[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශය උතුම් ය

ආදර්ශය උතුම් ය

එදා ලක්දිව කෝරණක විහාරවාසී නමින් මහ තෙරුන් වහන්සේ නමක් පැවිදි වී රුහුණු පුරවරයේ වැඩසිටියා. උන්වහන්සේගේ සොහොයුරියගේ පුතාද තෙරුන් වහන්සේ ළඟ පැවිදි ව වෙනත් ප්‍රදේශයක ඉගෙනීම් කටයුතු කළා.

බොහෝ කාලයක් මේ කුඩා තෙරුන් වහන්සේ තම මවිපියන් දැක තිබුණේ නැහැ. ඒ මවගේ ඉල්ලීමට මහා තෙරුන් වහන්සේ, කුඩා තෙරුන් වහන්සේ රුහුණු පුරයට පිටත් කිරීමට සිතා උන්වහන්සේ වැඩ සිටි ප්‍රදේශය බලා පිටත් වුණා.

ශිෂ්‍ය තෙරුන් වහන්සේ ගුරු හිමියන් බැහැදැකීමට රුහුණ බලා වැඩියා. ගුරු ශිෂ්‍ය දෙන ම මහවැලි ගඟ අසල දී මුණ ගැසුනා. ශිෂ්‍ය තෙරුන් වහන්සේ ගසක් මුල වැඩ සිටි මහ තෙරුන් වහන්සේට වන්දනා කළා.

ඔබගේ මව නිතර ම ඔබ ගැන විමසයි. කලෙකින් නොදුටු බව කියයි.

එනිසා මෙම වස් කාලය ගමට ගොස් එහි වස් වසන්න කියා ශිෂ්‍ය තෙරුන් වහන්සේ රුහුණු පුරයට පිටත් කළා. ඒ තෙරුන් වහන්සේ රුහුණු පුරයේ පිහිටි විහාරස්ථානයට වැඩම කළා. වස් සමාදන් වන දිනයේ ඒ තෙරුන් වහන්සේ ගේ පියා විහාරස්ථානයට පැමිණ භික්ෂූන් වහන්සේලාට වන්දනා කොට පවසා සිටියා.

“ස්වාමින් වහන්ස, මම ඉඩම මායිමේ තාවකාලික කුටියක් ඉදිකළා. මට එහි වස් සමාදන් කරවීමට ලබා දෙන තෙරුන් වහන්සේ කවුද?”

“උපාසකය ඔබට ආගන්තුක භික්ෂුවක් ඒ සඳහා ලබා දෙන්නම්

එම කුටියට තෙරුන් වහන්සේ වැඩම කළා. උපාසකතුමා උන්වහන්සේට වන්දනා කරමින් මෙසේ කියා සිටියා

“ස්වාමීනි මෙම වස් වසන කාලය තුළදී අපට අනුකම්පා කර මාගේ නිවසෙන් පමණක් දන් වළඳන්න. වස් පවාරණය වූ පසු අපට දන්වා පිටත්වන්න. කියා ඉල්ලීමක් කළා .

මව්පියන්ට අනුකම්පා පිණිස ඒ තෙරුන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගත්තා. එදා සිට ඒ උපාසිකාව ප්‍රණීත ආහාර උයා දානය පූජා කරනවා. උන්වහන්සේ පින් අනුමෝදන් කොට පිටත් වෙනවා.

මේ වැඩ වාසය කරන්නේ තමන්ගේ පුත්‍ර රත්නය බව ඒ මහලු මවුපියෝ හඳුනා ගත්තේ නැහැ. වස් අවසානයේ දී යන බව දැන්වූ විට මනාව සැකසූ සිවුරක් ද, උක් සකුරු ද පූජා කර ගත්තා. මවිපියන්ට අනුකම්පාවෙන් අනුමෝදනා බණ වදාළා. ඉන් පිටත්ව නැවත වඩින උන්වහන්සේට ආචාර්යයන් වහන්සේ පෙර ස්ථානයේදී ම හමුවුණා.

ආයුෂ්මතුනි වස් කාලය සුව සේ විසුවද? උපාසිකාවන්ට ධර්මයෙන් අනුග්‍රහ කළා ද?

එසේ ය ස්වාමීනි, සුවසේ වාසය කළා. මව්පියන්ටත් ධර්මයෙන් අනුශාසනා කළා. ස්වාමිනී මාගේ මවුපියන් පූජා කළ මේ සිවුර මම ඔබ වහන්සේට පූජා කරනවා කියා සිවුර පූජා කොට නැවත වැඩ සිටි ගම බලා පිටත් වුණා.

පසුදා මහා තෙරුන් වහන්සේ නැවත වැඩ සිටි රුහුණට වැඩියා. උපාසිකාව මඟ බලාගෙන සිටියේ තම පුත්‍රයා ව උන්වහන්සේ කැඳවාගෙන එන තුරු. නමුත් තනිව එනු දැක කම්පාවට පත්ව

“අනේ ස්වාමීනි, මාගේ පුත්‍රයාට යම් කරදරයක් වත්ද, ඔබ වහන්සේ කැඳවා ගෙන නාවේ මන්ද?” යනුවෙන් මහා හඬින් වැළපෙන්නට පටන් ගත්තා. එවිට තෙරුන් වහන්සේ උපාසිකාව සනසා ඔවුන් දුන් වස්ත්‍රය ද පෙන්වා පවසා සි⁣ටිනවා මේ තුන් මස වස් විසුවේ තමන්ගේ පුත්‍රයා බව.

උපාසිකාව පුත්‍රයාගේ අල්පේච්ඡතාව ගැන පැහැදී පුත්‍රයා වැඩි දෙසට මුණින් වැටී වන්දනා කරමින්

“මාගේ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මය ඒකාන්තයෙන් ම ආරක්ෂා කරයි. උන්වහන්සේ ධර්මය වදාළේ මාගේ පුත්‍ර රත්නය වැනි භික්ෂූන් වහන්සේ අරභයා යි. තුන් මසක් වැඩ වාසය කළ ද තුන්මසක් දානය අනුභව කළ ද, මම පුතා වෙමි. ඔබ මාගේ මෑණියෝ ය” කියා නො පැවසූ මගේ ඒ උතුම් පුත්‍ර රත්නයට නමස්කාර වේවා කියමින් ඈ නමස්කාර කළා.

මහාවිශුද්ධි මාර්ගය ඇසුරිනි.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]