[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවිද්‍යාවේ අන්ධකාරය දුරු කොට ප්‍රඥාවේ ආලෝකය උදාකර ගනිමු

අවිද්‍යාවේ අන්ධකාරය දුරු කොට ප්‍රඥාවේ ආලෝකය උදාකර ගනිමු

අපි කවුරුත් වන්දනඤ මානන සඳහා ගාථා සජ්ඣායනය කරමු. පරම්පරායානුගතව අපට හුරුවීමෙන් එම ගාථා සජ්ඣායනා කරනු ලැබූව ද ඒවායේ අර්ථය පිළිබඳ හෝ අන්තර්ගත ධර්මානුකූල භාවය පිළිබඳ අප මොහොතකටවත් සිතා බලන්නේ ද නැත.

ප්‍රායෝගික බුදු දහම තුළ විශේෂයෙන් ථෙරවාද සම්ප්‍රදාය පවතින රටවල භාවිත කෙරෙන වන්දනා ගාථා කවුරුන් විසින්, කවදා ප්‍රබන්ධ කරන ලද්දක් ද යන්න තහවුරු නො වූව ද, ඒවායේ බොහෝ දුරට අන්තර්ගත වන්නේ බුදු ගුණ හෝ බුදු දහමයි. පහත ගාථාව එලෙස බුදු ගුණ හා බුදු දහම ප්‍රකට කෙරෙන කදිම අවස්ථාවකි.

“නමාමි බුද්ධං ගුණසාගරන්තං
සත්ථා සදා හොන්තු සුඛී අවේරා
කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච”

බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි භාවනාව යනු මනස සංවර කරන ප්‍රධාන අවියයි. මනස සංවර වූ තරමට පුද්ගලයාට ධර්ම මාර්ගය තුළ ජීවත්වීමට හැකියාව ලැබේ. මනසට ආරක්ෂාව ද එනිසා ලැබේ. එසේ මනසට ආරක්ෂාව ලබා දෙන භාවනා මාර්ග 04ක් ඉහත ගාථාව තුළින් ප්‍රකාශ වේ.

චතුරා රක්ඛා හෙවත් චතුරා රක්ෂාව යනුවෙන් හඳුන්වන එම භාවනා බුද්ධානුස්සති භාවනාව මෙත්තා හෙවත් මෛත්‍රී භාවනාව, අසුභ හෙවත් පිළිකුල් භාවනාව හා මරණය පිළිබඳ මෙනෙහි කරන මරණානුස්සති භාවනාවයි.

අනුස්සති යනු සිහිකිරීමයි. බුද්ධානුස්සති යනු බුදු ගුණ සිහිකිරීමයි. 'නමාමි බුද්ධං ගුණ සාගරන්තං' යනු සාගරයක් බඳුවූ, අපරිමිත වූ බුදුගුණය නමදිමි යනුයි.

'සත්ථා සදා හොන්තු සුඛී අවේරා' යනු සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා යන පැතුමයි. එය මෛත්‍රී භාවනාවයි.

'කායෝ ජිගුච්ඡෝ සකලො දුගන්ධෝ' යනු කය දුගඳ හමන බැවින් එය පිළිකුල් කළ යුතු බව ය. එය අසුභ භාවනාවයි.

'ගච්ඡන්ති සබ්බේ මරණං අහංච' යනු සියලු සත්ත්වයන් මෙන්ම (තමා ද) මරණයට පත්වන බවයි. එය මරණානුස්සති භාවනාවයි.

මරණය ස්වභාව කොටගෙන සියලු සත්ත්වයෝ ජීවත් වෙති. ජීවිතය ද මරණයෙන් කෙළවර වන්නේ ය.

“සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තම්හි ජීවිතං”

යනුවෙන් ධර්මය එම සනාතන ධර්මය විග්‍රහ කොට ඇත. මෙකී සනාතන දහම ප්‍රායෝගිකව පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මල් පූජා කිරීමේ දී අප භාවිත කරන ගාථාව පෙන්වා දිය හැකි ය.

“පුප්ඵං මිලායාති යථා ඉදං මේ කායෝ තථායාති විනාස භාවං”

මෙහි සරල තේරුම වන්නේ මල් පරවන්නේ යම් සේ ද, එසේම කය ද විනාශ ස්වභාවයට පත්වන්නේ ය යනුයි.

බුදු දහමෙහි ප්‍රධාන ඉගැන්වීම වන්නේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බවයි. ඒ නිසා ම දුක් සහගත බවත්, එබැවින් “මම” ය “මාගේ” යැයි ගත හැකි ආත්මීය වූ කිසිවක් නොමැති බවත් බුදු දහමෙන් ඉගැන්වෙන මුඛ්‍ය පණිවුඩයයි.

එබැවින් බුදු දහම වනාහි අනාත්මවාදී දහමකි.

මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ දී ඉහත අනාත්මවාදී දහම පිළිබඳ සඳහන් කරන්නේ “උපනීයති ලෝකෝ අද්ධුවො”

පුද්ගලයා ජරාවටත් මරණයටත් පත් වේ. එම නිසා (අධ්‍රැවයි) “අත්තනෝ ලෝකෝ අනභිස්සරෝ” ජීවිත ගමනේ යම් අවස්ථාවක අපට පිළිසරණයට, අපව අස්වසාලීමට යමකු නොමැත. “අස්සකො ලෝකෝ සබ්බං පහාය ගමනීයන්ති” යම් දිනක දී තමාට අයත් සියල්ල අත්හැරිය යුතු ය යනුවෙනි. “අත්තාහි අත්තනෝ නත්ථි”

තමාට යම් දිනක තමා ද අහිමි වෙයි. මේ තත්ත්වය කිසිවකුට ඉක්මවාලිය ද නොහැක්කේ ය.

“මරණ ධම්මෝම්හි මරණං අනතීතො ති” යනුවෙන් ජීවිතයේ අනිත්‍ය ස්වභාවය බුදු දහම තුළ විවිධාකාරයෙන් විග්‍රහ කොට ඇත.

එලෙස බුදු දහමින් ප්‍රකාශවන ජීවිතයක අනිත්‍ය ස්වරූපය අප පූජා කරන මල් උපමා කරගෙන මල් පූජා කරන ගාථාවෙන් ප්‍රායෝගිකව උගන්වන්නේ ද ජීවිතයක අනිත්‍ය ස්වභාවය පිළිබඳ ගැඹුරු දර්ශනයයි.

බුදු දහමෙහි සංක්ෂිප්තය වන්නේ සියලු පාපයන් දුරුකිරීමත්, කුසලයන් රැස්කීරිම හෙවත් සමාධියට සිත යොමු කිරීමත්, සිත පිරිසුදු කිරීම එනම්, ප්‍රඥාවෙන් සිත පිරිසුදු කිරීමත් ය. එය නිර්වාණය හෙවත් බුදු දහම තුළ ඉගැන්වෙන පරම සත්‍යයට ප්‍රවිෂ්ඨ වීමේ මාර්ගය ද වන්නේ ය.

අප විසින් පිළිපැදිය යුතු මෙකී ධර්ම මාර්ගය ඛුද්දක නිකායේ ධම්මපදය තුළ අන්තර්ගත වී ඇත්තේ,

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - එතං බුද්ධානුසාසනං

යනුවෙන් ය.

බුදු දහමේ ඉගැන්වෙන නිර්වාණගාමී මාර්ගයට ප්‍රවිශ්ඨ වීමට උපකාරි වන බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගය ත්‍රිශික්ෂා නම් වේ. එනම් සීල, සමාධි හා ප්‍රඥා යනුයි.

ඉහත ගාථාවේ සබ්බ පාපස්ස අකරණං යනු සියලු පව් නොකිරීම, “සීල”නම් වූ ශික්ෂාව පරිපූර්ණ කිරීමයි.

එහි කුසලස්ස උපසම්පදා යනු කය වචන සංවරයයි. එය සමාධියට සිත යොමු කිරීමකි.

සචිත්ත පරියෝදපනං යනුවෙන් ප්‍රඥාවෙන් සිත දියුණු කිරීමයි.

මේ අනුව ඉහත ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුදු දහමෙහි ප්‍රතිපත්ති මාර්ගය ලෙස සැලකෙන සීල, සමාධි, පඤ්ඤා නම් වූ ත්‍රිශික්ෂාවයි.

පහන් දැල්වීම ද ආගමික වතාවන්වල දී නිරන්තරයෙන් සිදුකරනු ලබන චාරිත්‍රයකි. බුදුන් වැඳීම, බෝධි පූජාවක් පැවැත්වීම, පිරිත් සජ්ඣායනාවකට පෙරාතුව ද පහන් දැල්වීම අප විසින් සිදුකරන චාරිත්‍ර විධියකි. මීට අමතරව ශාන්ති කර්මවල දී ද උත්සව ආරම්භයක දී පමණක් නොව මෘත ශරීරයක් අභියස ද පහන් දැල්වීම බෞද්ධ අබෞද්ධ සියල්ලෝ ම සිදුකරනු ලබති. මෙවැනි අවස්ථාවල දී පහන් දැල්වීම අඳුර දුරු කිරීමට චාරිත්‍රයක් ඉටුකිරීමට හෝ වෙනත් අදෘෂ්‍යමාන දෝෂ සමනයට හේතුවන පූජාවක් ලෙස සිදුකළත් බුදු දහමට අනුව පහන් දැල්වීම හා දැල් වූ පහන නිවීම මරණානුස්සති භාවනාවට සිත යොමුකිරීමකි.

බුදු දහමට අනුව ජීවිතයේ අවසානය හෙවත් මරණය සිදුවන අවස්ථා 04 කි. ඒ බව

“ආයුක්ඛයෝ කම්මක්ඛයෙන උභයක්ඛයෙන උපච්ඡේදක කම්මුනා චෙති චතුධා මරණච්ඡාති නාම”

යනුවෙන් සඳහන් වේ. අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දැක්වෙන ඉහත පරිදි ජීවිතයක් මරණයකින් කෙළවර වීම පහන නිවීමේ ක්‍රියාවලියට උපමා කරගෙන දක්වා ඇත්තේ පහත පරිදි ය.

ආයුක්ඛය මරණය හෙවත් ආයුෂය අවසන් වීමෙන් සිදුවන මරණය වැටිය දැල් වූ පහන් අවසන් වීමෙන් පහන නිවී යාමට උපමා කර ඇත.

එසේම කම්මක්ඛය මරණය හෙවත් කර්මය අවසන් වීමෙන් සිදුවන මරණය පහනේ තෙල් අවසන් වීමෙන් පහන නිවීයාමය.

උභයක්ඛය මරණය හෙවත් කර්මය හා ආයුෂය යන දෙකම අවසන් වීමෙන් සිදුවන මරණය පහන් වැටිය හා පහනේ තෙල් අවසන් වීමෙන් පහන නිවීයාමය.

උපච්ඡේදක මරණය හෙවත් කර්මය හා ආයුෂ තිබිය දී අතුරු ආන්තරාවකින් සිදුවන මරණය පහනේ තෙල් හා පහනේ වැටිය එසේම තිබිය දී සුළං වැදීම වැනි අනපේක්ෂිත ක්‍රමයකින් පහන නිවීයාම උපමා කර ගෙන පෙන්වා දී ඇත.

පහන් පූජාවෙන් හා එහි ආලෝකය නිවී යාම ක්‍රම 4 තුළින් ජීවිතයක් නිමාවීමේ ක්‍රියාවලිය සිදුවන අයුරු පැහැදිලිව බුදුදහමින් පෙන්වා දෙනවා සේ ම පහන් ආලෝකයෙන් අන්ධකාරය දුරු වී ආලෝකය උදාවීම අවිද්‍යාවේ අන්ධකාරය දුරු වී ප්‍රඥාවේ ආලෝකය උදා වී නිර්වාණාවබෝධය ලබා දීමේ සිහිකැඳවන බෞද්ධ ක්‍රියාවලියට ද උපමා කර ඇත.

නිර්වාණාවබෝධ යනු ආලෝකය උදාවීමයි. (ආලෝකො උදපාදි) යනුවෙන් ධර්මයේ දැක්වෙන්නේ එම ක්‍රියාවලියයි.

බුදුවදනට සවන් දුන් බෞද්ධ උපාසක උපාසිකාවෝ ධර්මාවබෝධය තුළින් ආර්ය මාර්ග ඤාණාලෝකය ලැබීම පිළිබඳ උදම් ඇනුවේ

“අන්ධකාරේවා තේලපජ්ජොතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති” යනුවෙනි.

අඳුරෙහි පහනක් දරන්නාක් මෙන් ඇස් ඇත්තෝ රූප දකිත්වා'යි ආදි ලෙසට ධර්ම ඤාණය උදා වූ බව එයින් ප්‍රකට වෙයි.

එසේම අප චෛත්‍යය වන්දනා කිරීමට අනාදිමත් කාලයක සිට භාවිත කෙරෙන

“වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු’ පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධි
බුද්ධරූපං සකලං සදා”

යන ගාථාව ද ශාරිරීක, පාරිභෝගික හා උද්දේසික යන බුදු දහමේ ඉගැන්වෙන ත්‍රිවිධ චෛත්‍ය එකවර වැඳීමට උපයෝගි කර ගන්නකි. එම ගාථාවේ අදහස එය සනාථ කරවයි. පළමුව ශාරීරික ධාතු තැන්පත් සියලු තැන්හි මනාව පිහිටවූ ශාරීරික චෛත්‍යයත්, දෙවනුව පාරිභෝගික චෛත්‍ය වූ මහාබෝධියත්, තෙවනුව උද්දේසිකය හෙවත් බුදුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කළ බුද්ධරූපය ද වන්දනා කරමි යනු එයින් ප්‍රකාශිත බුදු දහමේ ඉගැන්වෙන වන්දනා කරන පිළිවෙළයි.

බෝධීන් වහන්සේට වන්දනා කරන්නේ “යස්සමූලේ නිසින්නෝව” යන ගාථාව සජ්ඣායනා කරමිනි.

නො සැලෙන අධිෂ්ඨානශිලී වීර්යයෙන් යුතු ව සියලු අභියෝග ජය ගෙන බුද්ධත්වය අවබෝධ කළ උතුම් වීර්ය පාරමිතා ගුණය ආවර්ජනා කරමින් ඒ සඳහා උපකාරී වූ බෝධි හෙවත් ආර්ය මාර්ග සංඛ්‍යාත ඤාණයත් සිහිකරමින් බෝධි වන්දනය සිදුකරයි. එය බුදුගුණය ආවර්ජනය කිරිමකී.

ආරක්ෂක දේශනාව හෙවත් පිරිත් දේශනාව අවසානයේ දී “දේවෝ වස්සතු කාලේන සස්සසම්පත්ති හේතු ච” යන ගාථාව සඡ්ඣායනය කරන්නේ ධාන්‍ය සම්පත්තියට හේතුවන වර්ෂාව සුදුසු කල ලැබේවා’යි ප්‍රාර්ථනා කිරීමටයි.

එම ප්‍රාර්ථනය සඵල වීමට නම් දැහැමි පාලනය ද බොහෝ දුරට බලපාන බව ගාථාවෙන් ම ගම්‍ය කරවයි. එදිනෙදා වන්දනමානන සඳහා අප ව්‍යවහාර කරන ගාථාවන් තුළින් ප්‍රකාශ කෙරෙන බුදු ගුණ හා බුදු දහම අවබෝධ කර ගැනීමට කාලය පැමිණ ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]