[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් ඇත්තෝ ම බුහුමන් ලබති

පින් ඇත්තෝ ම බුහුමන් ලබති

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

ජලයෙන් ප්‍රයෝජන ගන්නෝ තමන් කැමැති තැනකට දිය ගෙන යති. ලෝහයෙන් වැඩ කරන්නෝ තමන්ට අවශ්‍ය පරිදි යකඩ නැමීම් කරති. ඇද ඇරීම් කරති.

ලීයෙන් වැඩ කරන්නෝ තමන් කැමැති ලෙසට දැව දඬු නැමීම්, ඇද හැරීම් කෙරෙති. එහෙත් මේ එකකටවත් සිතක් නැත. එසේ වුව ද ඔවුහු කැමැති පරිදි මේවා කීකරු කොට බොහෝ පල ප්‍රයෝජන ලබති. එසේම පණ්ඩිතයා අකීකරු තම සිත දමනය කොට කෙලෙස් වනසා බොහෝ පල ලබන්නේ ම ය.

මෙහි එන උපමාවන් තුන ම අජීවක ය. සංඥා රහිත වස්තූන් ය. එහෙත් දක්ෂයකුහට, විධිමත් ව ශිල්ප හැදෑරීම් කළ කෙනකු ට ඒ වා හමුවූයේ නම් තමාට ප්‍රයෝජන සහිත කර ගැනීමට සමත් වේ. සුජීවත් සව්ඤ්ඤාණ සෑම මිනිසකුට ම ක්‍රියාකාරී සිතක් වේ. එහෙත් ඒ සිත තමන්ට ඕනෑ පරිදි යහපත් සිතක් කර ගත හැකි වන්නේ පණ්ඩිතයාට පමණක් බව ය මේ බුද්ධ වචනයෙන් දේශනා කොට ඇත්තේ.

එක් අවස්ථාවක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහ රහතන් වහන්සේ පිරිවරා බරණැස් නුවරට වැඩියහ. ඒ නුවර වැසියෝ අට දෙනා, දස දෙනා වශයෙන් එකතුව දානය පිළිගැන්වූූහ. බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණ දේශනා කළහ. එහිදී, ඇතැම් කෙනෙක් අනුන් සහභාගි කර නොගෙන තමන් සතු දෙයම දී උපනූපන් තැන භෝග සම්පත්තිය පමණක් ලබති. පිරිවර සම්පත් නොලබති.

තවත් කෙනෙක් අනුන් ලවා දෙනු ලබයි. තමන් නොදෙයි. ඔහුට පිරිවර සැප ලැබෙයි. එහෙත් භෝග සම්පත් ලද නොහැකි ය.

තව කෙනෙක් තමන් ද නොදෙයි. අනුන් ලවා ද නොදෙයි. ඔහුට සම්පත් දෙකම නැත. උපනූපන් තැන සිඟන්නෙක් ව උපදියි.

මේ අතර තවත් කෙනෙක් තමා ද දෙයි. අනුන් ලවා ද දෙයි. ඔහුට ගිය ගිය තැන භෝග සම්පත් ලැබේ. පිරිස් සම්පත් ද ලැබේ'යි උන්වහන්සේ දේශනා කොට වදාළහ.

මේ බණ අසා සිටි නුවණැති මිනිසෙක් මම මේ හැම සැපතක් ම ලබමි'යි සිතුවේ ය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ සියලු භික්ෂූන් වහන්සේට දානයට ආරාධනා කොට සිටියේ ය.

වහ වහා තම ගම් බලා පිටත්ව ගෙන් ගෙට ගොස් පින්වතුනි, හෙට දින විසිදහසක් භික්ෂූන් වහන්සේ සමඟ අපගේ නිවසට දානයට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඔබ ද හැකි පමණින් දන් පිළියෙළ කරගෙන පැමිණෙන්න යි දැන්වීය. එම නිවැසියෝ ද තමන් ඉතා දිළිඳු වුව ද අප දහයකට , අපි විස්සකට ය, ආදි වශයෙන් හැකි පමණින් බාර ගත්හ.

මේ ගමේ “මහදිළින්දා” නම් ඉතා දිළින්දකු විය. උපාසක තෙමේ ඔහුට ද දානය සිහිපත් කර කුමක් හෝ පූජා කරන ලෙස දැන්වීය.

“මා ගමේ බලවත් ම දුගියා බව ඔබ නොදනී ද? හෙට උදේ කැඳ උගුරක් හෝ බොන්නට හාල් ඇටයක් ගෙයි නෑ”යි ඔහු කීවේ ය.

“යහළුව අපේ ගමේ මිනිසුන් දෙස බලන්න. ඔබ දෙස බලන්න. පෙර ජාතිවලදී ඔබ මෙවැනි පින් නොකළ නිසා මේ වෙනස නොපෙනේ ද?” යි ආරාධිත උපාසක තෙමේ මහ දිළින්දාට කරුණු කීය.

මහ දිළින්දා එයින් සංවේදී විය. තමන්ටත් එක් නමක් දෙන්න යැයි උපාසකගේ බිරිඳට ඒ බව පවසන්නේ ඇය ද ඉතා සතුටු විය. දිළින්දා සිටු ගෙදරට ගියේ ය. ඒ සිටුතුමා තුන්දහස් නමකට දන් භාරගෙන තිබුණි. ඔහුට දර පලා දී හාල් නැලි අටක් ලබා ගත්තේ ය. බිරිඳ සිටු දේවියට හාල් තුනපහ කොටා දී ගිතෙල් තුනපහ ආදිය ද ලැබීමෙන් දානයට සූදානම් විය.

අඹුව මැල්ලුමට පලා මිටියක් ගෙන එන්න යැයි කී විට ඔහු වෙළෙඳ පොළේ පලා නොදැක ගං ඉවුරෙහි පලා කඩන්නට ගියේ, දන්දීමේ සතුට මහ හඬින් කියන්නට විය . ගඟේ මසුන් මරමින් සිටියකු ඔහු හඳුනාගෙන තොරතුරු දැනගෙන මසුන් වැල් සකසා දී අලෙවි කොට මසුන් හිමිකරු දුන් මාළු ටික දානයට ගෙන ගියේ ය.

මෙදින උදෑසන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව බලා වදාරණ සේක. ඊයේ සිට තම බිරිඳත් සමඟ එක්ව එක් නමකට දන් දීමට දිළිඳු ඔවුන් වෙහෙසෙන අයුරු දැක ඒ දානය තමන් වහන්සේ පිළිගැනීමට අදිටන් කළ සේක. මේ සියලු සිදුවීම් දුටු සක්දෙවිඳු දිළින්දාගේ ගෙදරට කුලීකරුවකු ලෙස ආවේ ය. දිව්‍ය රස බොජුන් පිළියෙළ කළේ අරක්කැමියා ලෙස ය.දන් වේලාවට දුගියා විහාරයට ගියේ ය. තමාට කැප කළ භික්ෂූන් වහන්සේ දෙන ලෙස උපාසකට කීවේ ය. එහෙත් සටහන අනුව ඒ වන විට සියලු ආරාධිතයින් ඒ ඒ ගෙට වැඩමවා අවසන් වී සිටියහ. ඉතිරිව සිටියේ බුදුරජාණන් වහන්සේ පමණි. උපාසක තෙමේ සමාව අයැද රජවරු ඇමැතිවරු බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගැනීමට පසුවෙති. ඔබ එහි ගොස් කරුණු කියා වැඳ පාත්‍රය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. එසේ විය. බුදුරජාණන් වහන්සේ සිඟන්නා අතට දුන් පාත්‍රය රජුට වුව ද උදුරා ගත නොහැක. දුගියාගේ ගෙය ඉතා මිටි ය. බුදුවරු නොනැමී පිවිසීම සිරිත ය. මහපොළොව යටට ගිලා බසිද්දී, බුදුරදුන් ගෙට වඩිද්දී රජ මැතිවරුන් ද පසු පසින් ආයේ අසාර්ථක දානයෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගෙට වැඩමවා වැළඳවීමට ය. දානය පිරික්සූ ඔවුහු රජ ගෙදරවත් නැති දානය දැක යන්නට ගියහ. වළඳා අවසන බුදුරජාණන් වහන්සේ අනුමෝදනා බණ දේශනා කොට ආපසු වැඩියහ. දුගියා පාත්‍රය ගෙන ටික දුරක් පසු පස ගියේ ය. නිවෙසේ සිටි සක් දෙව් උඩ බැලුවේ ය. මුළු ගෙයම සත් රුවන් පිරී ගියේ ය. දුගී බිරිඳ දරුවන් ද ගෙන පාරට බැස සිටිය දී ආපසු ආ දුගියා සත්රුවන් දැක සතුටු විය. ගැල් දහසක් ඉල්ලමින් රජුවෙත ගොස් කරුණු කියද්දී මහජනයා විමසා ඔහු සිටු තනතුරකට පත් කළේ ය. ඉතිරි කාලය ද පින් කරමින් සිටි ඔහු බුද්ධාන්තරයක් ම දෙව් සැප වින්දේ ය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දවස සැරියුත් තෙරුන්ගේ හිතවත් සිටු ගෙදරක ඉපදුණි. කුසයේ සිටි කාලයේ දී ම හත්වරක් දන් දී ඇත. සැරියුත් තෙරුන් නිවසට ආ දිනක සිටු කුමරු උන්වහන්සේට පැවරීය. පණ්ඩිත නම් වූ ඒ කුමරු තමා සැරියුත් තෙරුන් ළඟ මහණ කරවන්න යැයි අම්මාගෙන් ඉල්ලා සිටියේ ය. සැරියුත් තෙරුන් වහන්සේ තචපඤ්චක කර්මස්ථාන කියවා ඔහු පැවිදි කළහ.

මිනිස් සිරුරේ ඇත්තේ කුණප 32 කි. එයින් 27ක් ශරීර අභ්‍යන්තරයේ ඇත. 05ක් බාහිරව අපට දැකිය හැකි ය. කෙස්,ලොම්, නිය, දත් හා පිටසම අපට පෙනේ. බාහිරින් ඇති මේ පෙනුම බොහෝ දෙනා මගේ කය යනුවෙන් අල්ලා ගනිති. මේ තණ්හා, මාන, දිට්ඨි, අවිජ්ජා ප්‍රහීනයට මේ 05 කෙරෙහි කළකිරවීම තච පඤ්චක කර්මස්ථාන සිහිකිරීමෙන් සිදුවේ.

දිනක් සැරියුත් තෙරුන් වහන්සේ පණ්ඩිත සාමණේරයන් වහන්සේට ඉරියවු පැවැත්වීම් හා කළයුතු වතාවත් කියා දෙමින් ඇතුළු ගමට පිණ්ඩපාතයට වැඩම කළ සේක. අතරමඟ දී ඇළක් දැක මෙයින් ඇති ප්‍රයෝජන කවරේදැයි උපාධ්‍යාය සැරියුත් තෙරුන්ගෙන් ඇසූහ.

තැනින් තැනට දිය ගලා බස්වමින් දෙපස ඇති කුඹුරුවලට යවා ගොයම් කරති’යි වදාළහ. මේ දියට සිතක් ඇත්තේ දැයි ඇසූවිට නැතැයි වදාළහ. එසේ නම් ස්වාමීනි, සිත් පිත් නැති දිය තමන් කැමැති තැනකට ගෙන යන්නේද? එසේ ය ඇවැත්නි’යි පිළිතුරු දුන්හ.

මේ සැටියෙන් සිත් පිත් නැති දියත් තමන් කැමැති තැනට පමුණුවා වුවමනා කටයුතු කරත්නම් සිත් පිත් ඇති සත්ත්වයෝ සිත තම වසඟයෙහි පවත්වා කුමක් හෙයින් මහණදම් පිරීමෙහි අපොහොසත් වන්නේ දැයි සිතන්නට විය.

තව ටිකක් ඉදිරියට ගියේ සාමණේරයන් හී වඩුවකු ඊ කූරක් ගින්නෙහි ලා තව තවා ඇස් කොණින් බල බලා ඇද හරිනු දැක මොවුහු කවුරුදැයි ඇසීය.

“හේ ඊ වඩුවෙකි” “කුමක් කරන්නේ ද?” “ඊ” දඬු ගින්නෙහි ලා ඇද හරිත්” යැයි වදාළහ. “ඊ දණ්ඩට සිතක් තිබේද? නැතැයි වදාළ විට,

මේ සිත් නැති ඊ දඬුත් ගින්නෙහිලා තවා ඇද හරිත් නම් සිත් පිත් ඇති සත්ත්වයෝ තම සිත තමාට නතුකොට ගෙන මහණදම් කරන්නට (යහපතෙහි පමණක් හැසිරවීමට) කුමක් හෙයින් අසමර්ථ දැයි සිතූහ.

තව ටිකක් ඉදිරියට යත්ම දැවි නිම්වළලු බොස් ගෙඩි සඳහා දැව සසින්නන් දැක මොවුන් කරන්නේ කුමක් දැයි ඇසීය.

“මොවුන් ළී දවා දඬු සසින්නේ ය. වනයෙන් ලී කොට ගෙනැවිත් තිරික්කල කරත්ත. බරබාග. බරකරත්ත ආදියට රෝද (අර) බොස්ගෙඩි පට්ටම් සාදති’ යි වදාළහ. ඒ ලීවල පණ තිබේදැයි ඇසීය. නැතැයි වදාළ විට මොවුහු මෙලෙසින් සිත් පිත් නැති දැව දඬු සැස කරත්ත රෝද ආදිය සාදත් නම්, සිත් පිත් ඇති මිනිසාට තම සිත් නතුකොට ගෙන මහණ දම් කරන්නට, යහපතෙහි පමණක් තම ජීවිතය මෙහෙයවීමට බැරි කුමක් නිසා දැයි සිතා

“ස්වාමීන් වහන්ස, මගේ පා සිවුර අරගන්නා සේක් නම් මට නවතිනු හැකි යැයි කී ය. මේ ළදරු හෙරණ සැරියුත් උපාධ්‍යායන් වහන්සේ කවුරුන්දැයි නොදැන මෙසේ කියන්නේ’යි සිතමින් දෙන්න යැයි කියමින් තම අතට ගත්හ. හෙරණ තෙරුන් වැඳ නවතින විට පොඩි නමට අනතුරක් වේ යැයි සිතා තම කුටියට වී දොර වසා සිටින්නැයි ද නියම කොට පිණ්ඩපාතය සඳහා ඉදිරියට වැඩි සේක. කුටියට වන් සාමණේරයන් සිය සිරුරෙහි නුවණ බහා ත්‍රිලක්ෂණය සිහි කරන්නට විය. හෙරණගේ මේ ගුණ තෙදින් තැති ගත් සක්දෙව් රජ සිව්වරම් දෙවියන් කැඳවා සාමණේරයන් සිටින කුටිය අවට කිසිදු සතකුට හඬ නොනඟන පරිදි නිහඬ කරවන්නට අණ කළේ ය. හෙරණුන්ගේ සිත එකඟ ය. අනාගාමී ඵලයට පැමිණියේ ය.

පිඬුසිඟා වැඩි සැරියුත් තෙරුන් වහන්සේ ආරාධනා පරිදි දායක ගෙයකම සිට පිඬු වළඳා සාමණේරයන්ට පාත්‍රය පුරවා ආහාර දුන් පසු වහ වහා වැඩියේ සාමණේරයන් බඩගින්නේ බව සිතමින් ය. අප බුදුරජාණන් වහන්සේ තෙරණුන්ගේ පළමු ක්‍රියා දිවැසින් දැක මාර්ගඵල අනාගාමී ඵල තෙක් ලැබූ බවත්, රහත්වීම ගුරුහිමියන්ගේ දානය නිසා ප්‍රමාද වන බව දැක තෙරුන්ගේ කුටිය ළඟට වැඩ ‘සැරියුත් තෙරුන් නවතා සතර ප්‍රශ්නයක් විමසූහ.

ඒ, දෙබස අසා සාමණේරයන් රහත්ඵලයට පැමිණෙන බව දැනගෙන ය. සතර ප්‍රශ්නය නම්, සැරියුත් ඔබට කුමක් ලැබුණේ ද? ආහාරයෙකි. ආහාරය කුමක් කරයි ද? වේදනා පහ කරයි. වේදනාව කුමක් කරයි ද? රූපය එළවා තබයි. රූපය කුමක් එළවාද? ස්පර්ශය කෙරේ.

මේ දෙබස අසා සිටි සාමණේරයන් වහන්සේ එයට සිහි එළවා අරහත් ඵලය ලැබූහ. බුදුරජාණන් වහන්සේගේ ආරාධනයෙන් සැරියුත් තෙරුන් සාමණේරයන් වෙත පිළිගන්වා දන් වැළඳවූහ.

මෙසේ වළඳන තෙක් නැවතී සිටි සඳ හිරු ගමන් ඇරඹීය. භික්ෂූන් සාමණේරයන්ගේ දන් වැළඳීම පරිභව මුඛයෙන් කතා කළහ. එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ පින් ඇත්තවුන්ට සඳ හිරු පවා තම විමාන රඳවා තබමින් ගෞරව දැක්වුහ. මම ද දොර කොටුවෙහි රැකවල් දුනිමි’යි ඉහත ගාථාවෙන් අනුසන්දි ගළපා කළ දේශනාව අසා බොහෝ දෙනා සෝවාන් ඵලයට පැමිණියහ.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]