[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිගු සසර ගමනේ විරාමය දකින්නට ගිහි සැප හැර පැවිදි සුව සෙවූ පානබොක්ක සීවලී දසසිල් මාතාව

දිගු සසර ගමනේ විරාමය දකින්නට ගිහි සැප හැර පැවිදි සුව සෙවූ

පානබොක්ක සීවලී දසසිල් මාතාව

ධර්මධර, විනයධර භික්ෂුණීන් වහන්සේ සම්බුද්ධ ශාසනය බබළවති. කාන්තාවක් සම්බුදු මඟ යමින් දසසිල් මාතාවක් වීම ද පුණ්‍යවන්ත ජීවිතයක උතුම් අවස්ථාවකි. දසසිල් මාතාවක් දුටු විට ඇතැම් කෙනෙක් සිතන්නේ ලෞකික ජීවිතයේ මුහුණදීමට සිදු වූ පසුබෑම් හෝ පරාජිත වීම් නිසා ගිහිගෙය හැර දමා ඇති බව ය. එහෙත් එය එසේ නොවේ.

ලෞකික ජීවිතයේ අපමණ සැප සම්පත්, කීර්ති, ප්‍රශංසා, තනතුරු ලාභ ලැබිය හැකිව තිබියදීත් ඒ සැප සම්පත් සියල්ල හැර දමා සසුන් ගතවන හෙළ කුල කාන්තාවෝ ද බොහෝ වෙති.

එසේ දසසිල් මාතාවක් වූ සාඩම්බරණීය කාන්තාවකි. මහාචාර්ය කුමාරිහාමි පානබොක්කේ වෛද්‍යාචාර්තුමිය. ඇය දසසිල් මාතාවක් වන්නේ පානබොක්ක සීවලී මෙහෙණින් වහන්සේ නමිනි.

කන්ද උඩරට මහනුවර රාජධානියේ හැදී වැඩුණු කුමාරිහාමි පානබොක්කේ සුරතල් දියණිය වත් පොහොසත්කමින් සපිරි උගත්, ධනවත් පවුල් පසුබිමකට උරුමකම් කීවා ය. මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන අවධියේ සිට ම ඇය අහිංසක ගම් වැසියන් ලෙඩ රෝගයන්ගෙන් විඳින දුක් පීඩා දුටුවා ය. ඒ දැක අපමණ දුකට පත් වූවා ය.

පුංචි සිතට අපූරු අධිෂ්ඨානයක් ඇති වුණි. ඒ අසනීප වීම නිසා දුක්විඳින රෝගීන්ට හැකි අයුරින් සරණවීමට ය. බාල වියේම ඇය ඒ අධිෂ්ඨානයට ඉලක්කයක් එක් කර ගත්තා ය. ඒ වෛද්‍යවරියක් වීමට ය.

ඒ අනුව වසරින් වසර අධ්‍යාපනයේ කඩඉම් පසු කළ ඇය කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූවා ය. වෛද්‍ය උපාධිය ලබා කළුබෝවිල රෝහලේ සේවයට එක් වූවා ය. එයින් නොනැවතුණ ඇය, ඒ අවධියේ ම දේශීය වෛද්‍ය ක්‍රම හා වෛකල්පිත වෛද්‍ය ක්‍රම පිළිබඳව ද වැඩිදුර අධ්‍යයනය කරන්නට වූවා ය. ඒ පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමටත් විවිධ මාර්ගෝපදේශ ලබා ගැනීමටත් පෙළඹුණා ය.

වෛද්‍යවරිය ලෙස දිනෙන් දිනම ඉදිරියට ගිය ඇය 1971 වසරේ දී නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් බවට පත් වූවා ය.

ඇය එතැනින් නොනැවතුණි. අපේ රටේ මෙන් ම ඉන්දියාව, චීනය, අමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය, එංගලන්තය, ජර්මනිය සහ ඕලන්දය වැනි රටවල් හි ද පවතින විකල්ප වෛද්‍ය ක්‍රමවේද පිළිබඳ සායනික අත්දැකීම් සහිතව ගැඹුරින් අධ්‍යයනය කරන්නට විය. ඇය රටවල් 69 ක පමණ සංචාරය කර ඇත.

එහෙත් 1977 වසරේ දී ඇය තම සැමියා ද සමඟින් ස්විඩනයේ පදිංචියට යන්නට සිදුවුණි. එහි දී විශේෂඥ වෛද්‍ය කුමාරිහාමි පානබොක්කේ එහි විකල්ප වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇරඹුවා ය. බොහෝ රෝගීහු ඇය සොයා එන්නට වූයේ ද ඇය දක්ෂ වෛද්‍යවරියක් වූ නිසා ය. නිදන්ගත රෝග, ඇදුම, ආසාත්මිකතාවයන් සුවපත් කිරීම පිළිබඳ විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ ඇය ස්විඩන් වැසියන් මවිතයට පත් කළ වෛකල්පිත වෛද්‍යවරියක් වූවා ය.

විකල්ප වෛද්‍ය ප්‍රතිකාර මඟින් ලෝ වැසියන් සුවපත් කිරීම වෙනුවෙන් ඇය දැක් වූ කැපවීමට ගෞරවයක් යන හේතු පාඨය සහිතව 1994 දී ලෝ ප්‍රකට අන්තර්ජාතික වෛකල්පිත වෛද්‍ය විශ්ව විද්‍යාලය මඟින් සම්මාන මහාචාර්ය ධුරයක් ඇය වෙත පිරිනමනු ලැබ ඇත.

වර්ෂ 1971 ආයුර්වේදය පිළිබඳ ආචාර්ය සම්මානයක් ද, 1980 ආයුර්වේද කීර්ති පණ්ඩිත ගෞරව සම්මානයක් ද, 1980 වසරේ දී චීනය ද, 1985 රුසියාව ද කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද, 1988 වසරේ දී කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් හා විකල්ප වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, 1989 මාණ්ඩලික චිකිත්සාව, රෙෆෙක්සෝ චිකිත්සාව සහ ඉරිඩොලොජිකල් විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද, 1995 වසරේ දී ඉන්දියානු කවුන්සිලය මඟින් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ප්‍රදානය කොට ඇත.

ස්විඩනයේ ජීවත්වන කාලය තුළ දී තම සැමියාගේ අකල් වියෝවෙන් පසු කුමාරිහාමි පානබොක්කේ නම් වෛද්‍යවරියගේ අරමුණ කෙමෙන් වෙනස් වන්නට විය.

තම තරුණ වෛද්‍යවරියන් දෙදෙනකු වූ දියණියන් දෙදෙනාගේ ජීවිත යහපත් ආකාරයෙන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී සියලු ගිහි බන්ධනයන්ගෙන් මිදී සසර ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් ගැන කළකිරීම ඔස්සේ ඇය යළි මව් රට වෙත පැමිණියේ ඉතා පැහැදිලි තීරණයකට එළැඹීමෙනි.

එසේ පැමිණි ඇය 2006 වසරේ අවසාන භාගයේ දී පානබොක්ක සීවලී මෙහෙණිය ලෙසින් සසුන්ගත වූවා ය. ඒ අනුරාධපුර ධම්මිකා මෙහෙණින් වහන්සේගේ ආචාර්යත්වයෙනි.

සීවලී මෙහෙණින් වහන්සේ ගිහිකල තම පරම්පරාවෙන් ලැබුණු වත්කම හා ස්විඩන් රජයෙන් වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුප තම පෞද්ගලික සුඛ විහරණයට පරිහරණයට නො කරයි.

ඒ සියලු පෞද්ගලික වත්කම් යොදවා “ශ්‍රී ශාන්තිධාර පානබොක්ක” පදනම පිහිටුවා ඇත. ඒ ඔස්සේ දිවයිනේ විවිධ දුෂ්කර ප්‍රදේශවල අසරණ ජනතාව වෙනුවෙන් සමාජ සුබසාධන සේවාවන් සිදු කරයි.

අසරණ ජනතාවගේ නිවාස බෙහෙත් වෙනුවෙන් කැප කරන අතර ඉගෙනීමට දක්ෂ අඩු ආදායම්ලාභී දරුවන්ට මාසිකව යම් මූල්‍යමය ආධාරයක් කිරීම ද මෙහෙණින් වහන්සේ අතින් සිදු වේ. දිළිඳු ජනතාවගේ දිවි සරු කරනු වස් ස්වකීය ධනය ඉත සිතින් කැප කරමින් සමාජයේ අසරණයන් වෙනුවෙන් විශාල කැපකිරීමක් ශක්තියක් වන පානබොක්ක සීවලී සිල් මාතාවට තවදුරටත් සමාජ මෙහෙවර සිදු කිරීමට ශක්තිය ලැබේවා.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]