඩාත් සැහැල්ලුවෙන්, ආධ්‍යාත්මික සමබරතාවකින් පවත්වා ගෙන යාමට හේතු වන නිසා. පංචකාම සම්පත් විඳීම කෙරෙහි වැඩි බරක් පෙන්වන ගිහි ජනතාව බොහෝවිට අතෘප්තිමත් ලෙස දිවිපෙවෙතක් ගත කරන අයුරු සමාජය දෙස බලනවිට පෙනී යනවා. විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාව සිදුරු කර ගන්නා ඇතැම් ස්ත්‍රීපුරුෂයන් තෙවෙනි සිල්පදය හෙවත් කාමෙසු මිච්ඡාචාරා යන වැරැදි අඹුසැමි ජීවිත ගත කරන්නට පෙළඹෙන්නේ මේ අතෘප්තිකර බව නිස යි.

එපමණක් නොව මිනිසා නොයෙක් අකටයුතු, අසාධාරණ මිල මුදල්, ධනය, වස්තුව වැනි දේ පරිහරණය කරන්නේ ද මේ යථාලාභ සන්තෝසය ඉක්මවා ක්‍රියාත්මක වීම නිස යි.

සාමාන්‍ය ජීවිතයේ දී තමන් විසින් අත්කර ගත යුතු සතුට ඉක්මවා වෙනත් වැරැදි මාර්ගවලින් උපරිම වින්දනයක් ලබා ගැනීමට ක්‍රියාකිරීම නිසයි මිනිසා මතට යොමු වී තිබෙන්නේ කියා කිවහොත් වඩාත් නිවැරැදි වෙනවා. මේ අනුව බලන කොට අද අප ජීවත් වන මේ සමාජය තුළ නොයෙක් අසාධාරණකම්, කල කෝලාහල. පවුල්වල අසමඟිකම් ඇති වීමට මේ ලද දෙයින් සතුටට පත් නොවීමේ හේතුව බලපාන බව පැහැදිලව පෙනීයන කරුණක්.

මේ වගේම යථාබල සන්තෝස යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න පිළිබඳවත් මෙහි දි අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. මෙයින් අදහස් කරලා තිබෙන්නේ තමන් වෙත ලැබෙන ධනය, බලය, තත්ත්ව, තනතුරු උසුලන්නට තරම් තමන් වෙත ශක්තියක් ඇත්දැයි පැහැදිලිව දන්නේ තමන්ම යි. ඒ නිසා ඒ දේ තමන් භාර ගැනීමට පෙර ඒ ගැන විමසිලිමත් වී කටයුතු කිරීමත්, එසේ නොමැති නම් තමන් එවැනි දේ භාර නොගෙන කටයුතු කිරීමේ දී ඇතිවන සතුට මෙයින් පෙන්වා දෙන සරල අදහසයි.

මෙහි කියවුණු යථාසාරුප්ප සන්තෝසය උදාකර ගැනීම බොහොම අපහසු කාර්යයක්. එම සන්තෝසය ලබන අය අපේ සමාජයේ හුඟක් ම අඩුයි. මෙම යථාසාරුප්ප සන්තෝසය යනුවෙන් අදහස් කරන්නේ තමන්ට යම් බලයක්, හිමිකමක්, ධනයක්, ආධිපත්‍යයක්, තනතුරක්, කිසියම් අවිධිමත් ක්‍රමයකින් හෝ වෙනත් අසාධාරණ ක්‍රමයකින් ලැබුණහම එවැනි තනතුරක් දැරීමට, ලාභයක් ලැබීමට, හිමිකමක් දැරීමට තමන් ඇත්ත වශයෙන් නුසුදුසු බව හෘදය සාක්ෂියෙන් ම තමන් දැන, තමන්ට වඩා එවැන්නකට සුදුසු අය සිටින බව දැන ගෙන තමන් දරන එම සියලු තනතුරු ආදිය අවංක සිතින් සුදුසු අයට පිරිනැමීම හෝ ඊට මුළුහිතින් ම එකඟ බව පළ කිරීම මෙයින් අදහස් වෙනවා.

ඒ තුළින් ලබන සතුට මේ කියන යථාසාරුප්ප සන්තෝසය යන්නෙන් කියැවෙනවා.

දැන් මේ කියන යථාලාභ, යථාබල හා යථාසාරුප්ප වශයෙන් තුන් ආකාරයකට බෙදී යන මේ සන්තෝසය හෙවත් සතුට භික්ෂූන් වහන්සේ පැත්තෙන් සිව්පසය වශයෙන් ගත් කළ 12 ආකාරයක් බව පෙන්වා දෙන්න පුළුවනි.

සිවුරු පිරිකර කියන මේ පසය ගත්තහම තමන්ට කිසියම් ආකාරයකින් ලැබෙන සිවුර පිළිබඳ තමන් ඒ ලද පමණින් සෑහීමකට පත්වීම පළමුවෙනි සතුට යි. එය යථාලාභය යි.

දෙවනුව එවැනි සිවුරක් පිරිකරක් වශයෙන් ලැබීමට තමන් ලබා තිබෙන සුදුසුකම පිළිබඳ සිතා බලා විමසා ඒ පිළිබඳ අවංකව ම තමන් සුදුස්සෙක් බවට සෑහීමකට පත් වීමෙන් ලැබෙන සතුට යි. එය යථාබලයයි.

තෙවනුව තමන්ට එවැනි උසස් තත්වයේ සිවුරක් තමන් ලැබුවත් ඊට වඩා සුදුසුකම් ලබන භික්ෂූන් වහන්සේ සිටින බව තමන් දැනගත් කඩිනමින් එය එවැනි සුදුසු භික්ෂූන් වහන්සේට තමන් විසින් පිරිනැමීමට හෝ වෙනත් අයකු ලවා පිළිගැන්වීමට සැලැස්වීම යි එයින් අදහස් වන්නේ.

මේ ආකාරයෙන් පිණ්ඩපාත, සේනාසන හා ගිලානප්‍රත්‍යය කියන මේ ප්‍රත්‍යයන් සතරම මෙසේ තුන් ආකාරයකින් විමසා බලා කටයුතු කිරීමෙන් එම භික්ෂූන් වහන්සේ ලබන තෘප්තිය මෙයින් ප්‍රකාශ වෙනවා. එය උපරිම සන්තුෂ්ටිය යි. මේ ආකාරයෙන් මේ කරණු සාමාන්‍ය සමාජයටමත් අපට ආරෝපණය කරලා බලන්නට හැකියාව තිබෙනවා. පාසල් යන දරුවන් බොහෝවිට අගහිඟකම් ඇති තම දරිද්‍රතාවෙන් පෙළෙන මවුපියන්ගෙන් නොයෙක් කෑමබීම හෝ වෙනත් සෙල්ලම්බඩු ආදිය ඉල්ලා ඇවිටිලි කරනවා. වර්තමාන සමාජයේ විවිධ මාදිලියේ ජංගම දුරකථන ඉල්ලා ඇවිටිලි කරනවා. ඒවා දුප්පත් දෙමවුපියන්ගෙන් නොලැබෙන විට නොයෙක් ප්‍රශ්න ඇති කර ගන්නවා. සමහර දරුවන් අනුවණකමට සියදිවි පවා අහිමි කරගත් අවස්ථා තිබෙනවා. මෙහි පදනම කුමක්ද? අර දරුවන් ඒ ආකාරයෙන් මව්පියන්ගෙන් ඒවා ඉල්ලන්නේ වෙනත් වත්පොහොසත්කම් ඇති මව්පියන්ගේ දරුවන් එවැනි දේ පාවිච්චි කරන හැටි දැකලයි. ඉතින් මෙවැනි තත්ව නිසා එවැනි දරුවන් කිසිවිටෙකත් තෘප්තියකින් කලදවස ගත කරන්නේ නැහැ. එයින් මවුපියන්ටත්, දරුවන්ටත් අසහනයක් අසතුටක්ම යි ඇති වන්නේ.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]