[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවි මගේ හැටහත් වන වියට පා තබන බද්දේගම සිරිරතන නා හිමි

දිවි මගේ හැටහත් වන වියට පා තබන බද්දේගම සිරිරතන නා හිමි

දකුණු ලක ගාලු පුරවරයේ ගිංගග මිටියාවතේ පිහිටි සුන්දර, සරුසාර හැම්මෑලිය නම් ගම්පියසෙහි සම්භාවනීය කුල පරපුරක නානායක්කාර ආගරගේ හෙන්ද්‍රික් හා ඩැසී සූරිආරච්චි මවුපිය දෙපළට දාව 1955 ඔක්තෝබර් 16 දින උපන් පින්වත් කුමරු නානායක්කාර ආගරගේ රතනසිරි නම් විය.

සොළොස් හැවිරිදි වියේ දී බද්දේගම සිරිරතන නමින් පූජ්‍ය බද්දේගම ප්‍රඥාසාර හා විද්‍යොදය මහ පිරිවෙන්පති ධුරය හෙබ වූ රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පූජ්‍ය අකුරැටියේ අමරවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජා භූමියට පත් කළහ. විසි වයස් ගතවත් ම වර්ෂ 1975 මැයි 30 දින උන්වහන්සේගේ ම ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් කළහ.

ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හික්කඩුව නාලාගස්දෙණිය ශ්‍රී සෝරත පිරිවෙණටත්, වර්ෂ 1975 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය සඳහා මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙණටත් ඇතුළු වූ බද්දේගම සිරිරතන හිමිපාණෝ ඉතා දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවල යෙදුණහ. 1981 සැප්තැම්බර් මස 08 වැනි දින තම ගුරු දේවයන් වහන්සේ අපවත්වීමෙන් අනතුරුව ස්වකීය විහාරස්ථානයේ අධිපතිත්වය භාර ගැනීමට සිරිරතන හිමිපාණන්ට සිදු විය.

ඉතා ක්‍රියාශීලි දක්ෂ තරුණ භික්ෂූන් වහන්සේනමක් වූ සිරිරතන ස්වාමීන් වහන්සේ තම විහාරස්ථානයේ විහාරාංග වැඩිදියුණු කරමින් හා ප්‍රතිසංස්කරණය කරමින් නව ආලෝකයක් එක් කිරීමට සමත්ව සිටිති.

පූජ්‍ය සිරිරතන ස්වාමීන් වහන්සේ සිදුකරන ජාතික ආගමික සේවාවන් අතර ඉතා උත්කෘෂ්ඨ සේවාව ලෙස කැපීපෙනෙනුයේ තම ගුරු දේවයන් වහන්සේට උපහාර පිණිස ශාසනයට අවැසි සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් බිහි කිරීම සඳහා ශ්‍රී අමරවංශ නමින් පිරිවෙණක් ආරම්භ කිරීමයි. අද මෙම පිරිවෙණ සියයකට ආසන්න පැවිදි ශිෂ්‍ය පිරිසකට ශාස්ත්‍රාලෝකය ලබා දෙන ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන පහන් ටැඹක් බවට පත්වී ඇත. කීමෙහි හා බිණීමෙහි දක්ෂ වූ උන්වහන්සේ පිරිත් දේශනා ආදී ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ජපානය, අමෙරිකාව, කොරියාව, චීනය, ඉන්දුනීසියාව, තායිවානය, මැලේසියාව, සිංගප්පුරුව ආදී බොහෝ රටවලට වැඩමකරවීමට උන්වහන්සේ සමත්ව සිටිති.

තව ද අනාගතයේ ශාසනය බැබළවිය හැකි උගත්, දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පහළොස් නමකට වැඩි පිරිසක් බිහි කිරීම උන්වහන්සේ සිදු කළ විශිෂ්ට ශාසනික සේවාවන් අතර ප්‍රමුඛස්ථානය ගනිති.

පූජ්‍ය බද්දේගම සිරිරතන ස්වාමීන් වහන්සේ ශාසනානුලෝමි ගුණයෙන් හෙබි අල්පේච්ඡ, චාම්, සරල දිවිපෙවෙතකින් යුක්තය. එසේම සිල්වත් හා ගුණවත් බවින් යුක්ත වූ උන්වහන්සේ ගිහි පැවිදි සැම දෙනාගේ ම ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව සිටිති. ප්‍රදේශයේ සිදුකෙරන ජාතික ආගමික සාමාජික කාර්යයන්හි දී අනුශාසකත්වය ගෙන කටයුතු කරන උන්වහන්සේ විශේෂයෙන් බද්දේගම සුහද භික්ෂු සංසදයේ වර්තමාන අනුශාසක ධුරය හොබවමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයට ලබා දෙන නායකත්වය ප්‍රශංසනී යය. උන්වන්සේගේ ශාසනික සේවාව අගය කළ මල්වතු මහා විහාරයීය අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව උන්වහන්සේ වෙත ‘විනය කීර්ති ශ්‍රී විචිත්‍ර භාණක’ යන ගෞරව නාමය සහිතව කර්මාචාර්ය පදවියක් ද, ‘විනය කීර්ති ශ්‍රී ප්‍රඥාසාර’ යන ගෞරව නාමය සහිතව ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනමා ඇත.

පූජ්‍ය බද්දේගම සිරිරතන නායක ස්වාමීන් වහන්සේගේ හැටහත් වන ජන්ම දිනය මෙම මස 16 දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ පින්කම් රාශියක් සිදුකොට උන්වහන්සේට ආශිර්වාද පළ කිරීමට ශිෂ්‍ය පිරිස හා විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කොට ඇත. මෙම 15 වැනි දින රාත්‍රී ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා පසුදින (16) දහවල් සඟ සතු දානයක් පිරිනැමීමටත්, කටයුතු සංවිධානය කර ඇත.

සම්බුද්ධ ශාසනය විෂයෙහිත් මුළු මහත් සමාජය විෂයෙහිත් අපමණ සේවාවක් සිදු කරන කිරිබතාවිල සුධර්මාරාමාධිපති ශ්‍රී අමරවංශ මහා පිරිවෙණේ කෘත්‍යාධිකාරි, විනය කීර්ති ශ්‍රී විචිත්‍රභාණක ගාලු පළාතේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බද්දේගම සිරිරතන නායක ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් තව දුරටත් සේවය සලසන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]