[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව චාරිකා නැවතත් සෞඛ්‍යාරක්ෂිතව අැර‍ෙඹයි

දඹදිව චාරිකා නැවතත් සෞඛ්‍යාරක්ෂිතව ඇර‍ෙඹයි

බෞද්ධ අප හැමගේ ම සිහිනයක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ සුවිශේෂ වූ ස්ථාන සියැසින් දැකබලා වන්දනා කර ගැනීම. එහෙත් පසුගිය අවුරුදු තුන පුරාම ලෝකය පුරා පැතිරී ගිය වසංගත රෝගය නිසා මෙම වන්දනා ගමන් තාවකාලිකව නවතා දමන්නට සිදු වුණා.

දැන් ඒ තත්ත්වය සාමාන්‍යකරණය වී තිබෙන නිසා රජයේ පූර්ණ අනුග්‍රහය මත නැවත වතාවක් අප වන්දනා නඩ රැගෙන යාම ආරම්භ කළා. බුද්ධ ශාසන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මතයි අපි ඒ සුවිශේෂ කටයුත්ත නැවත ආරම්භ කළේ.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යම් යම් සීමා පනවලයි තිබෙන්නේ. ලියාපදිංචි එක් ආයතනයකට එකවර වන්දනාකරුවන් රැගෙන යා හැක්කේ 45 ට අඩු පිරිසක් පමණයි. මේ වන විට අප සංගමයේ ලියාපදිංචි ආයතන 282 ක් පමණ තිබෙනවා.

රජය මෙම ව්‍යාපාරය නැවත කරගෙන යාමට අපට අවසර දුන් නිසා අප මැදිහත් වෙලා ඉන්දියාවේ සිද්ධස්ථානවල සිටි අපගේ ස්වාමීන් වහන්සේ සමඟත්, එරට බලධාරීන් සමඟත් සාකච්ඡා කළා. ඔවුන් අපට පැවසුවේ මේ වන විට වසංගත රෝගයෙන් ඉන්දියාව සම්පූර්ණයෙන් ම සුරක්ෂිත බවයි. අද වන විට ඇතැම් සංවිධායකවරුන් විසින් මගීන් 45 ට අඩු කණ්ඩායම් පහක් ඉන්දියාවට ගොස් නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් කිසිදු කරදරයක් නැතිව පැමිණ ඇති බව සඳහන් කරන්නේ සතුටෙන්.

මේ වකවානුවේ අප 45 ට අඩු පිරිසක් රැගෙන යන්නේ හේතු කිහිපයක් නිසයි. එකක්, එරට බස්රථවල ආසන ප්‍රමාණයට. ඒ වගේ ම එරට දී එක කාමරයක රැඳවිය හැක්කේ දෙදෙනකු පමණයි. අපි මේ වසංගතයට පෙර 100 - 200 මගීන් ඇතුළත් කර වන්දනා නඩ දඹදිව රැගෙන ගියා. නමුත් අද වන විට එය 45 ට අඩු කර තිබෙන නිසා මගියාට උපරිම පහසුකම් දෙන්න සංවිධායකයෝ කටයුතු යොදා තිබෙනවා.

මේ වන්දනාකරුවන්ගෙන් එක් අයකුට හෝ වෛරසය තිබෙන බව හඳුනාගත්තොත් ඔහු සුව කර නැවත ලංකාවට එනතුරු සම්පූර්ණ වගකීම සංවිධායකයා සතුයි.

සෑම කෙනකුටම වතුර බෝතල්, විෂබීජ නාශක ලබාදීම මෙන්ම සෞඛ්‍ය නිර්දේශ මත ආහාරපාන ලබාදීමේ දී ද අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබෙනවා. ඒ සියල්ල එලෙසම ඉටු කිරීම සංවිධායක සතු වගකීමක් වෙනවා.

මීට පෙර නොතිබුණු තවත් වාරණයක් වන්නේ අවුරුදු 80 ට වැඩි වැඩිහිටියෙක් ගමනකට සහභාගි වෙනවා නම්, ඔහුගේ වගකීම භාරගත හැකි පවුලේ කෙනකු ගමනට සම්බන්ධ විය යුතුමයි. ඒ වගේම ගමනට සුදුසු බව නිර්දේශ කළ පිළිගත් වෛද්‍යවරයකුගේ සහතිකයක් අවශ්‍ය වෙනවා.

මේ වසර තුළ දී අප ඉන්දියාව තුළ දුම්රිය ගමන් සිදු කරන්නේ නැහැ. එයට හේතුව වෛරසයෙන් අපි වැඩිදුරටත් ආරක්ෂා වීම සඳහායි. එනිසා අපි ලංකාවේ සිට බරණැසට හෝ ලංකාවේ සිට බුද්ධගයාවට නැත්නම් ලංකාවේ සිට දිල්ලියට ගුවන් මඟීන් යාමට තීරණය කොට තිබෙනවා.

ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් නිර්දේශ නිකුත් කිරීමේ දී අපට දැනුම් දී තිබෙනවා සෑම මගියකුම සංචාරක රක්ෂණයකට යටත් කරන්න කියා. එය අවම වශයෙන් ඩොලර් දස දහසක් වෙනවා.

ඉන්දියාවේ දී යම් හේතුවක් නිසා වන්දනාකරුවෙක් මියගියහොත් ඒ මුදල ඔහුට හිමි වෙනවා. අපි සෑම සංවිධායකවරයකුම දැනුවත් කර තිබෙනවා සෑම නඩයක් සමඟම ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා ගන්න කියලා. ඒ සිල් සමාදන් කරවීමට සහ වන්දනා කටයුතු පහසුව සඳහා යි. ඒ වගේම අපි වෛද්‍යවරයෙක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දැනුම් තේරුම් ඇති අයෙක් හෝ වන්දනාවට සම්බන්ධ කර ගන්නට කියා උපදෙස් දෙනවා. එහෙම නැතත් සැවැත්නුවර, දිල්ලිය වගේ නේවාසිකව නවාතැන් ගන්න ස්ථානවල වෛද්‍ය පහසුකම් සලසා තිබෙනවා.

අපේ රටේ භික්ෂූන් වහන්සේ මුල් වීමෙනුයි ඒ සේවය සපයා දෙන්නේ. ඒ රටේ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන එය වන්දනා සමයට පමණක් සීමා කර තිබෙනවා.

සම්පූර්ණ ගමන දින 12 අවසන් කළයුතු බවයි සෞඛ්‍ය අංශ අපට දැනුම් දී තිබෙන්නේ. දින 12 වුවත් සියලු ස්ථාන වන්දනාමාන කරන අතර ගුවන් යානා වලින් පමණක් ගමන් කරන නිසා දින කීපයක් ඉතිරි වෙනවා. දින 21 චාරිකාව තමයි මෙසේ දින 12 ට සීමා කර තිබෙන්නේ.

වන්දනාවට යන මගියෙකුට ඩොලර් 100 ක මුදලක් පමණයි රටින් පිටතට රැගෙන යා හැකි වන්නේ. දින 12 ගමනට ඒ මුදල ප්‍රමාණවත්. ඒ ඩොලර් 100 මගියා පෞද්ගලිකව දරාගත යුතු වෙනවා. ඒ වගේම පසුගිය දිනක අප සංගමය ඇමැතිවරයා සමඟත් සාකච්ඡාවක් පැවැත්වූවා. දඹදිව චාරිකා නැවත ආරම්භ කිරීම පිළිබඳව. එහිදී අදහස් ඉදිරිපත් වුණා.

දැන් අප රට විශාල ඩොලර් අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, ගුවන් ටිකට් පත් අධික මිලක් නිසාත් එයට විකල්පයක් ලෙස මගී නෞකාවකින් කල්කටා දක්වා ධාවනය කිරීමට. කල්කටාවල සිට බුද්ධගයාවට පැය 06 ක පමණ දුරක් තිබෙන්නේ. එය ගුවන් ගමනට වඩා අඩු මුදලකට කර ගන්න පුලුවන් වේවි.

ඒ වගේම අපි ඔබව දැනුවත් කරනවා ඔබ දඹදිව වන්දනාවට යනවා නම්, ඒ සංවිධායක පිළිබඳ හොඳින් විස්තර සොයා බලන්න. ඔහුගේ පළපුරුද්ද, මීට පෙර චෝදනාවලට ලක් වී තිබෙනවා ද? කියා සොයන්න. ඒ සියලු දේ ඔබ මුදල් ගෙවීමට පෙර සිදු කරන්න.

තොරතුරු සෙවීමේ දී බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්තුමා, අතිරේක ලේකම්තුමා හෝ අප මවු ආයතනය සමඟ සම්බන්ධ වීමට ඔබට පුළුවන්. සංවිධායක විසින් ඔබට යම් අසාධාරණයක්, අවැඩැක් සිදු කළා නම් ඔබ බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ අපගේ සංගමය දැනුවත් කරන්න. එවිට අපි ඒ ගැන සොයාබලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා.

එලෙසම ඔබ කෙතරම් දඹදිව වන්දනා කිරීමට ආශාවෙන් සිටියත් ඔබට, හෘද සැත්කම්, වකුගඩු සැත්කම් වගේ සැත්කම් කර තිබෙනවා නම් අනිවාර්යයෙන් ම සංවිධායකවරයා දැනුවත් කළ යුතු වෙනවා.

බොහෝ වයෝවෘද්ධ වූ පසු එවැනි වන්දනාවකට සහභාගි වූවොත් ඔබට ඒ වන්දනාවෙන් උපරිම ප්‍රයෝජන ගතහැකි වන්නේ නැහැ. එනිසා ඔබට ශරීර ශක්තිය ඇති කාලයේ මෙවැනි වන්දනාවකට සහභාගි වන්න කියා මම යෝජනා කරනවා.

මීට පෙර පෙබරවාරි සිට මාර්තු දක්වාත්, ජුලි සිට නොවැම්බර් දක්වාත් පමණයි අප වන්දනා නඩ රැගෙන ගියේ. එහෙත් දැන් ජනවාරි, අප්‍රේල්, දෙසැම්බර් මාස හැර අන් සියලු මාසවල වන්දනාකරුවන් රැගෙන දඹදිව යාමට බලාපොරොත්තු වෙනවා.

අපි කිනම් මොහොතක හෝ මිය යා හැකියි. තව කල්ප ගණනකට අපට තව බුදුරජාණන් වහන්සේ නමක් දැක බලා ගත්තා සේ වන්දනා කර ගැනීමට පුලුවන් කමක් නැහැ. ඒ නිසා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැකබලා වන්දනා කර ගැනීමට ඔබට අවස්ථාව උදා වන්නේ මේ දඹදිව චාරිකාවට එක්වීමෙන් පමණයි. එනිසා බෞද්ධයකු ලෙස දැක බලා සංවේගය ඇතිකර ගත යුතු ස්ථාන වන්දනා කොට ඒ අසිරිමත් අත්දැකීම විඳගන්න කියා ඔබට ආරාධනා කර සිටිනවා.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]