[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවියෙන් පිදුම් ලද

මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවියෙන් පිදුම් ලද

ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ

ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ වැඩබැලූ අංශාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නියෝජ්‍ය සහ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නාහිමිපාණන් වහන්සේ වල්ගොව්වාගොඩ ශ්‍රී මේධංකර විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය සඳහා අගෝස්තු මස හය වැනි දින අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් පත් කොට වදාළ සේක.

මල්වතු මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවිය අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා සංඝ සභාව වෙත ලැබෙන සියලු ලිපිලේඛන ගරුතර කාරක මහා සංඝ සභාව වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගෙන ඒ අනුව ක්‍රියා කිරීම, රාජ්‍ය හා අධිකරණ කටයුතුවල දී මල්වතු විහාරය නියෝජනය කිරීම, වාර්ෂිකව තුන්සිය නමකට වැඩි ප්‍රමාණයක් සාමණේර හිමිවරුන් උපසම්පදාවට පමුණුවන මල්වතු මහා විහාරයේ උපසම්පදා පූජෝත්සවය සංවිධානය කිරීම හා ලිපිලේඛන සම්පාදනය, නායක පදවි හා විහාරාධිපති පදවි සංඝ සභාවේ අනුමැතිය පරිදි පිරිනැමීම, සංඝසභා රැස්වීම් පැවැත්වීම ඇතුළු භාරධූර වගකීම් සමුදායක් පැවරී ඇති තනතුරකි.

පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1954 අප්‍රේල් මස 25 වැනි දින සත් කෝරළයේ පහමුණේ ග්‍රාමවරයේ දී වෙලේගම මුදියන්සේලාගේ රම්බණ්ඩාර මැතිතුමාගේ සහ තල්ගොඩපිටියේ කුලතුංග මුදියන්සේලාගේ සෝමවති මැතිණියගේ දරුවන් සය දෙනා අතුරින් ජ්‍යෙෂ්ඨ පුත් රුවන ලෙස ජන්මලාභය ලබා ඉබ්බාගමුව ප්‍රාථමික විද්‍යාලයෙන් සහ මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු සිදු කළහ.

බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ සහ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ඊරිමින්නේ ශ්‍රී මහා විපස්සි නාහිමි, පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමි වැනි සම්භාවනීය යතිවරුන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1968 මැයි මස 08 වන දින ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා යථෝක්ත අනුනාහිමිපාණන් වහන්සේ, සියඹලන්ගමුවේ ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමි සහ උපාධ්‍යාය උඩුගොඩ ශ්‍රී පේමානන්ද නාහිමි යන ආචාර්යයන් වහන්සේලාගේ ශිෂ්‍යභාවයෙන් 1974 ජූනි මස 12 වෙනි දින වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූහ.

මහනුවර මල්වතු මහා විහාරයීය සංඝරාජ පිරිවෙණින් ප්‍රාචීන අධ්‍යාපනය නිමවා 1975/76 අධ්‍යයන වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නාහිමිපාණන් වහන්සේ පාලි, සංස්කෘත සහ වාග්විද්‍යා විෂයයන්ගෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර, තෙල්වත්තේ ශ්‍රී රාහුල හිමියන් විසින් පිහිටුවා තිබූ මේධා ශ්‍රී ආරියවංශ මාහිමි සිහිවටන ශිෂ්‍යත්වය දිනා ගනිමින් සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා තදනුබද්ධ දුම්බර මණ්ඩපයෙහි සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියක් හොබවන ලද නාහිමිපාණන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයෙහි සංස්කෘත විෂයය ඉගැන්වීම් ආරම්භ කිරීමට පුරෝගාමී වූහ.

සඟරජවත සංස්කරණය, වුත්තමාලා ව්‍යාඛ්‍යාව, සදහම් කැඩපත, බුදුරැස් විහිදෙන සෝමවතිය, හිතෝපදේශ අභිනව ව්‍යාඛ්‍යාව (මිත්‍රලාභ කථා සංග්‍රහය), සංස්කෘත ද්විතියාදර්ශ ශ්‍රී සුමංගල අභිනව ව්‍යාඛ්‍යාව, අතුළු ග්‍රන්ථ සමුදායක් නාහිමිපාණන් වහන්සේ අතින් සකස් වී ඇත.

1979 වර්ෂයේ දී මල්වතු මහා විහාරයේ කර්මවාගාචාර්යයන් වහන්සේ නමක ලෙස ද 1982 වසරේ දී සිරිමල්වත්තේ ශ්‍රී ආනන්ද මහ නාහිමියන් විසින් මල්වතු පාර්ශ්වයේ කාරක සභික පදවියක් සඳහා පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පත් කරන ලද අතර, පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මල්වතු මහා විහාරයීය විංශත්වර්ගික කාරක සංඝසභාවේ ධුර කාලය දෙවෙනි වන්නේ වර්තමාන අතිගෞරවාර්හ මහ නාහිමිපාණන් වහන්සේට පමණි. 2009 මැයි 08 වන දින දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් අනුනායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියට හා වල්ගොව්වාගොඩ ශ්‍රී විමලබුද්ධි නාහිමියන් ගිලන්භාවයට පත් වීමෙන් පසු වැඩබලන ලේඛකාධිකාරී හිමියන් වශයෙන් පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් පත්වීම් ලැබූහ .

කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද තමන් වහන්සේ හමුවට පැමිණෙන කා හටත් අනතිමානී ගුණයෙන්, සුහදශීලීව වත සරසා ගත් මඳ සිනහවෙන් හා කාරුණික ප්‍රිය වදනින් සලකා කටයුතු කරන පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ හට ලෝක ශාසනික සංග්‍රහයෙහි යෙදීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා'යි ප්‍රාර්ථනා කොට සිටිමු.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]