[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස විෂ ගිනි සතුරු විපත් වැඩි ද? මෙලෙස ආරක්ෂා වෙමු

වස විෂ ගිනි සතුරු විපත් වැඩි ද? මෙලෙස ආරක්ෂා වෙමු

භාවනාව වැඩීමේ දී ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ රූපාදී විවිධ අරමුණු ඔස්සේ සිතූ සේ දුවන සිත එක් යහපත් අරමුණක පිහිටුවා ගැනීමයි.චිත්ත ඒකග්ගතාව යි. ඒකාග්‍ර වූ සිතේ නොසන්සුන්කම තුනීවී අරමුණ කෙරෙහි ඇතිවන ගැටීම හෙවත් ව්‍යාපාදය මැඩපවත්වා ඉවසීම සහ මෛත්‍රීය පුරුදු කරයි.

මෙහිදී සිතෙහි හටගන්නා රාග, දෝස, මෝහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, සැකය ආදී ක්ලේශ ධර්මයන් එක්වර දුරු කළ නොහැක. ක්‍රමයෙන් බැහැර කළ යුතු ය.

ඇස, කන, නාසය, දිව ශරීරය යන ඉන්ද්‍රියයන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු සිතට ලැබේ. අභාවිත සිත ඒ අරමුණු නිත්‍ය ය. මම ය මාගේ ය , ශුභ ය, සුඛ ය කියා වැරැදි ලෙස ගනී. සිත කෙලෙසුන්ගෙන් කිලිටි වන්නේ මේ වැරැදි හැඟීම නිසා ය.

භාවනාවෙන් දියුණු කළ සිත ඒ අරමුණු දෙස බලන්නේ ඇලීමකින් හෝ ගැටීමකින් නොවේ. පිරිසුදු සිතකින් පමණයි, යථාර්ථය අවබෝධ කොට නිවන් දැකීමට පුළුවන් කමක් ලැබෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ , මෛත්‍රීය වැඩීම, බොහෝ ආනිසංස ලබා ගන්න පුළුවන් ක්‍රියාවක් බවයි. එම ආනිසංස දැන ගැනීමට මත්තෙන් එය දේශනා කරන්නට හේතූ පාදක වූ අතීත කතා පුවත විමසා බලමු.

දිනක් තථාගතයන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන කොසොල් රටේ චාරිකාවක වැඩියා. ඒ ගමන් මඟ වැටී තිබුණේ වනාන්තරයක් මැදින්. ඒ වනයේ ලැව් ගින්නක් නිසා විශාල වනස්පතියක් නැත්නම් විශාල නුග ගසක් ගිනි ගෙන තියෙනවා. ඒ ගින්න නිවි නිවී පත්තුවෙනවා. විශාල කඳක් මේ ගිනි ගෙන තියෙන්නේ.

මේ ගිනිගත් ගස දැකලා බුදුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා, ආනන්ද මෙතැන ටික වේලාවක් විවේක ගනිමු” කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ සෙවණ තියෙන ගසක් යට ආසනයක් පනවලා බුදුන් වහන්සේට ආරාධනා කළා , ස්වාමින් වහන්ස මෙතැනින් වැඩ සිටින්න” කියලා. ඒ ආසනයේ වැඩ සිටින බුදුන් වහන්සේ අර ගිනි ගෙන තිබෙන ගස පෙන්නලා එදා ඒ සඟ පිරිසට ඉතාමත් හොඳ ධර්‍ම දේශනාවක් පැවැත්තුවා.

ගිනිකඳ උපමා කර ගෙන දේශනා කළ නිසා ඒ සූත්‍රයට කියනවා අග්ගික්ඛන්ධෝපම කියලා. මේ සූත්‍රයේ සිව්පසය පරිහරණය කරන පිළිවෙළ පිළිබඳවත්, සිල්වත් භාවය පිළිබඳවත් විස්තර දැක්වෙනවා. මේ සූත්‍ර දේශනාවට සවන් දුන් භික්‍ෂුන් වහන්සේලා හැට නමකට ලේ වමනය ගියා. තවත් 60 නමක් සිවුරු හැර ගියා. සිල්වත් කමක් නැති ව සිව් පස පරිභෝගයේ ආදීනව දැකලා දුස්සීල ව හිටපු භික්‍ෂුන් වහන්සේ භය වුණා. ඒ අතර පිරිසුදු සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලා හැට නමක් රහත් වුණා.

මේ දේශනාව අසා දැනගත් දෙවි දේවතාවෝ මධ්‍යම රාත්‍රියේ දී ආකාශ තලයේ හිඳගෙන භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රය ඇසෙන පරිදි කියන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට සවන් දීලා භය වුණා. තමන් පිළිබඳ කලකිරුණා. සංවේගයට පත් වුණා. අනේ මහණකම මොන තරම් දුෂ්කර ද කියලා.

භය වෙලා සිවුරු හැර යන්න පටන් ගත්තා. දැන් සේනාසන පාළුවුණා. භික්ෂුන් වහන්සේලා අඩු වුණා. සිල්වත් උතුමන් වහන්සේලා පවා සිවුරු හැර යන්න පටන් ගත්තා. අන්න ඒ අවස්ථාවේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුන් වහන්සේ ළඟට පැමිණ ඉතා ගෞරවයෙන් දෙපා වැඳ ඉල්ලීමක් කළේ , ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අග්ගික්ඛන්ධ සූත්‍රය දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේ භයටත්, සංවේගයටත් පත් වෙලා ඉන්නවා. ඒ නිසා අපට සැනසුම පිණිස තවත් දේශනයක් පවත්වන සේක්වා කියලා.

ඒ ආරාධනාවට අනුව භික්ෂුන් වහන්සේලාට සැනසුම පිණිස මේ මෙත්තානිසංස සූත්‍රය දේශනා කොට වදාළා.

මේ සූත්‍රය ආනිසංස දේශනාවක්. මෛත්‍රී භාවනාව වඩන ගිහි වේවා, පැවිදි වේවා. මනා ලෙස මෙත් වඩන කෙනකුට ලැබෙන අනුසස් එකොළහක් මේ සූත්‍රයෙන් දේශනා කොට වදාළා. දැන් අපි මේ සූත්‍රයේ තේරුම කෙටියෙන් බලමු.

මහණෙනි මේ මෛත්‍රී භාවනාව මෙන්න මේ විදියට පුරුදු පුහුණු කළ යුතුයි. ඒ සඳහා ඉතාමත් ලස්සන වචන පෙළක් ඉරිපත් කර තිබෙනවා

,මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකතාය, යානීකතාය වත්ථූකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකංඛාති.

ආසේවිතාය - මෛත්‍රී භාවනාව ආදරයෙන් ආරම්භ කළ යුතුයි.

භාවිතාය - නැවත නැවත වැඩිය යුතුයි

බහුලීකතාය- බහුල ව වැඩිය යුතුයි

යානි කතාය - ධාවනය කරන යානාවක් වගේ සුදානම් කරගෙන වැඩිය යුතුයි.

වත්ථුකතාය. ගොවියෙක්, කුඹුරු කිරීමට පොළොව සකස් කරගන්නා සේ නිතරම මෛත්‍රිය සකස් කර ගත යුතුයි.

අනුට්ඨිතාය - නිතරම අවධියෙන් සිටින කෙනෙක් වගේ මෛත්‍රීයෙන් සිත අවධි කර ගත යුතුයි.

පරිචිතාය - සිත ඕනෑ ම අවස්ථාවක මෛත්‍රි භාවනාවට යොමු කර ගත හැකි පරිදි පුරුදු කර ගත යුතුයි.

සුසමාරද්ධාය - අතට ගත් දෙයක් වගේ සෑම විට මෛත්‍රීය සූදානම් ව තබා ගත යුතුයි.

මේ ආකාරයට මෛත්‍රී භාවනාව ප්‍රගුණකර ගත් කෙනකුට ලැබෙන අනුසස් එකොළහක් තියෙන බව මෙලෙස දේශනා කොට වදාළා.

* සුඛං සුපති

* සුඛං පටිබුජ්ඣති

* න පාපකං සුපිනං පස්සති

* මනුස්සානං පියෝ හෝති

* අමනුස්සානං පියෝ හෝති

* දේවාතා රක්ඛන්ති

* නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති

* තුවටං චිත්තං සමාධියති

* මුඛවණ්ණෝ විප්පසීදති

* අසම්මූළ්හෝ කාලං කරෝති

* උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති

* සැප සේ නිද යි,

* සැප සේ පුබුදියි,

* නපුරු සිහින නොදකියි,

* මිනිසුන්ට ප්‍රිය වෙයි.

* නොමිනිස්සුන්ට ද ප්‍රිය වෙයි,

* දෙවියෝ රකියි,

* මෛත්‍රි විහරණ ඇති පුද්ගලයාගේ සිරුරෙහි, ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි,

* වහා සිත සමාහිත වෙයි,

* මුහුණ පැහැපත් වෙයි,

* නොමුළාව කලුරිය කරයි.

මෛත්‍රී පූර්වක සිතින් එක් සත්ත්වයකුට වුව ද මෙත් වඩා ද එයින් බොහෝ කුසල් අත්වේ. සකල සත්ත්වයින්ට ම මෛත්‍රිය වඩන්නා ඉමහත් ආනිසංස ලබයි.

එනිසා අප ද නොපමාව මෛත්‍රී සහගත සිතිවිලි ඇති කර ගෙන ජීවිතේ සැනසීම ඇති කර ගනිමින් සමාධිමත් සිතකින් සත්‍ය අවබෝධය කර ගැනීමට වීර්‍ය ය වඩමු.

“දසබලයන් වහන්සේ විසින් දේසිත ,අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]