[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනගාරික ධර්මපාලතුමාගේ ශාසනික සේවය මගේ ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කරනවා

අනගාරික ධර්මපාලතුමාගේ ශාසනික සේවය මගේ ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කරනවා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාරවංශික ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ලංකාජි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා උසස් සේවාවක නියැළෙන ජාත්‍යන්තර කීර්තිධර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වන ඔබ වහන්සේ මෙතෙක් සිදු කරන ලද සමාජ මෙහෙවර සනිටුහන් කරමින් සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරුවනේ,

1931 වර්ෂයේ මැයි මස 31 වැනිදා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ ශ්‍රී ලංකා මහාබෝධි සමාගම මූලස්ථානය කර ගෙන ජාත්‍යන්තර ධර්මදූත සේවාවේ යෙදෙමින් ජාතික, ආගමික, ශාසනික ප්‍රගමනයට නව පණක් ලබා දුන්නා. ඒ වගේම බුද්ධගයා පුදබිමේ උරුමය ආරක්ෂා කිරීමටත්, බුදු දහම ජාත්‍යන්තර වශයෙන් ප්‍රචළිත කිරීමටත්, ලංකාවේ ආගමික, සමාජ, අධ්‍යාපනික ප්‍රගතියට දායකවීමට ලැබීමත් විශාල සතුටක්. ශ්‍රී ලංකාව තුළ පමණක් නොවෙයි, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, නේපාලය, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, හොංකොං, පිලිපීනය ආදි රටවලත් එම සේවය පිළිබඳ ප්‍රසාදයට පත්වුණා.

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ වැඩ සිටිමින් සාංචි විශ්වවිද්‍යාලය ආරම්භ කළා. එම විශ්වවිද්‍යාලය භික්ෂූන් වහන්සේ පුහුණු කරන මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි, ලෝකයේ විවිධ විද්වතුන්ට බුදුදහම පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන ස්ථානයක්. එම ධර්මදූත මෙහෙවර අගය කිරීමක් වශයෙන්, ඉන්දීය රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒ වෙනුවෙන් ඉන්දීය මධ්‍ය ප්‍රදේශයෙන් හෙක්ටයාර් 65ක භූමි භාගයක් පරිත්‍යාග කරමින් ගෞරව දැක්වීමත් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක්. ඒ වගේම සාංචි විහාරාධිපති වශයෙන් විශ්‍රාම ශාලා ඉදිකරමින් එම ප්‍රදේශයේ දියුණුවට කටයුතු කළා. 1956 වර්ෂයේ දී ඇතිවුණ බෞද්ධ පිබිදීමත් සමඟ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල විහාරස්ථාන ආරම්භ කරමින් එම විහාරස්ථානවලට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරමින් බුදුදහමේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළා. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය චිරස්ථිතිය වෙනුවෙන් ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරන සුපේශල ශික්ෂාකාමී ශිෂ්‍ය පරපුරක් බුදුසසුනට දායාද කළා. උන්වහන්සේ විහාරස්ථාන ආරක්ෂා කරගෙන ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. ඉන්දියාවේ ධර්මදූත සේවය සිදු කරමින් ජපානයට ථෙරවාදී බුදුදහම හඳුන්වාදීමට 1984 වර්ෂයේ දී වෙසක් පොහොය දින ජපානයේ පළමු ථෙරවාදී විහාරස්ථානය වශයෙන් ලංකාජි විහාරස්ථානය ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණා. ජපන් විහාරස්ථානය ඉදිකිරීමත් සමඟ ජපානයත්, ශ්‍රී ලංකාවත් අතර ආගමික, සංස්කෘතික, සාමාජික මිත්‍රත්ව සබඳතාවල අලුත් යුගයක් ආරම්භවීමත් විශාල සතුටක්.

ඒවගේම ජපානයේ තිබෙන ක්‍රමවත් ළදරු අධ්‍යාපනය ලංකාවටත් ලබා දීමට ලොකු අවශ්‍යතාවක් ඇති වුණා. ඒ අනුව ටෝකියෝ නිහොංගෝ ගත්තෝ පාසලෙන් ජපන් ළදරු අධ්‍යාපනය හොඳින් අධ්‍යයනය කළා. එම ක්‍රමවත් ළදරු අධ්‍යාපනය අපේ රටේ දරුවන්ටත් ලබා දීමේ අරමුණෙන් යොෂිඩා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් සපුගස්කන්ද යොෂිඩා ළදරු පාසල ආරම්භ කළා.

ජපානයේ නරිතසන්, ෂිබමතා තායිසි කුකෙන්, සේයිගොයින්, ෂෝකන්ජනි ආදි විහාරස්ථාන, අශෝක ළදරු අධ්‍යයන ආයතනය, ලුම්බිණි ළදරු පාසල, සහජෛකා ආයතනය ඇතුළු ජපානයේ ප්‍රමුඛ විහාරස්ථාන, සමාජසේවා ආයතන රාශියක් සමඟ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සබඳතා ගොඩනඟමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෞද්ධ පරිසරයක ළමා අධ්‍යාපනයත් සමඟ සමාජ සංවර්ධන සේවා රාශියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කැපවුණා. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ළදරු පාසල් ආරම්භ කළා. ඒවා බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම මහා බෝධිගම, සුරුමීගම, බානගල නරිතසන්ගම යන ගම්මාන බිහිකරමින් 500කට අධික නිවාස ප්‍රමාණයක් පරිත්‍යාග කළා.

අනතුරුව සාංචි චේතියගිරි විහාරයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෝපාල් නුවර පැවැති ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය, කොළඹ මහාබෝධි සමාගම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව, චීන ජනතා දේශපාලන උපදේශක සභාව සංවිධානය කළ ප්‍රථම ජගත් බෞද්ධ සම්මේලනය ආදි ජාත්‍යන්තර වැදගත්කමින් යුත් බොහෝ සම්මේලන සඳහා ආරාධිත දේශකයකු ලෙස සහභාගිවීම ලංකාවට විශාල කීර්තියක්. අනගාරික ධර්මපාලතුමා දියත් කළ ධර්මදූත සේවාව ධර්මදූත ස්වාමින් වහන්සේ නමක් වශයෙන් ඉදිරියට රැගෙන යාමට තවදුරටත් කැප වෙනවා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව 1986 වර්ෂයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් සම්භාවනාවට පාත්‍ර කළා. ඒ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සිදු කළ ජාතික, ආගමික, ශාසනික සමාජීය සේවාවන් ඇගයීමට පාත්‍රවුණ අවස්ථාවක්.

ප්‍රථිබල සම්පන්න භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මේතරම් විශාල භාරදූර කාර්යභාරයක් ඉටුකිරීමට ලැබුණු ශාසනික ආභාසය මොනවගේද නායක හාමුදුරුවනේ,

සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත්, සංසාරගත පුණ්‍යශක්තියක් මත භාරතයේ සංඝ නායකව වැඩ සිට අපවත්වී වදාළ බෝධිසත්ත්ව ගුණෝපේත හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1967 වර්ෂයේ ඔක්තෝබර් 19 වැනි දින බානගල උපතිස්ස යන උතුම් ශාසනික නාමයෙන් උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ සසුන්ගත වුණා. එ වගේම සාර්වභෞම වියත් පඬිවරුන් වන බානගල සීලරතන නාහිමිපාණන් වහන්සේ, මැටිවල සංඝරතන නාහිමිපාණන් වහන්සේ, ආචාර්යන් වහන්සේ වුණ බවත් පුණ්‍යානුමෝදනා පූර්වකව කෘතවේදී ව සිහිපත් කළ යුතුයි. උන්වහන්සේගේ ඒ ආදර්ශ සම්පන්න භික්ෂු ජීවිත තුළින් ලැබුණු ආභාසයත් සමඟ අනගාරික ධර්මපාලතුමා මහාබෝධි සමාගම, වගේම ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ කුඩා අවධියේ සිටම ලොකු අවබෝධයක් ලැබුණා. පැවිදි දිවියට ඇවැසි ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගෙන ඉන්දියාවේ සාංචි රජයේ උසස් අධ්‍යාපන උපාධි විද්‍යා ආයතනයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, බෝපාල් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. පසුකාලීනව ජපානයේ දී ජපන් භාෂා උසස් ඩිප්ලෝමා උපාධියත්, ළදරු අධ්‍යාපනය පිළිබඳ විශේෂ පාඨමාලාවකුත් හැදෑරීමට කටයුතු කළා. අනගාරික ධර්මපාලතුමාගේ ශිෂ්‍යයකු වුණ මැටිවල සංඝරතන හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු වීම තුළින් අනගාරික ධර්මපාලතුමාගේ නොනිමි මෙහෙවර ඉදිරියට රැගෙන යාමට අවස්ථාව ලැබීම විශාල සතුටක්.

බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසීමේ අවස්ථාවත් ලැබුණා. ජපන් අග්‍රාමාත්‍ය කයිෂු තොෂි අකි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි, ඉන්දීය ජනාධිපති ප්‍රතිභා පටෙල්, බුරුම අග්‍රාමාත්‍ය ජිශ්මේ තින්ලේ, ඉන්දීය ජනපති ප්‍රනාබි මුඛර්ජි , තායිලන්ත රජකුමරිය මහාචක්‍රි සිරින් දෝමි, පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ්, පෘතුගාල අග්‍රාමාත්‍ය අන්ටෝනියෝ ලුවිස් සන්තෝෂ්ද කොස්තා ඇතුළු රාජ නායකයන් මුණගැසීමේ දුර්ලභ අවස්ථාවන් උදාවුණ බවත් සිහිපත් කළ යුතුයි.

මෙයින් සියවසකට පමණ පෙර අනගාරික ධර්මපාලතුමා බෞද්ධ සමාජයේ බිඳවැටීම් පෙන්වා දුන්නත්, එයින් මිදීමට අපට නොහැකි වුණේ කුමන කරුණක් නිසාදැයි ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති ස්වාමීන් වහන්සේ වශයෙන් පැහැදිලි කරමින් අපේ සාකච්ඡාව අවසන් කරමු හාමුදුරුවනේ,

ධර්මපාලතුමා දිවි හිමියෙන් ශාසනයට කැපවුණ කෙනෙක්. ජනතාව ආර්ථික වශයෙන් නඟාසිටුවීමට කර්මාන්ත ආරම්භ කළා. ඒ වගේම ලංකාව පුරා පාසල් 112 ක ප්‍රමාණයක් ගොඩනඟල තිබෙනවා. මේ වන විට බොහෝ පිරිසකට ධර්මපාල චින්තනය අමතක වෙලා තිබෙනවා. 2000 වර්ෂයේ දී තමයි මම මහා බෝධි සමාගමේ සභාපතින් වහන්සේ වශයෙන් පත් වුණේ. අපට හැකි ශක්ති ප්‍රමාණයෙන් ලංකාව, ඉන්දියාව, ජපානය වැනි රටවල ධර්මපාල ගුණානුස්මරණ උත්සව පවත්වමින් අපේ උරුමය රැකගෙන යාමට උත්සාහ කරනවා. විනාශ වෙමින් පැවැති බුද්ධගයාව ආරක්ෂා කර ගැනීමට අනගාරික ධර්මපාලතුමා මහා බෝධි සමාගම ආරම්භ කිරීමට පියවර ගත්තා. එම උදාර පරමාර්ථය ජයග්‍රහණය කිරීමට ආරම්භ කළ මහාබෝධි සමාගමේ සභාපතිධුරයත්, කොළඹ අග්‍රශ්‍රාවක මහා විහාරයේ විහාරාධිපතිධුරයත්, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති ධූරයත් දරමින් අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ ආගමික ශාසනික සේවය මගේ ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කර ගෙන යෑමට කටයුතු කරනවා.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]