[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතුටුවීමේ වගකීම ඔබම බාරගන්න

සතුටුවීමේ වගකීම ඔබම බාරගන්න

යමකු නිරෝගී නම් එය කායික සුවය වන අතර, සිතේ සතුට පවතී නම්, එය මානසික සුවය යි.

විශ්වසනීය මිනිසුන් අතර ජීවත් විය හැකි නම්, එයින් සාමාජීය සුවය ලැබෙන අතර, කුසල ක්‍රියාවන්හි නිරතවීම තුළ ළඟාකර ගත හැක්කේ ආධ්‍යාත්මික සුවය යි.

ජීවිතයේ මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ ඔබේ අරමුණ වූයේ කුමක් ද? ‘සතුටුවීම’ යන්න ඔබේ අනිවාර්ය පිළිතුර විය යුතු ය. එහෙත් එය ඔබට ලැබුණේ ද? තාවකාලිකව, කාලානුරූපීව විවිධ අවස්ථාවන්හි සතුටට පත්වුවත්, ඊට එහා ගිය සතුටක් සොයමින් කල් ගත කිරීම එම අරමුණ ඉටුනොවීමට හේතුවයි.

සමාජයේ බොහෝ දෙනකුගේ ජීවිත දුකෙන් බරවීමට ප්‍රමුඛ සාධකය ලෙස තමා සතු දෙයෙහි තෘප්තිමත් නොවීම දැක්විය හැකි ය. මේ පිළිබඳ අන්තර්ගත අපූරු කතා ප්‍රවෘත්තියක් පහත සඳහන් කෙරේ.

තම ජීවිතය පිළිබඳ කලකිරී ගසක අත්තක හඬමින් සිටි එක්තරා කපුටකුගේ කඳුළු, ගස මුල වැඩසිටි භික්ෂුවකගේ කම්මුල මත පතිත විය. හැඬීමට හේතුව මන්දැයි භික්ෂුව විසින් විමසනුයේ තමාව කිසිවකුට ප්‍රිය නොමැති බවත්, දුටු දුටුවන් තමා එළවා දමන බවත්, එබැවින් තමා ඉතා දුකෙන් පසුවන බවත් කපුටා හේතු වශයෙන් දැක්වීය. තව ද, හැකියාව පවතින්නේ නම්, තමාව හංසයකු බවට පත්කරන ලෙසත් හේ ඉල්ලීය.

එයට එකඟ වූ භික්ෂුව සඳහන් කර සිටියේ හංසයකු වෙත ගොස් ඔහු සතුටින් සිටින්නේ දැයි විමසා නැවත පැමිණෙන ලෙසයි. ඒ අනුව කපුටා ඉතා සතුටින් පියාඹා විලක් මැද පීනමින් සිටි හංසයකු වෙත ගොස්

“ඔබ බොහෝ ලස්සන අයෙකි, කිරි මෙන් ඉතා සුදු වූයේ ද වෙයි, ඔබට හැමෝම කැමැතියි, ඒ නිසා ලොව සිටින සතුටුදායක ම කුරුල්ලා ඔබ විය යුතු ය” යනුවෙන් පැවසීය.

එවිට හංසයා

“නැත යහළුව, මා සතුටින් නොවේ, ලොව කොතරම් ලස්සන පාට වර්ග ඇතත්, මට ඇත්තේ කිසි වැඩකට නැති සුදු පාට පමණයි, එහෙත් ගිරවා වර්ණවත් ය, එමනිසා, මා සිතන්නේ ලොව සතුටුදායකම කුරුල්ලා ගිරවා බවයි” යනුවෙන් පැවසීය.

කපුටා එසැණින් ගිරවකු වෙත ගොස් “ඔබ හරිම වර්ණවත් හා ලස්සනයි, ඔබ ලොව සතුටින් සිටින කුරුල්ලා විය යුතු ය” යනුවෙන් කීය.

එවිට ගිරවා “නැත, යහළුව, මා අල්ලා කූඩුකරාවි යන නිරන්තර බියෙන් මම පසුවෙමි, මට නම් සතුටක් නැත,

එහෙත්, ලොව සිටින සතුටුදායී ම කුරුල්ලා මොණරා විය යුතු ය” යනුවෙන් පිළිතුරු දුනි.

ඉක්බිතිව, කපුටා බොහෝ දුර ගෙවා ඉතා අමාරුවෙන් සත්තු වත්තක සිටි මොණරකු වෙත පියෑඹීය.

“ඔබ ඉතා වර්ණවත් ය. දහස් ගණන් මිනිසුන් දිනපතා ඔබ බැලීමට පැමිණේ. නමුත්, මා දිහා බලන්න. මිනිසුන් මා දුටු දුටු තැන එළවනවා. මා කිසිවකු ගණන් නොගනී. හැබැයි ඔබට හොඳ වටිනාකමක් තියෙනවා, එනිසා ලොව වඩාත් සතුටින් ම සිටින කුරුල්ලා ඔබ විය යුතු ය” යනුවෙන් කපුටා පැවසීය.

එවිට මොණරා “මම සිතුවේ මේ මිහිපිට වර්ණවත් ම කුරුල්ලා මා බවට යි, එනමුදු, මගේ ලස්සන නිසා මට මේ සත්තුවත්තක් තුළ සිරවීමට සිදුව තිබේ- මිනිසුන් මාගේ වර්ණවත් පිහාටු සැරසිලි සඳහා උගුලාගන්නා විට, මට එය මහත් වේදනාවකි” යනුවෙන් පවසා දිගු සුසුමක් හෙළමින් දැක්වූයේ තමන් සතුටින් පසුනොවන වගයි.

මෙයින් විශ්මයට පත් කපුටා ලොව සතුටින්ම සිටින කුරුල්ලා කවුරුන් දැයි මොණරාගෙන් විමසීය. එවිට මොණරා

“මම මේ සත්තු වත්තේ සියලුම කුරුල්ලන් පිළිබඳ විමසිල්ලෙන් අධ්‍යයනය කළෙමි. මිනිසුන් කපුටන් අල්ලා කුඩු කිරීමට වෙර නොදරයි, ඒ නිසාම, පහුගිය දිනවල මාගේ කල්පනාව වුයේ මට කපුටකු වීමට හැකි වුණි නම්, මට සතුටින් ඕනෑම තැනක සංචාරය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටයි” යනුවෙන් පැවසීය.

කපුටා ද තමන් කපුටකු වීම පිළිබඳ සතුටු වූ පළමු දිනය බවට එදින පත්විය. වහාම භික්ෂුව කරා පියඹා ගිය කපුටා

තමාට කිසිවකු වීමට අවැසි නොවන බවත්, කපුටකු වීම පිළිබඳ තමා සතුටු වන බවත් කියා සිටියේ ය.

මෙයින් පැහැදිලි වන්නේ සතුට බාහිර වශයෙන් ලැබිය නොහැක්කක් බව හා එය තමා තුළින් ම අත්විඳීය හැක්කක් බව් ය. එසේම, අන් අය සමඟ තමා සංසන්දනය කිරීම සතුට අහිමි වීමට හේතුවක් වග ද දත යුතු ය.

මිනිසුන්ට සතුට අහිමි කිරීම පිණිස බලපාන තවත් එක් හේතුවක් පිළිබිඹු කරන කතා ප්‍රවෘත්තියක් ගෙනහැර දැක්වීමකි මේ. එක්තරා මවක් විසුවා ය. ඇයට දූවරු දෙදෙනෙක් වූහ. මේ අතරින් වැඩිමල් දියණිය කුඩ වෙළෙන්දකු සමඟත්, බාල දියණිය නූඩ්ල්ස් සාදන්නකු සමඟත් විවාහ වූහ. කෙසේ වුව ද, මේ මවගේ මුහුණ නිරන්තර දුක්බර වූවක් වුණි. හොඳීන් ඉර පායා ඇති දිනවල

“වැසි පොදක් නැහැ, ඉදිරියටත් මෙලෙස වුවහොත්, වැඩිමල් දියණියට කුඩ විකුණාගත නොහැකි වේවි” යනුවෙන් සිතා ඇය ශෝක කළා ය.

එසේ ම, වැසි දිනවල දී “මෙහෙම වැසි වැටුණොත්, කුඩා දියණියට නූඩ්ල්ස් වේළාගත නොහැකි ව, ව්‍යාපාර කඩාවැටේවි” යනුවෙන් සිතා ඇය දුක් වූවා ය.

මෙලෙස වැසි දිනවල දී මෙන් ම හොඳින් පායා ඇති දිනවලද, හැඬූ කඳුළින් කල්ගත කළ මවට එක්තරා ප්‍රඥාවන්ත මිනිසකු මුණගැසුණි. ඔහු ඇයගෙන් ප්‍රශ්න විමසා, කරුණු දැන, ඇයට සතුටින් සිටීම පිණිස උපදෙසක් ලබා දුන්නේ ය.

“අම්මේ, ඔබ දුවලා පිළිබඳ සිතා දුක්විය යුතු නෑ, මා ඔබට විසඳුමක් දෙන්නම්, ඔබ සිතන විදිය වෙනස් කරන්න, ඒ අනුව, පායන දවස්වලට ලොකු දුව ගැන හිතන්නේ නැතිව පොඩි දුව ගැන හිතන්න, පෑවිල්ල නිසා නූඩ්ල්ස් හොඳට වේළා, විකුණා ලැබිය හැකි ලාභය ගැන සිතා සතුටු වන්න.

එසේම වැසි දිනවල දී පොඩි දුව ගැන නොසිතා ලොකු දුවගේ කුඩ කර්මාන්තය ගැන සිතන්න, කුඩ වැඩිපුර විකුණා ලැබිය හැකි ලාභය ගැන සිතන්න”. යන්න ඔහුගේ උපදෙස විය.

මෙය ඇසූ මව තමා මෙතරම් ශෝක කළේ තම චින්තනයේ පැවැති වරදක් නිසා බව තේරුම් ගෙන, උපදෙස් පරිදි සිතීමේ ක්‍රමය වෙනස් කොටගෙන සතුටින් විසුවා ය.

සතුට ලැබිය හැකි මාර්ග කොතරම් පැවතිය ද, මිනිසුන් ඉක්මගිය අතීතය පිළිබඳ හෝ නොපැමිණි අනාගතයක් ගැන හෝ සිතා ශෝක කරන වගට බුදුන් වහන්සේ වදාළේ ද වර්තමානයට අනුව ජීවත් වීම සතුට ලැබීමට හැකි ඉහළම ක්‍රමවේදය බව දක්වමිනි.

එනිසා පුද්ගලයකු සතුටින් නොවේ නම්, එය සිතීමේ ක්‍රමය පිළිබඳ පවතින ගැටලුවක් බව අවබෝධ කටයුතු.

සතුටින් සිටීමට අවැසි තවත් වටිනා අංගයක් ලෙස “බලාපොරොත්තු නොවීම” යන්න දැක්විය හැකි ය. “අසවල් පුද්ගලයාගෙන් මට මෙවැනි දෙයක් ලැබේවි” යනුවෙන් පැතීම මින් අදහස් කෙරේ. ලබන්නට දෙයක් බලාපොරොත්තුවන කල, නොලැබීම ද සිදුවිය හැකි හෙයින්, ඉන් ශෝකයට පත්වීමේ ප්‍රවණතාවඅධික වේ.

යමක් ලබන්නට නොපතන්නේ නම්, අහිමිවීමට කිසිවක් නොමැති හෙයින්, අසතුටු වීමට හේතු නොසැකසේ.

ජපන් සෙන් කතාවකට අනුව, එක්තරා භික්ෂුවක් වාසය කිරීමට ආරාමයක් නොමැතිව හිඟන්නන් පිරිසක් සමඟ කල්ගත කළේ ය. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින අතර, සිඟන්නන් කළේ හිඟමනේ යෑමයි. මෙලෙස සිඟමනේ යමින් සිටි එක්තරා හිඟන්නකුට, අතක් ද කැඩී පැවති බුදු පිළිමයක් හමුවිය. “මේ අර භික්ෂුව විසින් වඳීනු පුදනු ලබන කෙනාගේ රුවකි” යනුවෙන් කල්පනා කළ හෙතෙම එය රැගෙන ගොස් තමන් සමඟ වසන භික්ෂුවට දුන්නේ ය. මේ හැමෝම නැවතී සිටියේ පාලමක් යට ය. මෙම භික්ෂුව එය අතට ගෙන පහළ බිත්තියක සිදුරක් සාදා බුදු පිළිමය එහි තැන්පත් කොට

“බුදු හාමුදුරුවනේ, මටත් ඉන්න තැනක් නෑ. හැබැයි ඔබ වහන්සේට වැඩවාසය කරන්නට තැනක් මම දුන්නා. ඒත් බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේගෙන් නම් මට කිසිවක් එපා” යනුවෙන් පැවසුවේ ය. එම භික්ෂුව තුළ පැවති බලාපොරොත්තු නොවීමේ ස්වභාවය ඉන් ප්‍රකට වේ. එය අහිමිවීම් කෙරෙහි බලපාන්නක් නොවන බැවින් සතුටින් සිටීමේ මඟ තනන්නේ වේ. එබැවින්, සතුටු වීමේ මාර්ගය සොයා ගත යුත්තේ ඔබ විසින් ම ය. අන් අය මත ඔබේ සතුට පිළිබඳ වන වගකීම නොතැබිය යුතු ය.

ලැබුවා වූ කෙටි මනුසත් දිවිය විඳීන්නකු වනවා වෙනුවට විඳවන්නකු නොවීමට තරම් ප්‍රඥාගෝචර විය යුතු ය. ඒ සඳහා සියල්ලෝ අධිෂ්ඨානශීලී වෙත්වා!

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]