[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඥාන ගවේෂණයේ පෙර මං සලකුණු කළ විද්‍යාලංකාර ශාස්ත්‍ර නිකේතනයේ මහගෙදර රත්මලාන පුරාණ විහාරය

ඥාන ගවේෂණයේ පෙර මං සලකුණු කළ විද්‍යාලංකාර ශාස්ත්‍ර නිකේතනයේ මහගෙදර

රත්මලාන පුරාණ විහාරය

රත්මලාන පුරාණ විහාරාධිපතිව සිටි බෝධිසත්වගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය අග්‍රගණ්‍ය ශිෂ්‍යවර කලපළුවාවේ ධර්මාරාම (පසුව රත්මලානේ ශ්‍රී ධර්මාරාම) ස්වාමීන්ද්‍රයන් වහන්සේ එක්ව දායකකාරකාදීන්ගේ ඉල්ලීමකට අනුව පෑලියගොඩ තොරණ හන්දියට යාබද වූ ගාලගොඩවත්ත නම් වූ රමණීය භූමිභාගයක වර්ෂ 1875 නොවැම්බර් මස 01 වැනි දා පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව ආරම්භ කළහ.

එසේ ආරම්භ කළ විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව කෙටිකලක දී ඥාන පිපාසිත ශාස්ත්‍රකාමීන්ගේ සිප්හල බවට පත්විය. මෙසේ ඥාන ගවේෂණයේ පෙරමං සලකුණු කළ විද්‍යාලංකාර ශාස්ත්‍ර නිකේතනයේ මහගෙදර රත්මලාන පුරාණ විහාරය බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාලංකාරයේ මහගෙදර පිළිබඳ මෙවැනි අතීතාවර්ජනයක යෙදීම අපට වැදගත් වන්නේ එය අපේ උරුමය මෙන් ම අපේ මූලය ආරක්ෂා කර තැබීමේ යුගකාරක අවශ්‍යතාව නිසා බව ප්‍රථමයෙන් ම කිව යුතුව ඇත.

විද්‍යාලංකාර පළමු පරිවේණාධිපති ව වැඩ සිටි බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1887 අගෝස්තු මස 15 වැනි දින අපවත්වීමෙන් පසුව උන්වහන්සේගේ අග්‍රගණ්‍ය ශිෂ්‍යරත්නය වූ ධර්මාරාම ස්වාමීන්ද්‍රයෝ විද්‍යාලංකාර පිරුවන්හි දෙවන පරිවේණාධිපතීන් වහන්සේ බවට පත්වූහ. උන්වහන්සේ ස්වකීය ගුරුදේවයන් වහන්සේ කෙරෙහි තමන් වහන්සේ තුළ තිබූ අසීමිත ගුරු ගෞරවය නිසාම ස්වකීය උපන් ගම කලපළුවාව වුවත් එය පසෙකලා රත්මලානේ ධර්මාරාම ලෙස භාවිත කිරීමට තරම් සත්පුරුෂ වූහ.

උන්වහන්සේ අත්සන් කිරීමේ දී පමණක් ‘කේ. ධර්මාරාම’ ලෙස භාවිත කර ඇත.

උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවන්හි පරිවේණාධිපති බවට පත්වීමත් සමඟම රත්මලානේ පුරාණ විහාරයේ ද විහාරාධිපති බවට පත් වූහ. එහෙත් රත්මලානේ ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය මෙන් ම ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා වූ වඩුවාවේ සෝභිත මහා ස්ථවිරයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාස්ථානයේ හෝ රත්මලාන පුරාණ විහාරයේ හෝ අධිපති බවට පත් නොවී ය. එයට හේතුව වඩුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් නොවී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අදහස අනුව ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති බවට පත්වීමයි.

සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ හැටියටත්, රත්මලාන පුරාණ විහාරයේ අධිපතීන් වහන්සේ හැටියටත් සක්‍රීයව සියලු කටයුතු සිදු කරගෙන ගිය බවට අවශ්‍ය තරම් සාධක හමුවේ.

ඒ අතර ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභාවයෙන් අර්ධ ශතවර්ෂයක් පිරීම නිමිත්තෙන් පළවූ “ශ්‍රී සුමංගල” ශාස්ත්‍රීය සංග්‍රහයෙහි එන,

“ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රත්මලානේ පුරාණ විහාරයෙහි දායක සභාව විසින් 1904 දී එවකට ගැළපෙන සැලැස්මකින් මනෝහර ධර්ම ශාලාවක් කරවා, එහි ධර්ම දේශනාවක් සඳහා ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම වූහ. චතුරාර්ය සත්‍යය මාතෘකා කොටගත් ධර්ම දේශනා පන්තියෙහි තෙවැනි නිරෝධ සත්‍ය දේශනාව උන්වහන්සේගේ දේශනාවාරය විය. හික්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාවන් සඳහා වැඩමවන සිරිතක් නැතත් ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බලවත් ඕනෑකම නිසා ආරාධනාව පිළිගත්හ.

මේ පුරාණ විහාරස්ථානය ගැන මා සලකන්නේ මාගේ ඉගෙනීම සඳහා මට උපකාර වූ ගුරු භූමියක් වශයෙනි. මා මෙහි නැවතී සිට මාගේ ආචාර්ය වූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යවරයකු වශයෙන් ඉගෙන ගත් අවධියෙහි මගේ ආවාසය තිබුණේ මේ ධර්මශාලාව සාදවා තිබෙන තැන දෝයි මම සිතමි. අප මෙහි වැඩමවීම ගැන විහාරාධිපති අපේ ශ්‍රී ධර්මාරාම නායක ස්ථවිර තැනට හා දායක සභාවටත් අපගේ ආදරය හිමිවෙයි.”යන

උද්ධෘත පාඨය සාක්ෂ්‍යය සපයයි.

සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ව්‍යවහාර වර්ෂ 1918 මැයි මස 03 වැනි දා අපවත් වූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් වූයේ ලුණුපොකුණේ ධර්මානන්ද (මුලදී ලුණුපොකුණේ රතනපාල) කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යි. මුන්වහන්සේ ද, රත්මලානේ ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගත් මඟ ම ගෙන ස්වකීය උපන් ගම වූ ‘ලුණුපොකුණ’ වෙනුවට ‘රත්මලානේ ධර්මානන්ද’ යනුවෙන් භාවිත කළ අතර, අත්සන් කිරීමේ දී ‘එල්. ධර්මානන්ද’ ලෙස භාවිත කර ඇත.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය ධර්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ නොවුණි. උන්වහන්සේගේ වැඩිමහල් ශිෂ්‍යයා වූයේ උඩවෙල සුමන ස්ථවිරයන් වහන්සේ ය.. එහෙත් ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුජිවත්ව වැඩ සිටිද්දී උන්වහන්සේගෙන් පසුව විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ විය යුත්තේ ධර්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධිපතිත්වය හා භාරකාරත්වය යටතේ පැවති සියල්ලෙහි ම අධිපතිත්වයට හා භාරකාරත්වයට විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ලුණුපොකුණේ ශී‍්‍ර ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්වූහ.

මෙම ලිපියේ ඉතිරි කොටස වප් අව අටවක පෝදා (17 ) බුදුසරණ අන්තර්ජාල කලාපයේ පළවේ.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]