[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාජයට නොපැරදී ජයග්‍රහණය හඹා යන්න

පරාජයට නොපැරදී ජයග්‍රහණය හඹා යන්න

සැවැත් නුවරවැසි තෙරුන් වහන්සේ නමක් විය. දිනක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ රහත් බව ලබන පිණිස, භාවනා කර්ම ඉගෙන භාවනාවේ යෙදීම සඳහා වෙනත් නිස්කලංක ප්‍රදේශයකට වැඩියහ. වැඩ විසීමට පිළියෙළ වූ සුදුසු තැනක් දැක එහි වැඩ සිටිමින් භාවනා වඩමින් විසූහ. එසේ වැඩ සිටිමින් තමන් වහන්සේගේ අභිප්‍රාය මුදුන්පත් කැර ගැනීමට වෑයම් කළ ද එය ඉටු කර ගත නොහැකි විය.

එසේ වූව ද මේ තෙරුන් වහන්සේ මදකුදු අලස නොවූහ. සිත - කය දෙකෙහි වීර්යය අඩු නො කළහ. රෑ - දවල් දෙකේ භාවනා වැඩීම සඳහා වෙහෙසුණහ. ඒ කිසි උත්සාහයකින් ද, තමන් වහන්සේගේ අදහස් සඵල කැර ගැනීමට නොහැකි විය. භාවනා පිළිවෙත් තවදුරටත් ඉගෙනීම පිණිස බුදුරජාණන් වහන්සේ වෙත යළි යෑමට සිත් විය.

එසේ අරමුණු තබාගෙන බුදුරජාණන් වහන්සේ වෙත යෑමට මඟට පිවිසුණහ. එසේ මඟ වඩින තෙරුන් වහන්සේට වඩින මඟ වෙනත් තැනක හට ගැණුනු විශාල වූ ලැව්ගින්නක් පෙනුණි. ලොකු කුඩා දැව දඬු - පරඬලා දැවි දැවී විසිරී දිවෙන ඒ මහ ලැව්ගින්න පැතිරෙන පෙදෙසෙන් වහා ඉවතට ගොස්, ගස් කොළ අතුවලින් නො ගැවසුණ ගල් සහිත කන්දක් දැක එහි මුදුනෙහි ගලකට නැඟ ලැව් ගිනි දෙස බලා සිටියහ.

ඒ මහා ගින්නෙන් දවා හඵ කරන, එක සේ දැවෙන මහ වනය දැක උපමා ලෙසින් ගෙන එම තෙරුන් වහන්සේ මෙසේ සිතන්නට වූහ.

“අහෝ මේ මහ ගින්න මේ මහ වනයෙහි කුඩා ගස් ද, මහ ගස් ද, දැව දඬු - පරඬලා ද දවා හළු කොට විසරෙන්නේ ය. මේ සසර බැඳුම් ද එසේ වන්නේ යැයි මේ ආකාරයෙන් සිතූහ.

සසර බැඳුම් වන රැහැන් ආදී කුදු මහත් කෙලෙසුන් රහත් මඟ නැණ නමැති ගින්නෙන් දවා අලුකොට නිවනින් සැනසිය යුතු ය යැයි සලකා එයට ම සිත යොමු කළහ.

ගඳ කිළියේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඒ තෙරුන් වහන්සේගේ වෑයම ද, උත්සාහය ද, භාවනාවට සිත යොමුව පිරිසුදු නුවණ පහළ වූ බව ද දුටු සේක.

අප්පමාද රතො භික්ඛු
පමාදෙ භයදස්සී වා
සංයෝජනං අණුං ථූලං
ඩහං අග්ගී ව ගච්ඡති

පමා බැවිහි බිය දැක මහණ දම් වඩන තැනැත්තා කුදු මහත් සසර බැඳුම් වූ රැහැන් දවන්නේ ය.

ආලෝකය පතුරුවා ඒ තෙරුන් හමුවේ, වැඩ සිටින සේ පෙනී සිට ඔබ වහන්සේගේ සිතිවිල්ල යහපත් ය. සසර සැරිසරන මේ සත්වයන් නැවත නැවත ඉපදීම් වශයෙන් බැඳ තබන ලොකු කුඩා කෙලෙස් රැහැන් මේ විසල් වූ ලැව් ගින්නෙන් දැවෙන, ලොකු - කුඩා ගස් වැල් හා දැව - දඬු සේ රහත් මඟ නැණින් තවා වනසා, නිවන වැද නැවත ඉපදීමට අවකාශ නො තැබිය යුතු යැයි දෙසා වදාළ සේක.

රහත්ඵල පමා බැවින් කල් යැවූ ඒ තෙරුන් වහන්සේ රහත් ඵලයෙහි පිහිටි සේක.

පෘතග්ජන අප ද ධර්මයේ හැසිරීමේ දී හෝ ඉගෙනීමේ දී හෝ වෙනයම් වූ කාර්යයක දී තමන් බලාපොරොත්තු වූ දේ ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ නොවූ කල ඒ දේ හරියන්නේ නැතැයි සිතිය යුතු නොවේ.

අධෛර්යවත් නොවිය යුතු යි. නැවත නැවතත් ඒ දේ වෙනුවෙන් උත්සාහවත් විය යුතුයි. වැරදුණු තැන කොතැන ද? අඩුපාඩුවක් වූයේ තොනැන ද? යන්න විමසිය යුතු ය. එසේ විමසා බලා වැරදුණු තැන සකස් කර ගනිමින්, ඒ දේ වෙනුවෙන් උත්සාහවත් විය යුතු ය. අපගේ උත්සාහයේ, උනන්දුවේ තරමට ප්‍රතිඵල ළඟාකර ගත හැකි වන්නේ ය.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]