[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුහාමුදුරුවෝ වදාළ ධර්ම මාර්ගයේ අරමුණක් ඇතිව ගමන් කළ යුතුයි

බුදුහාමුදුරුවෝ වදාළ ධර්ම මාර්ගයේ අරමුණක් ඇතිව ගමන් කළ යුතුයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරය, තටාක පාර විවේක සේනාසනය, මිරිහැල්ල සම්බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පරියාප්ති ශාසනසේවා කීර්ති ශ්‍රී සිරි සීලවිමල ධම්මානන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී පටිපත්ති සෝභන මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති දීවෙල මහින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් පිරිපුන් ධර්මවිනයධර බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ඔබ වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ වශයෙන් පි‍්‍රය සම්භාවනීය විශිෂ්ට සේවාවක් සිදුකරනු ලබනවා. මේතරම් සාර්ථක පැවිදි ජීවිතයකට පසුබිම සකස් වුණේ කොහොමද අපේ හාමුදුරුවනේ.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරළයට අයිති රමණීය කඳු වළල්ලකින් වටවුණු ස්වභාව සෞන්දර්යයෙන් අනූන දීවෙල ග්‍රාමයේ දී තමයි මම ජන්මලාභය ලැබුවේ. ඒ 1949 වර්ෂයේ ජුනි මස 13 වැනි දින සහෝදර සහෝදරියන් පස්දෙනකුගෙන් යුතු පවුලේ පස්වෙනියා වශයෙන් මගේ උප්පත්තිය සිදුවුණා. මගේ මව්පියන් බොහොම ගුණගරුක, ශ්‍රද්ධාවන්ත, ගුණවන්ත දෙපළක් නිසාම ඒ සැදැහැවත් මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත් සංසාරයෙන් පුරණ ලද පාරමිතා බල මහිමියේ පුණ්‍ය ශක්තියත් හේතුවෙන් කුඩා කාලයේ සිටම පැවිදිවීමේ ආසාවක් තිබුණා. කෑ/දීවෙල මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ කාල පරිච්ඡේදයේ දී ම පූර්වෝපචිත පුණ්‍ය ශක්තියට අනුව උත්තරීතර පැවිදි ජීවිතයට පත්වීමේ පින්බර අවස්ථාව උදාවුණා. ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කර වසර 100 ක් පිරීම නිමිති කරගෙන කුල දරුවන් 500 ක් පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ දී ප්‍රවීණාචාර්ය කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දීවෙල ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1964 වර්ෂයේ දී දෙසැම්බර් මස 20 වැනි දින දීවෙල මහින්ද යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගත්තා. කෑ/දීවෙල ශී‍්‍ර බෝධිරාජ පරිවේණස්ථානය තුළ වසර 2 ක කාලයක් පැවිදි දිවියට ඇවැසි මූලික බණ දහම් ප්‍රගුණ කර ගැනීමෙන් අනතුරුව කු/ශ්‍රී විජයානන්ද පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රිය ශික්ෂණය ලබා ගත්තා. ඒ වගේම කොළඹ ජේතවන විශ්ව විද්‍යාල පිරිවෙන, කෑ/මහින්දෝදය විද්‍යායතන පිරිවෙන යන දීප්තිමත් පරිවේණාස්ථානයන්හි වැඩ සිටි ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ යටතේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරමින් කුසලතා සහතිකයක් සහිතව උසස් පෙළ විභාගය සමත් වුණා.

මූලික වශයෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය තුළින් පස් අවුරුදු පාඨමාලාවක් හදාරමින් ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන්, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. ප්‍රථිබලසම්පන්න ව්‍යක්ත විශාරද යතීන්ද්‍රයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිපදිමින් චිරාගත සම්ප්‍රදායන් පූර්වාදර්ශකොට ගනිමින් බුද්ධ දේශනාවේ සඳහන් සංඝ සෝභන ගුණයන් වඩාත් වර්ධනය කර ගනිමින් කටයුතු කිරීම නිසා පැවිදි ජිවිතය සාර්ථක කර ගැනීමට හැකි වුණ බවත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ශාසනභාරධාරි මහ තෙරනමක් වශයෙන් කටයුතු කරන ඔබ වහන්සේ සිදුකරන ජාතික ආගමික ශාසනික අධ්‍යාපනික සේවය ඉතා කෙටියෙන් සඳහන් කරනවා නම්, නායක හාමුදුරුවනේ,

නිකායේ පරිපාලන ව්‍යුහයේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සංඝ සභාවයි. 1972 වර්ෂයේ දී කෑගල්ල ප්‍රාදේශීය සංඝ සභාවේ සාමාජිකත්වය ලබාගෙන 1995 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා සංඝ සභාවේ ලේකම් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළා. 2000 වර්ෂයේ සිට දිසාපාලක, 1993 වර්ෂයේ සිට ජෙටියානුවිජ්ජක, 2007 වර්ෂයේ සිට කාරක සභික, පටිපත්ති සංවර්ධන සභාවේ ලේඛකාධිකාරි වශයෙන් විවිධ වගකීම් දරමින් ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටි කාල පරිච්ඡේදයේ දී ම 2018 වර්ෂයේ අතිපූජ්‍ය අනුනායක ධුරයට පත්කර ගැනීමටත් ශි‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාවේ අනුමැතියෙන් “සිරි සීලවිමල ධම්මානන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී පටිපත්ති සෝභන”

යන ගෞරව නාමයෙන් සම්භාවනාවට පාත්‍රකිරීමටත් කටයුතු කළා.

නිකායේ කටයුතු වෙනුවෙන් සිදුකළ සේවය වගේම ධර්ම ශාස්ත්‍රීය සේවය සිදුකරමින් සෑම අවස්ථාවක දී ම උතුම් සම්මාසම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිස විශාල කාර්යභාරයක් සිදුකරගෙන ගිය බවත් සිහිපත් කිරීම වැදගත්. ඒ අනුව කෑ/දීවෙල බෝධිරාජ පිරිවෙන, කු / වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පිරිවෙන, කෑ / විද්‍යාමංගල පිරිවෙන යන දීප්තිමත් පරිවේණාස්ථානවල පරිවේණාචාර්යවරයකු වශයෙන් සේවය කළ කාලය තුළ 1987 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යංශයේ පාඨමාලා සම්පාදකවරයකු වශයෙන් සේවයට බැඳුණා. අනතුරුව පිරිවෙන් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් කළුතර, ඌව පළාත්වලින් කුරුණෑගල ගාල්ල යන දිස්ත්‍රික්කවලත් පිරිවෙන් අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කළා.

1992 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ වෙමින් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි කළා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ රැඳී සිටිමින්, ඌව සබරගමුව, දකුණ, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරමින් අවසානයේ දී ජාතික පිරිවෙන් උපදේශක ලෙස 2009 වර්ෂයේ දී විශ්‍රාම ගන්නා තෙක් ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි නියැළුණා. ඒ ඒ පරිවේණාස්ථානවල වැඩ සිටි සර්වභෞම පාණ්ඩිත්‍යයෙන් සංඝ සෝභන ගුණාංගයන්ගෙන් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේලාගේ නොමද සහයෝගයෙන් ශික්ෂාකාමී සඟ පරපුරක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමට කටයුතු කළා. එම ශාසනික සේවාව ඇගයීමට පාත්‍ර කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශ්‍රී පරියාප්ති ශාසන සේවා කීර්ති ශ්‍රී යන ගෞරව නාමය පිරිනැමීමට කටයුතු කළා.

සමාජසේවා හැකි ආකාරයෙන් සිදුකළා. ඔලගන්කන්ද ජල යෝජන ක්‍රමය යටතේ ආසියානු සංවර්ධන බැංකු ආධාර හරහා ගමට වතුර ටැංකි ලබා ගැනීමට කටයුතු කළා. ඒ තුළින් ඔලගන්කන්ද ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින අවට ගම්වලටත් සහනයක් ලබා ගැනීමට හැකිවුණා. වැසී තිබුණ ඔලගන්කන්ද ප්‍රාථමික විද්‍යාලය නැවත ආරම්භ කිරීමට මුල් වුණා. වර්තමානය වන විට ඔලගන්කන්ද පාසල ප්‍රදේශයේ ජනපි‍්‍රය පාසල බවට පත්වී තිබෙනවා. සුචරිතවත් දරු පිරිසක් නිර්මාණය කර ගැනීම උදෙසා කෑ/ධර්මවිජය දහම් පාසල සංවර්ධනයට කටයුතු කළා. ප්‍රදේශයට විදුලිබලය දුරකතන පහසුකම් ලබා ගැනීමටත්, ප්‍රදේශයේ පාරවල් කාපට් අතුරමින් වැඩි දියුණු කර ගැනීමටත් කටයුතු කරන අතරතුර ගමේ සියලුම සංවිධානවල අනුශාසකත්වය දරමින් අවශ්‍ය අනුශාසනා ලබා දෙමින් ප්‍රදේශයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කර ගෙන යනවා.

විචක්ෂණ බුද්ධියෙන් පරිණත අද්දැකීම්වලින් පිරිපුන් සුපේශල ශික්ෂාකාමී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් හැදෙන වැඩෙන අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ අනුශාසනාවක් ද?

බුදුරජාණන් වහන්සේ තමයි අපේ ශාස්තෘවරයාණන් වහන්සේ. බුදුහාමුදුරුවන් අනුදැන වදාළ ප්‍රතිපත්ති මාර්ගය අපි අනුගමනය කරගෙන යනවානම්, බොහොම වාසනාවන්ත පැවිදි ජීවිතයක් බවට පත්කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ගතයි සිතයි දෙකම පැවිදි කරගෙන බුදුහාමුදුරුවෝ වදාළ ධර්ම මාර්ගයේ අරමුණක් ඇතිව ගමන් කරනවා නම් ප්‍රශ්නවලට, ගැටලුවලට අපේ භික්ෂූන් වහන්සේ ට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]