[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

බෝලියද්දේ විමලානන්ද නා හිමි

දිසානායක මුදියන්සේලාගේ විජේපාල නම් වූ පින්වත් කුලකුමරු පෙර පින් ඇති බව සනාථ කරමින් 1972 අගෝස්තු මාසයේ 24 වැනි නිකිණි පෝය දා එකල නිකවැරටිය සමදරාපිටිය සෝමාරාමාධිපති ප්‍රවීණාචාර්ය අතිපූජ්‍ය වහුමුවේ පාලිත මහා ස්වාමීන් වහන්සේ වෙතින් බෝලියද්දේ විමලානන්ද නමින් සසුන්ගත කෙරිණි.

නාහිමියන්ගේ සෙවණේ උගතමනා බණ දහම් ඉගෙන මූලික අධ්‍යාපනය සඳහා ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ ජ්‍යේෂ්ඨ පිරිවෙනට ඇතුළත් කර මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබීය. 1975 ජනවාරි මාසයේ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය මහා පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ආචාර්ය පූජ්‍යපාද ගලපිටියාගම විමලධම්ම නාහිමියන් සිය ශිෂ්‍යයාට උපාධිය දක්වාම අධ්‍යාපනය ලබා දුන්හ.

මේ අතර 1981 වසරේ අනුරාධපුර මල්වතු ඔයේ උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ.

1984 වර්ෂයේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙනෙහි පරිවේණාචාර්යවරයකු වූ උන්වහන්සේ 1986 වසරේ සිට නිට්ටඹුව නාපාගොඩ ත්‍රිපිටකෝදය පිරිවෙනෙහි පරිවේණාචාර්යවරයකු බවට පත්වූහ. 1989 මැයි 05 වෙනි දින වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්යවරයාණන් ලෙස පත්වූ උන්වහන්සේ නියෝජ්‍ය විදුහල්පතිධුරයට ද පත් වී අවුරුදු 30ක් වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයේ සේවය කොට 2019.04.09 දින විශ්‍රාම ගියහ.

මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක මාහිමිපාණන් ප්‍රධාන කාරක පාලක සංඝ සභාවේ “ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්ම කීර්ති සංඝ සෝබන” යන ගෞරව සම්මානෝපාධියෙන් ද පිදුම් ලැබූහ.

අනගාරික ධර්මපාල පදනමෙන් “සද්ධර්ම කීර්ති ශ්‍රී” යන ගෞරව සම්මානය ද ආදී බොහෝ ගෞරව සම්මාන මීට අමතරව ලබා ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් ධුරය ද, සභාපති ධුරය ද දිගුකලක සිට දරමින් කටයුතු කරන්නාහ.

විදේශීය ධර්මදූත සේවය ද නොපිරිහෙලා ඉටුකළහ.

2022 අගෝස්තු මස 24 දිනට උන්වහන්සේ සසුන්ගතව පනස් වසරක් සපිරුණි. ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්ම කීර්ති සංඝ සෝබන, සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභානි, ශාස්ත්‍රපති පූජ්‍ය බෝලියද්දේ විමලානන්දාභිදාන නාහිමියන්ට සසුන් කෙත බැබළවීමට දිගාසිරි ලැබේවා.


මඩලගම ශ්‍රී වජිරබුද්ධි මහා නාහිමි

කුරුවිට, මිල්ලවිටිය ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉද්දමල්ගොඩ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර සුධර්ම වංශපාල ගණාචරිය, පටිපත්තිසාසනාභිධජ, සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත මඩලගම වජිරබුද්ධ්‍යාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වසර අනූ හතරක් ආයු වළඳා 2022 සැප්තැම්බර් මස 23 දින අපවත් වී වදාළහ.

1928 නොවැම්බර් මස 08 දින උපත ලැබූ උන්වහන්සේ වර්ෂ පූර්වෝපචිත කුසල බලයෙන් මෙහෙයවන ලදුව වර්ෂ 1941 ජනවාරි මස 29 දින සම්බුදු සසුන්ගත වූහ. උන්වහන්සේගේ ආචාර්යත්වයට පත් වූවාහු අතිපූජ්‍ය ගොඩකුඹූරේ ශ්‍රී සුමනතිස්ස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අතිපූජ්‍ය තොටමුල්ලේ සරණජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

එහිදී ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උත්තීර්ත වූ උන්වහන්සේ වර්ෂ 1949දී ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් ද සාමර්ථ්‍ය ලැබූහ. අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ, පණ්ඩිත ශිරෝමණී අතිපූජ්‍ය කිරිවත්තුªඩුවේ පඤ්ඤාසාර, යක්කඩුවේ ප්‍රඥාරාම, හැඩිපන්නල ශ්‍රී ප්‍රඥාලෝක, කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති වැනි විදග්ධ යතීශ්වරයන් වහන්සේ වෙතින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය ලබා වර්ෂ 1953දී සාහිත්‍යාචාර්ය හා රාජකීය පණ්ඩිත උපාධිද්වය ලබා ගැනීමට සමත් වූහ.

ධර්ම විනය, භාෂා ශාස්ත්‍ර පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් ලබා සිටි උන්වහන්සේ නිවිතිගල සුමන මහා විද්‍යාලය, බඹරබොටුව විද්‍යාලය, පැල්මඬුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය සහ කුරුවිට මහා විද්‍යාලය යන විද්‍යාලවල ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස දීර්ඝ කාලයක් සේවය කොට වර්ෂ 1984දී ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූහ.

පූජ්‍ය වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් සිදු වී ඇති නිකායික සේවය ද මෙහිදී අගය කළ යුතු ම ය. උන්වහන්සේ වර්ෂ 1958දී ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරයට පත්වූ අතර, එතැන් සිට ක්‍රමවත්ව හා පිළිවෙළට ලිපි ලේඛන සකස් කරමින් නිකායෙහි ලේකම් මිටිය සුපෝෂණය කළහ. තවද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ආරම්භක අවධියේ සිට ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වජිරබුද්ධි මහා නායක හිමිපාණන් වහන්සේ එම සංඝ සභාවේ විනය කර්ම, අධිකරණ හා සංගණන කටයුතු පිළිබඳ සහකාර ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස වර්ෂ 1992 සිට වසර කිහිපයක් ක්‍රියා කළහ. උන්වහන්සේ සිදු කළ සේවය අගය කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව මෙම වර්ෂයේ දී “පටිපත්ති සාසනාභිධජ” යන ගෞරව නාමයෙන් සම්මානිත කළහ.

“මිල්ලවිටියේ පණ්ඩිත හාමුදුරුවෝ” යන නාමයෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ ආමන්ත්‍රණය කළේ උන්වහන්සේ තුළ ධර්ම විනය ශාස්ත්‍ර පිළිබඳ දැනීම නිකසල නිසා ය.

සපරගමුව අමරපුර භික්ෂු වංශය සමඟි සම්පන්නව තබා ගනිමින් සපරගමු අමරපුර සාමග්‍රි සංඝ සභාවේ අනුශාසකයාණන් වහන්සේ ලෙස ක්‍රියා කරමින් එක්නැළිගොඩ විහාර පාර්ශ්වයට ඝෘජු නායකත්වය ලබා දෙමින් වැඩසිට අපවත් වී වදාළ සාහිත්‍යාචාර්ය, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ශ්‍රී වජිරබුද්ධ්‍යාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මතු භවයක දී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා'යි ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ ස්ථවිර, මධ්‍යම, නවක සියලු දෙනා වහන්සේගේ ධර්ම සංවේගය සමඟ ප්‍රාර්ථනා කරම්හ.


ගාලු මාතර දෙදිසාවේ ද්විතීය සංඝනායක පදවි ලබන හප්පිටියේ සුමන නා හිමි

පනන්ගල බටහිර පූර්වාරාම විහාරාධිපති පන්නල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද හප්පිටියේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලාංකීය බෞද්ධ සමාජය අර්ථයෙන් හා ධර්මයෙන් පෝෂණය කිරීම සඳහාත්, ශාස්ත්‍රීය ඤාණයෙන් පිරිපුන් ගුණ නැණින් හෙබි අනාගත පරපුරක් නිර්මාණය කිරීම සඳහාත් රට දැය සමය භාෂා සාහිත්‍යය සංස්කෘතිය සුරක්ෂිත කිරීම සඳහාත් අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමේන් අමිල අපරිමිත සේවයක යෙදී සිටිනු දක්නට ලැබීම මහත්වූ ප්‍රීතියකි.

විසිවයස් සම්පූර්ණව 1978 ජූලි මස 18 වන දින රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශිල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියහ. පනංගල පිරිවනේ පරිවේණාධිපති ධූරය දරමින් අතිවිශාල මෙහෙවරක් ඉටු කරන ලදි.

පනංගල බටහිර පූර්වාරාම විහාරයේ 1989 විහාරාධිපති පදවියට හප්පිටියේ සුමන හිමියන් පත් ව එහි සියලු විහාරාරාමයන්ගෙන් සමන්විත දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කරලන්නට දිවා රාතී නොබලා ක්‍රියා කළහ. එහි පැවති ගාමිණි දහම් පාසල ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වශයෙන් ශ්‍රී වජිරඤාණ දහම් පාසල නමින් නම් කළහ.

ප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් වන අතර, ‘ගම්මානෙක අපි, පිරිවාණා පොත් වහන්සේ සන්නය, පියකු දුවට යැවූ ලියුම් (ජවහල්නේරු අගමැති තුමාගේ කෘතිය පරිවර්තනය කිරීම)’ ආදී කෘති උන්වහන්සේගේ ය.

සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉන්දියාව, තායිලන්තය, බුරුමය ආදි රටවල ධර්ම ප්‍රචාරය කරන ලදි. ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති අය වෙනුවෙන් නිවාස ඉදිකරදීම ද උන්වහන්සේගේ පරාර්ථකාමී සේවයකි. උන්වහන්සේගේ මේ ලෝක ශාසනික සේවය අගය කළ මල්වතු මහා විහාරයෙන් ගාලු මාතර දෙදිසාවේ ද්විතීය සංඝනායක පදවියට සද්ධර්ම කීර්ති ශ්‍රී වජිරඥාණ ගෞරව නාම සහිතව පත් කර ඇති බැවින් ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය 2022 නොවැම්බර් 01 වන දින මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරයේ දී ප:ව 2.30 ට ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන අතර නොවැම්බර් 02 වන දින අභිනව නාහිමියන් වහන්සේ පිළිගැනීමේ අභිනන්දන උත්සවය ප:ව 2.30 ට පනංගල බටහිර පූර්වාරාම විහාරස්ථානයේ දී සිදු කරනු ලබයි. මෙදින වීරපානේ බටතුවැල්ලේ ගෙදර පුණ්‍යසිරි රණසිංහ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කළ අභිනව විහාර මන්දිරය ද විවෘත කරනු ලබයි.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]