[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 82 කොටස:

දුටුගැමුණු මහ රජතුමා 82 කොටස:

මහියංගණ බලකොටුව සතුරා අතට පත්වෙලා

මහ ඇමතිතුමනි, අම්බතිත්ථ බලකොටුව රුහුණු බල සේනා වටකර ඇති බව ඔබතුමා දන්නේ නැද්ද? සෙන්පතිතුමා පහරදීමට පටන් අරගෙන.

“ඡත්ත සේනාධිපතිතුමාත්, පන්දාහක බල සේනාවත්, මහියංගණ බලකොටුවත් සියල්ලම ගිනිබත් වෙලා. දුටුගැමුණු රජතුමා මහියංගණ විහාර හදනවා ඒ පව් ගෙවන්න.”

“තොප ඒ බව ස්ථිරව කියන්නේ කෙසේද? දුටුගැමුණු රජු ලක්ෂයකට අධික සේනාංකයක් රැගෙන එන බව තොප දන්නවාද?”

“විය හැකියි මහ සෙනෙවිතුමනි. නමුත් මහියංගණයට පහර දී තිබෙන්නේ දස දහසක පමණ පිරිසක්. අඹටුව ප්‍රදේශය වටලාගෙන සිටින්නේ ඒ හා සමාන පිරිසක්. තමන්ගේ සේනාංක ලවා දුටුගැමුණු රජතුමා වැව් බන්දවා වෙහෙර විහාර හදනවා. චෛත්‍ය හදනවා. ගොවිතැන් කරනවා.

මහවැලි ගං තීරයේ බලකොටුවලට පහර දෙන්නේ එම ආරක්ෂක කඳවුරු කලින් භාරව සිටි දීඝාභය කුමාරයාගේ සේනාංක බව අපට දැන ගන්නට ලැබුණා. ඒ නිසා වඩාත් බියට පත් වුණා.

“සිරිනාග, මම ඔබෙන් සමාව අයදිනවා. ඔබ දක්ෂයෙක්. ඔබට පැවරී ඇති කාර්යයන් ඔබ සාර්ථකව ඉටු කරනවා.”

මහ සෙනෙවිතුමනි, මේ මගේ සාර්ථකත්වය නොවෙයි. මා සිටිනා පිලේ සාර්ථකත්වයයි. එහි වටිනාකම ඔබටත් අනාගතයේ දැනේවි.

මොහු තීක්ෂණ නුවණක් හිමි දක්ෂයෙක්. මොහු අයිති පිල කුමක්දැයි දීඝාභය කල්පනා කළේ ය.

“අපේ සියලු වැඩ ප්‍රමාදයි. පසුගාමියි. මේ සියලු විනාශයන්ට හේතුව එයයි. යුද්ධ මණ්ඩල රැස්වීම සති කිහිපයකින් ම පැවැත්වූයේ නැහැ. සතුරා තවම සූදානම් නැතැයි සිතීමේ විපාක අපට අත්විඳින්නට සිදුවෙලා. මේ නිසා රජතුමාගේ දෝෂාරෝපණයෙන් මිදෙන්නට අප කිසිවකුටත් බැහැ.”

“දීඝජන්තු මහ සෙනෙවිතුමනි, ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැහැ”යි කියමනක් තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේ දී බොහෝ සැලකිල්ලෙන් වැඩ කරමු.

සිරිනාගගේ කියමන කාගේත් අවධානයට යොමු විය. “මහියංගණ බලකොටුව සතුරා අතට පත්වෙලා. එය වළක්වා ගැනීමට අවශ්‍ය වුණත් ඒ සඳහා නිසි සැලසුම් ක්‍රියාත්මක වී නැහැ.”

“අලුත් තීරණ කිසිවක් අපට මේ වනතුරු දැන ගන්නට ලැබී නැහැ. අද ගත් තීරණ සියල්ල වහාම ක්‍රියාත්මක වන්නට ඕනෑ. උද්ගත වී ඇති අලුත්ම තත්ත්වයට විසඳුම් අද සවස් වරුවේ රජතුමා හමුවි සාකච්ඡා කරන්නට පුළුවන්.” මහ ඇමැති කීවේ ය.

මහ රජතුමා සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේ ය. අශ්වාරෝහකයන් කණ්ඩායමකට මැදිව එළාර රජතුමා ධවල අශ්වයකු පිට නැඟී විත් අසු පිටින් බැස්සේ ය. මහ ඇමැති ප්‍රධාන සෙනෙවිවරුන් ඉදිරියට ගොස් රජතුමා පිළිගත්හ. රජු ශාලාවට කැඳවාගෙන එනු ලැබිණ. සියලු දෙනා නැඟී සිට රජතුමා අසුන් ගත් පසු ආචාර කර හිඳ ගත්හ.

කිසිවකුගේ හඬක් නොනැඟුණු තැන රජතුමා කතා කළේ ය.

“අත්පත්වී ඇති පරාජය සිදුවී ඇති විනාශය දැන් අප කවුරුත් දන්නවා. ඡත්ත සේනාධිපතිගේ මරණය අසා, ඔහුගේ සොයුරු මහේල සිටුතුමා අසනීප වෙලා. සැබෑ තොරතුරු දැන ගැනීමට කණ්ඩායමක් මහියංගණයට යැව්වා. අම්බතිත්ථ බල කොටුවටත් සේනාංක කිහිපයක් යැවීමට කටයුතු කරන්නට ඕනෑ.”

“සිරිනාග ඉදිරිපත් කළ යෝජනාව දැන් ක්‍රියාත්මක කරන්නට බැහැ. එගොඩ තීරයේ සියලු කඳවුරු ඉවත්කර මෙගොඩ ප්‍රධාන තොටමුණු ආරක්ෂා කර ගැනීමයි මේ මොහොතේ කළ යුත්තේ.”

මහ රජතුමනි, කසාතොට, දාස්තොට දමුන්නරු මහ ගංතොට ආරක්ෂා කිරීමේ වැදගත්කම මම කිහිප අවස්ථාවක දී පෙන්වා දුන්නා. අපේ රහස් මාගමට දැන ගන්නට නොලැබුණා නම් දාස්තොටින් රාජධානියට පිවිසෙන මුළු රුහුණු සේනාවම විනාශ කරන්නට අපට පුළුවන්කම තිබුණා.”

“දේවයන් වහන්ස, අපේ ඉලක්කය විය යුත්තේ දුටුගැමුණු සේනාවට ගඟෙන් මෙගොඩට එන්නට නොදි සමූල ඝාතනය කිරීමයි. ඒ සඳහා වැඩිපුර බළ සේනාව යොදවන්නට මට අවසර දුන මැනවි.

තොප දෙදෙනාම හරි. අද යුද්ධ මණ්ඩලයේ දී ගත් තීරණ වහාම ක්‍රියාත්මක කරමු. අම්බතිත්ථය ගැමුණු රජතුමාට ජය ගන්නට බැරි වේවි. එහි මහ සෙන්පති පරාජයට පත්වුණොත් එගොඩ සියලු කඳවුරු සියල්ල ඉවත් කර ගනිමු. දීඝාභය කී පරිදි මහවැලි නදියෙන් පනින්නට ඉඩ නොදි අපේ දේශසීමා රැක ගනිමු.

“රජතුමනි, සතුරා කොයි මොහොතේ කොතැනින් පහර දේවිදැ’යි සිතා ගන්නට බැහැ. ඒ නිසා ඇතුළු බලකොටුවල ආරක්ෂාව ලිහිල් කිරීම එතරම් නුවණට හුරු නැහැ.”

“සිරිනාග අප හැමෝටම කලින් මහියංගණ බලකොටුවේ විනාශය තොප දැන ගත්තේ කෙසේද?”

“හීපතකින් මහ රජතුමනි, හී පොළට ආ හී පතකින්, එය රැගෙන ඔබ වහන්සේ හමුවන්නට මහ ඇමැතිතුමාගෙන් අවසර ගන්නට ගිය අවස්ථාවේ දී දැන ගත්තේ ඔබ වහන්සේ රජමාලිගයේ නැහැ කියලා.

“අද යුද්ධ මණ්ඩල රැස්වීමට නොපැමිණ ගිරිල, මහෙල සිටුවරුන් හමු වී එම බලකොටුවල ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට අසරු සේනාවක් සහිතව අලුයම් කාලයේ ම මා පිටත් වුණා.

එහෙත් මහෙල සිටුතුමාගෙන් මහියංගණ බලකොටුවේත්, ඡත්ත සේනාධිපතිගේත් විනාශය දැන ගත් වහාම මම ආපසු පැමිණියා. මට එහිදී දැනගන්නට ලැබුණු කරුණු අනුව අපේ රාජ්‍යය සුරක්ෂිත නැහැ. අද මෙහි සිටින සියලුම සෙනෙවිවරු ඒ කාරණය සිතට ගත යුතුයි.”

රජතුමනි, රුහුණු බල සේනාව මෙහෙයවන්නේ දුටුගැමුණු රජතුමා. නමුත් ඒ සේනාව ක්‍රියාත්මක වන්නේ විහාරමහාදේවියගේ උපදෙස් අනුවයි.

“දිනපතාම අලුත් තරුණයන් දැන් දහස් ගණනින් දුටුගැමුණුගේ හමුදාවට බැඳෙනවා. ඔවුන් පුහුණු කරන්න උපතිස්ස, භරණ දෙදෙනා යොදවලා. ප්‍රධාන සෙනෙවිවරුන් තිදෙනෙක්, දහසකින් යුත් අසරු කණ්ඩායම් තුනක් සහිතව මෙතෙරට පනින්න සූදානමින් ඉන්නේ. දැනට තෝරාගත් පා බල සේනාංක කිහිපයක් පමණයි යුද වදින්නේ.

ඉතිරි කොටස අන්තර්ජාල කලාපයේ පළවේ

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]