[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2022-08-26

දුර්වලතා හඳුනාගනිමු

උසස් මනසක් ලැබීම නිසාම සත්ත්ව ලෝකයේ පළමු තැන මිනිසාට හිමි ය. සිතා බලා කටයුතු කරන්නට, හොඳ නරක විමසන්නට හැකියාව තිබුණ ද කෙනකුගෙන් කෙනකුට වෙනස් චරිත ස්වභාවයන් සමාජය තුළ විද්‍යමාන වේ. කෙනෙක් යහපත් ව දිවි ගෙවති. කෙනෙක් අයහපතෙහි ම ගැලී සිටිති. ඒ යහපත අයහපත තුළ දෝලනය වෙමින් සැනසුම සේ ම වැනසුම අත්පත් කර ගනිති.

බොහෝ දෙනෙක් කරදරේ වැටෙන්නේ තමන්ගේ තරම නොදන්නාකම නිසා ය. තමන් කවුදැයි හඳුනා නොගැනීම නිසා ය. කෙනෙක් වයසට නොගැලපෙන දේ කරති. තවත් කෙනෙක් ඉවක් බවක් නොමැතිව අනුන් කරන දෙය අනුකරණය කරන්නට ගොස් වැනසෙති. කෙනෙක් නොහැකියාවන් වසා ගනිමින් හැකියාවන් ඇතැයි පෙන්වීමට ගොස් අමාරුවේ වැටෙති. කෙනෙක් කළ හැකි නොහැකිකම් පෙන්වා දුන්න ද අනුන්ගේ බසට අවනත වෙන්නට ඇති නොකැමැත්ත නිසා ද ප්‍රශ්න ගැටලු ඇති කර ගනිති. කවර ලෙසකින් කීව ද මේවා ජීවිතය අවුල් කරන දුර්වලතා ය. ඒවා හඳුනා ගනිමින් මඟහරවා ගන්නා තරමට නිරවුල් ජීවිතයක් ගත කිරීමට පහසු ය.

ජීවිතය අඳුරට ඇද දමන එවැනි දුර්වලතා පහසුවෙන් හඳුනා ගන්නට අවශ්‍ය සදූපදේස අපට දහම් මඟ තුළ ඕනෑ තරම් ඇත. ඉතා කුඩා සංසිද්ධියකින් පවා ජීවිතයට ලැබෙන ඒ ආදර්ශය කල්‍යාණ මිතුරකු සේ අපේ ජීවිතයට මඟ පෙන්වයි. රැකවරණය ලබා දෙයි.

අතීතයේ බරණැස් නුවර බඹදත් නම් රජ කෙනෙක් විය. එකල අප මහ බෝසතාණන් වහන්සේ වීරක නමින් දියකාවෙක් ව ඉපිද විලක් සමීපයෙහි වාසය කරමින් සිටියේ ය. මෙ සමයේ බරණැසට මහා සාගත කාලයක් උදාවුණි. ආහාර හිඟවිය. සතා සිවුපාවුන්ට පවා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවිය. දිනක් සචිට්ඨක නම් කපුටෙක් සිය කැවිඩිය සමඟ බෝසත් දියකාවා හමුවට ආහ. බෝසතුන් දෙන ආහාරයෙන් කුස පුරවා ගනිමින් එහිම වසන්නට වූහ.

“අනුන් දෙන ආහාරයෙන් යැපෙන්නේ කුමට ද? අප දෙදෙනා ම රූපයෙන් පැහැයෙන් සමානයි. මට මගේ ආහාර සොයා ගන්නට පුළුවනැ’යි දිනක් කපුටා සිතීය. ඒ බව බෝසත් දියකාවාට පැවසී ය. දිය යට කිමිද ආහාර සෙවීම කපුටකුට කළ නොහැකි යැයි දියකාවා පැහැදිලි කර දුන්නේ ය. එහෙත් කපුටා එය නොපිළිගත්තේ ය. ආහාර සොයා ගෙන එමි’යි දිය යට ගියේ ය. අවාසනාවකි. දිය සෙවෙල්වල පැටළුණු කපුටාට නැවත දිය මතුපිටට ඒමට නොහැකි විය. එහි ම මළේ ය. කපුටා නොදුටු කැව්ඩිය බෝසතාණන් වහන්සේගෙන් ඒ ගැන විමසීය. බෝසතාණන් වහන්සේ කපුටා තමන්ගේ තරම නොදැනීමෙන් කරගත් විපත ගැන කීවේ ය. කැව්ඩිය හඬා වැළපී ආපසු බරණැස් නුවරට ම ගියා ය.

මේ ජාතක කතා පොත් වහන්සේ තුළ එන වීර (වීරක) ජාතක කතාවේ අතීත කතාවේ සාරාංශයකි. පෙර සඳහන් කළ ලෙස දුර්වලතා හඳුනාගෙන, ජීවිතය හසුරුවා ගන්නට මේ බෝසත් කතා පුවතින් ලැබෙන ආදර්ශය ම මොන තරම් පිටුවහලක් වෙනවා ද?

අප අතර බොහෝ දෙනෙක් අනුන්ගේ බසට කන් නොදෙති. දරුවන් මව්පියන්ට , ගුරුවරුන්ට, ඇහුම්කන් නොදෙති. හිතුවක්කාර තීරණයන්හි අවසානය ඇතැම් විට ජීවිතය පවා අහිමිවන විනාශයක් විය හැකි ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, විනෝදයට මුහුදේ හෝ ගංගාවල දිය නාන්නට ගොස් ගිලී මිය යාම වීර ජාතකයේ එන කී දේ නෑසු කපුටාට සිදුවූ විපත හා සමාන සිදුවීම් ය. මේ, සමාජයේ බහුලව දැකිය හැකි උදාහරණ ය. පුංචි දුර්වලතාවක අවසානය මහා විපතක් විය හැකි ය. බෞද්ධ සාහිත්‍යය තුළ අපට දුර්වලතා හඳුන්වා දෙමින් ඒවා මඟ හැර යන්නට මඟ පෙන්වයි. අප කළ යුතු ඒ ආදර්ශ ජීවිතයට ප්‍රායෝගික කර ගනිමින් සැනසීමෙන් ජීවත්වීම ය.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]