හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
කැලණිය විශ්වවිද්‍යාලයේ
සිංහල අංශයේ අංශාධිපති
පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන්හි ආචාර්ය
මහාචාර්ය
මල්වානේ චන්දරතන හිමි
ලොව පවතින සත්‍යය සදාකාලික ය. එය කිසිවකුගේවත් නිර්මාණයක් නොවේ. සත්‍ය කිසිවකුටවත්
අලුතෙන් නිර්මාණය කළ නොහැකි ය. එකී සත්‍ය මායාව විසින් වටකරගෙන සිටියි. ඒ නිසාම අප
සත්‍යය යැයි සමීප කර ගනු ලබන්නේ මායාවයි.
මිනිසා සත්‍යය ම වටහා ගැනීමේ අනවරත අරගලයක යෙදී සිටියි. මායාවට සත්‍යයේ වෙස්ගෙන
සත්‍ය ලෙස පෙනී සිටීමට අනුබල දෙන්නේ ද මිනිසා ම ය.
සත්ත්ව ලෝකයත් සොබාදහමත්, පරිසරයත් සත්‍ය ලෙසම පෙනී සිටිමින් හැමවිටම අව්‍යාජ බව ම
ලොවට ප්‍රදර්ශනය කරයි.
බුදුන් වහන්සේ විසින් පර්යේෂණ කොට සොයා ගනු ලැබූ දහම් කරුණු අතර ප්‍රධාන තැනක්
ගන්නේ ද සත්‍යයත්, මායාවත් වෙන් වෙන් වශයෙන් තම ශ්‍රාවකයාට හඳුන්වා දීම යි. මායාව,
ව්‍යාජත්වය, මුසාව විසින් වටකරගෙන සිටින සත්‍යය එයින් මුදවා මතු කර දීම උන්වහන්සේගේ
දේශනාවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයයි.
මිනිසා කොතෙක් ධර්මය ගවේෂණය, කරමින් එය ඇසුරු කරමින් සිටිය ද බොහෝ අවස්ථාවල
සමහරුන්ගෙන් ප්‍රකට වන්නේ ව්‍යාජ මායාකාරී ස්වභාවයක් ම ය. මෙම ගැඹුරු යථාර්ථය
සාහිත්‍යකරුවන් විසින් සාහිත්‍ය කලා නිර්මාණ මඟින් ප්‍රකට කරනු ලැබීමට උත්සාහ ගෙන
ඇත්තේ ද මිනිසා මායාවෙන් මුදවාගෙන සත්‍ය ලෝකය වෙත කැඳවාගෙන යාමට අනුබල දීමක්
වශයෙනි.
සුජීව කරුණාසේන විසින් පද රචනය කොට එච්. එම්. ජයවර්ධනයන් විසින් තනුවකින් සරසන ලද
මෙම ගීතය මාලනී බුලත්සිංහල කලාකාරිනියගේ මුවින් ගැයෙයි. යථෝක්ත පරමාර්ථය සාක්ෂාත්
කර ගැනීමේ අභිලාෂයෙන් ම රචිත පද වැලක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැඟිටිමින් වඳීනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන් ව නෙත් බරව බලනවා
සමහර සැදැහැවතුන් බාහිර ලෝකයට දර්ශනය වීම සඳහා පමණක් ගතකරන දිවිපෙවෙතේ, නිසරු
නිරර්ථක ව්‍යාජ ජීවිත ගෙවන අයුරු ගීත රචකයා නිර්දය උපහාසයට පත්කොට ඇත. දුම්රියක,
බස් රියක ගමන් කිරීමේ දී ආගමික ස්ථානයක් දුටුවිට ගත පුරාම තවරාගත් ව්‍යාජ
ශ්‍රද්ධාවෙන් හිඳී අස්නෙන් නැගිටින සමහර නිසරු චරිතවල සැබෑ ස්වභාවය කවියා මතු කර
දක්වයි.
ගැබිනි මව් කෙනකු හෝ රෝගියකු
දුටු කලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැඳී පොත පතෙහි එකම පේළිය
තුළම
නෙත් දහස් වාරයක් දුවනවා.
මෙසේ ආගමික ස්ථානවල වැඳ වැටෙන සමහර චරිත ගැබිනි මවක හෝ රෝගියකු රථයට නැඟුණු පසු
අසුන පරිත්‍යාග කිරීමට සිදු වේ යැයි බියට වා කවුළු අතරින් ඈත අනන්තය දෙස බලා සිටින
බව මෙම කොටසින් පවසන්නේ ඔවුන් සතුව පවතින ශ්‍රද්ධාව ව්‍යාජ මායාකාරී බව ප්‍රකට
කිරීමට ය.
තවත් වරෙක සමහරු දෑතෙන් පොතක් පෙරළමින් දෙනෙත් පමණක් එකම පේළිය මත එහෙ දුවමින්
ව්‍යාජ ග්‍රන්ථ පරිශීලනයක යෙදෙන අයුරු මෙහි සඳහන් කොට ඇත.
ශ්වේත වස්ත්‍රවල ඇති පවිත්‍රභාවය, එහි ඇති පාරිශුද්ධත්වය ඔවුන්ගේ සිත්සතන් අහලකටවත්
සමිප වී නොමැත. මෙකී ව්‍යාජ ජීවන චරිතය මෙම ගී පද රචකයා සරදමකට ලක් කරන්නේ එම
ව්‍යාජ බවින් මිනිසා මුදවාගෙන මායාකාරි ලොවින් සැබෑ ම වූ සත්‍යය ම වූ, සාධාරණ ම වූ,
දැහැමි සාධු මාවතකට ප්‍රවේශ කරවීමට ය.
වාරු නැති මහලු වත නෙතේ ගැටෙතැයි
බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටලු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...
තවත් වරෙක වයෝ වෘද්ධ මිනිසකු දුටු විට දෙනෙත් පමණක් පිය වෙන ව්‍යාජ නින්දකට යොමු
වන්නේ තම අසුන පරිත්‍යාග කිරීමට සිදුවේ ය යන බිය නිසා ය. එහෙත් කවදා හෝ දිනක තමනුත්
එම තත්ත්වයට පත්වන බව හෝ සිතා ගැනීමට ඔවුන්ට කල්පනා නොවන්නේ මන්දැයි කවියා මෙම
පදවැල තුළ සඟවා ඇති යථාර්ථයයි.
මෙම ගීත රචකයා මානව සමාජයෙන් ඉල්ලා සිටින්නේ මායාකාර ව්‍යාජ රංගනයෙන් මිදී සත්‍යය
ගරු කරමින් ඇත්ත ඇති සැටියෙන් ලෝකයට ප්‍රදර්ශනය කරන ජීවන චරිතයක යෙදෙන ලෙසයි.
ව්‍යාජ රංගනයෙන් තවත් කෙනකු රැවටීමකට පත් කරන්නේ නම්, එය අතිශය භයානක අකුසලයකි.
එකිනෙකාට සුහදත්වයෙන් උපකාර කර ගනිමින් මිනිසා සුන්දර ජීවිත විවරණයක යෙදෙන්නේ නම්,
එකී මානව ලෝකය සුන්දර ලොවක් බවට පත්වන බව මෙම පදවැල තුළ ඇති සැඟවුණු අර්ථයයි.
ලෝකය තුළ එවැනි සුන්දර චරිත නැතුවාම නොවේ. අනුන්ට පිහිට වෙන පරහිතකාමී සැබෑ මානව
චරිත අප අතර කොතෙකුත් දක්නට ලැබේ. මේ මිනිස් ලොව මෙතරම් සුන්දර වී ඇත්තේ එකී
අව්‍යාජ සත්‍යකාමී සුන්දර මානවයන් නිසා ය. ඒ බව මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු
ය.
කෙසේ වෙතත් මේ ගී පද රචකයා මිනිස් වෙස් රැගෙන සිටින නොමිනිසුන් ගැන සිය අවධානය යොමු
කොට ඇත. මනසෙහි ඇත්තේ වරෙක වෛරය, තරහව, ක්‍රෝධය වැනි නරක සිතිවිලි ය. එහෙත් එය
මතුපිටට එන්නේ වෙස්වළාගත් චෛතසික ලෙසයි.
වරෙක එය මිහිරි වදන් බවට පරිවර්තනය වේ. තවත් වරෙක සුන්දර සිනහවක් බවට පරිවර්තනය වේ.
මුවග සිනහවත්, මුවෙන් පිටවන වදන් වැලත් පරික්ෂා කිරීමෙන් පමණක් ඔවුන්ගේ සැබෑ
ස්වභාවය තෝරාගත නොහැකි ය. එම නිසා දැඩි ඉවසීමෙන් හා විමසීමෙන් යුතුව මිනිසා අවබෝධ
කරගත යුතු බව මෙයින් අපට වඩාත් ම අවබෝධ වන යථාර්ථයයි. |