[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙලෙසුන් කෙරෙන් දුරු වූ කල ලැබෙන අසීමිත සුවය

කෙලෙසුන් කෙරෙන් දුරු වූ කල ලැබෙන අසීමිත සුවය

ලොව පහළ වූ සෑම සියලු ආගමකින් ම කිසියම් නිදහස් වීමක්, විමුක්තියක් කරා පුද්ගලයා යොමු කරවනු ලැබේ. බ්‍රහ්මජාල සූත්‍රයේ දී පංචදිට්ඨ ධම්ම, නිබ්බාණවාද යනුවෙන් විවිධ විමුක්තීන් ගැන ඉගැන්වූ වාද පහක් පිළිබඳ සඳහන් වෙයි.

බුදුදහම පෙන්වා දෙන විමුක්තිය හැඳීන්වෙන්නේ නිර්වාණ (නිබ්බාණ) නිවන යන නමින් ය බුදු දහම තුළ ඉගැන්වෙන පරම, නිෂ්ටාව නිර්වාණය යි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසේ ම අවසානික පරමාර්ථය නිර්වාණය යි.

අභිධර්මයට අනුව සතර පරමාර්ථ ධර්ම අතුරෙන් සිව්වන පරමාර්ථය ද නිර්වාණය යි.බුදුවරුන් ලොව පහළ වනුයේ එකී නිර්වාණගාමී මාර්ගය ලොවට හෙළි පෙහෙළි කර දීමට ය. මේ ඒ පිළිබඳ සංක්‍ෂිප්ත සටහනකි.

නිර්වාණය වූ කලි පරම සුවයකි නිරාමිස අත්දැකීමකි. ඒ පිළිබඳ අපට බුද්ධ දේශනාව ඇසුරෙන් කරුණු දක්වනු විනා නිර්වචන ඉදිරිපත් කළ නොහැකි හෙයින් අනිර්වචනීය වේ. වචනයෙන් නිවනෙහි ස්වභාවය පැහැදිලි කිරීම අපහසු බැවින් අවාචී‍ය වේ. එය අවේදයිත සුවයෙකි. පරම සත්‍යයකි. සංයුත්ත නිකායෙහි අසංඛත සංයුත්තයෙහි නිවන හැඳීන්වීමට යෙදෙන පර්යාය පද 33ක් මෙසේ දැක්වේ.

“අසංඛත අන්තං අනාසවං සච්ච පාරං නිපුණං සුදුද්දසං අජරං ධුවං අපලෝකිතං අනිදස්සනං
නිප්පපඤ්චං සන්තං අමතං පණීතං සිවං ඛෙමං තණ්හක්ඛයො අච්ඡරියං අබ්භූතං අනීතිකං
අනීතිකධම්මං නිබ්බානං අබ්‍යාපජ්ජො විරාගො සුද්ධිං මුත්ති අනාලයො දීපො තාණං ලෙණං සරණං පරායණං”

චක්‍ෂුරාදී ඉන්‍ද්‍රිය පඤ්චකයෙන් රූපාදී ආරම්මණයන් කරා පුහුදුන් සිත ඇදී යයි. එයින් එතෙක් ප්‍රභාෂ්වරව පැවැති චිත්තය කෙලෙසීමට පත්වේ. සත්ත්වයා සාංසාරික වශයෙන් දුක්ඛයට පමුණුවන්නේ මෙසේ කිලිටි වූ සිත මඟිනි. රාග, ද්වේෂ, මෝහ, තෘෂ්ණා, ඊර්ෂ්‍යා, මද, මාන, ප්‍රමාද මක්ඛාදී අනේකවිධ චෛතසිකයෝ අප සන්තානගතව රජයමින් පුද්ගලයා සාංසාරික දුක්ඛයට ඇද දමනු ලැබේ.

මෙසේ අවිද්‍යා මෝහාන්‍ධකාරයෙහි සත්වයා ඇලී ගැටී සිටිනා සමයෙක බුදුවරු ලොව පහළ වනුයේ යා යුතු මාර්ගය පෙන්වා දීමට ය.

“තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරො තථාගතා” යන බුදු වදනින් එය පැහැදිලි ය බුදුරදුන් පෙන්වා දෙන ධර්ම මාර්ගය අනුපූර්ව ප්‍රතිපදාවකි පිළිවෙළින් යා යුතු මාර්ගයකි.

මෙසේ ක්ලේශ ධර්මයන්ගෙන් ආතුර වී සිටිනා සත්වයන් ධර්ම මාර්ගයට ගැනීම පහසු නොවේ.

ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් සුවපත් මනසක් ගොඩ නැඟේ. එය දිගින් දිගට ම වර්ධනය කිරීම තුළ දාන, ශීල, භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔස්සේ සිත මෙහෙයවා ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් වර්ධනයෙන් කෙලෙස් රජස් කසට සහමුලින් ම සිඳලිය හැකි ය. ගසක මුදුන් මූලය කපා ඉවත් නොකරන තුරු කොතෙක් ගස කපා දැමුව ද නැවත නැවත ලියලන්නා සේ තෘෂ්ණාව සහමුලින් ම දුරු කරලන තුරු සත්වයා නැවත නැවත සසර දුකට බඳුන් වේ.

එකී වර්ධනීය මානසිකත්වයේ උපරිම ස්වභාවය රහත් බවයි. ඒ තත්වයට පත් ආර්ය ශ්‍රාවකයා ඛීණාසව, අන්තිම දේහධාරී, කතකිච්ච ආදී විවිධ නම්වලින් හැඳීන්වෙන අතර, ලෞකික ලෝකයෙන් නිදහස් වූ කෙනකු බවට පත් වේ. ලෝකෝත්තර වේ

“භව නිරොධො නිබ්බානං” (අංගුත්තර නිකාය 901) යන්නෙන් නිර්වාණය නම් භව නිරෝධය බව පැහැදිලි කළ සේක. භවය නම් ස්ඛන්‍ධයන්ගේ පහළ වීමයි. භවයක් නැත්නම් නිර්වාණයක් ද නැත “යෙහි කෙචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අත්තානං සමනුපස්සන්තී සබ්බේ තෙ පඤ්චුපාදානක්ඛන්‍ධෙ සමනුපස්සන්ති” (ඛන්‍ධ සංයුත්ත 475)

යම් මහණ බමුණෙක් ආත්මය දකී නම්, ඔවුහු පඤ්චස්ඛන්‍ධයෙහි ම ඒ ආත්මය දකිතැයි දේශනා කළ සේක. තථාගතයන් වහන්සේ බාහිරකයන් විසින් පඤ්චස්ඛන්‍ධයෙහිලා ගණන් ගනු ලබන ආත්මයක් ද නොමැති හෙයින් පඤ්චස්ඛන්‍ධය අනාත්ම යැයි වදාළහ. නිර්වාණය ඒ ආත්ම - අනාත්ම ධර්ම දෙකින් ම මුක්ත ය. පස්කඳ නිවුණු කල්හි ආත්ම දෘෂ්ටියක් පහළ නොවන නිසා ‘අනාත්ම’ යැයි කීමට ද ඉඩක් නැත.

නිවන් සුවය අවේදයිත සුවයෙකි. සුඛ - දුක්ඛ - උපේක්ඛා වශයෙන් පවත්නා හැම වේදනාවක් ම “

යංකිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මින්ති” (සංයුත්ත නි 684) යනුවෙන් හැම වේදනාවක් ම දුකෙහි ඇතුළත් වන බව දේශනා කළ සේක. ස්ථිර වශයෙන් සදා කල්හි ම නොනැසී පවත්නා වේදනාවක් නැත. එහෙයින් අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, එය දුකකි. නිවන අවේදයිත සුවයකැයි වදාරණ ලද්දේ ඒ නිසා ය.

එක් කලෙක සැරියුත් මහ රහතන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ දී භික්‍ෂූන් අමතා “සුඛමිදං ආවුසො නිබ්බානං, සුඛමිදං ආවුසො නිබ්බානන්ති” ඇවැත්නි මේ නිවන සුවදායක ය. ඇවැත්නි මේ නිවන සුවදායක ය යනුවෙන් වදාළහ.

එවිට උදායි තෙරණුවෝ ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මේ නිවනෙහි විඳීමක් නැතිනම් පවත්නා සුවය කවරේදැ යි ඇසූහ. ඉක්බිති සැරුයුත් තෙරණුවෝ ඇවැත්නි, මෙහි ඇති සැපය නම් වේදනාවක් (විඳීමක්) නැති බව ම මිස අනෙකක් නොවේ යැයි ප්‍රකාශ කළ සේක.

මෙය තවදුරටත් පහදාලන ශාරිපුත්‍ර මාහිමියෝ මෙසේත් වදාළහ.

‘ඇවැත්නි, මෙලොව යම් මහණකු පස්කම් සුවයෙන් වෙන් ව ප්‍රථම ධ්‍යානය ලබා වාසය කරන විට යම්කිසි කාම සහගත හැඟුමක් පහළ වේ නම්, එය ඔහුට ආබාධය පිණිස පවත්නේ ය.

යම් ඒ ආබාධයක් වේ නම්, එය දුකකැයි භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලදී. මේ අනුව ද නිවන සුවයැ යි දනිවු එසේම ද්විතීය ධ්‍යානය ලැබුවහුට විතර්ක සහගත හැඟීම් ද, තෘතීය ධ්‍යානලාභියාට ප්‍රීති සහගත හැඟීම් ද චතුර්ථ ධ්‍යානලාභියාට උපේක්‍ෂා සහගත හැඟීම් ද ආකාසානඤ්චායතනලාභියාට රූප සහගත හැඟීම් ද, විඤ්ඤාණඤ්චායතනලාභියාට විඤ්ඤාණඤ්චායතන සහගත හැඟීම් ද නේවසඤ්ඤා නාසඤ්ඤායතනලාභියාට ආකිඤ්චඤ්ඤායතන සහගත හැඟීම් ද, ආබාධය පිණිස පවත්නා බවත් වදාළහ.

නේවසඤ්ඤා නාසඤ්ඤායතනයත් ඉක්මවා ආශ්‍රව ක්‍ෂය කොට සඤ්ඤාවේදයිත නිරෝධයට සම වදින්නේ වේ ද, මේ නිසා ද නිවන සැප බව දත යුතුයැ යි වදාළහ.

සඤ්ඤාවේදයිත නිරෝධය ද අවේදයිත නිසාම සුවය බව පෙන්වීමට මෙය ප්‍රකාශ කළහ නිරෝධ සමාපත්තියට සම වැදීමෙන් මෙලොවදී ම නිවන් සුවය විඳීය හැකි ය.

නිවන වූ කලි ප්‍රාර්ථනා කොට හෝ පරලොව දී ලබා ගත හැක්කක් නොවේ මෙලොව දී ම අත්දැකිය හැකි සාන්දෘෂ්ඨික සත්‍යයකි ඒ සඳහා ඉතිඋත්තක පාළි දුක නිපාතාගත නිබ්බාන ධාතු සූත්‍රය නිදර්ශන ය. නිවනෙහි අවස්ථා දෙකකි.

* සෝපධිසේස නිබ්බාන ධාතු

* අනුපධිසේස නිබ්බාන ධාතු

පඤ්චස්ඛන්‍ධය පමණක් ඉතිරිව තිබියදී කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් උතුම් රහත් බව පසක් කිරීම, නොඑසේ නම් කෙලෙස් පරිනිර්වාණය සෝපධිසේස නිබ්බාන නම් වේ.

එසේ රහත් බව පසක් කළ රහතන් වහන්සේ පඤ්චස්ඛන්‍ධයාගේ බිඳී යාමෙන් (මරණයෙන්) පරිනිර්වාණයට පත් වීම අනුපධිසේස පරිනිර්වාණය යි.

නුවණින් ස්පර්ශ කළ යුතු වූ නිවන ‘මෙසේය’ යි හඳුන්වාලිය හැකි කිසි නිදර්ශනයක් නැති දහමකි. ඉපදීම - විනාශය සහ පවත්නා සත්වයාගේ වෙනස් වීම ය යන ස්වභාවයන් (අන්තයන්) නැති හෙයින් අනන්ත ය. යම් කවර හෝ තැනකින් මහ මුහුදට බස්නා කෙනෙකුන්හට ඒ ඒ තැන් තොටුපළ වන්නා සේ ම අටතිස් කමටහන් අතුරින් අභිමත කමටහනක් වඩා නිවන් ලබනු රිසි වන්නේ නම්, ඒ හැම කමටහනකින් ම නිවන් යා හැකි හෙයින් නිර්වාණය නැමැති සමුදුර හැම පැත්තෙන් ම තොටුපළ ඇත්තකි. ඒ නිවනෙහි පඨවි - ආපො - තෙජො - වායො යන මේ මහාභූතයෝ නොපිහිටන්නා හ. එහි දිග - කොට බව හා කුඩා මහත් බව ද ශූභාශුභ බව ද නාම රූප දෙකද ඉතිරි නොකොට සම්පූර්ණයෙන් ම නිරුද්ධ වන්නේ ය.

ඒ රහතන් වහන්සේගේ චුති සිතේ අවසන්හි පඤ්චස්ඛන්‍ධ දුක්ඛය නිරවශේෂයෙන් ම ප්‍රහීණ වන්නේ ය.

මෙසේ රහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පඤ්චස්ඛන්‍ධ දුක්ඛය නිවී යන බව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

“ නිබ්බන්ති ධීරා යථායම් පදීපො” යනුවෙන් ඒ රහතන් වහන්සේ චුති සිත නිරුද්ධ වීමෙන් පහනක් නිවී යන්නා සේ නිවෙන බව බුදුරදහු රතන සූත්‍රයේ දී වදාළහ.

නිවන මෙබඳු යයි කී විට ඇතැම් පුහුදුන් පින්වතුන් නිවන සිය නුවණට නොවැටහෙන හෙයින් නිවනක් නැත’ යි කියන්නට යුහුසුළු වනවාට සැකයක් නැත.

එසේ කියතොත් එය කිසි දිනෙක හිරු එළිය නුදුටු ජාත්‍යන්ධයකු ‘හිරු එළියක් නැත’ යි කීමට නොදෙවැනි කීමක් බවත්, දියේ ම වාසය කොට පුරුදු මාළුවකු ‘ගොඩබිමක් නැත’ යි තම යහළු ඉ½දිබුවකු සමඟ කළ තර්කය සේ ද නුවණැත්තන්ගේ මහත් හාස්‍යයට ලක් කළ යුතු තර්කයෝ වෙති.

පූර්වෝක්ත කරුණුවලට අනුව නිර්වාණය යනු පුද්ගල සන්තානගත පරිවර්තනයක් බව පැහැදිලිය. සිත කෙලෙසුන් කෙරෙන් දුරු වූ කල්හි දැනෙන අසීමිත සුවය නිර්වාණ සුවය යි එය උතුම්ම සැපයැ යි. ‘නිබ්බානං පරමං සුඛං’ එය අවේදයිත සුවයක් බවත්, හේතු ප්‍රත්‍ය සමවායෙන් සකස් නොවුණක් බැවින් අසංඛතයකි. නිවන් අවබෝධ කරනු කැමැතියන් විසින් පළමුව ශීලයෙහි පිහිටා අනතුරුව සිතත්, ප්‍රඥාවත් වැඩිය යුතු ය.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]