[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා 77 කොටස:

දුටුගැමුණු මහ රජතුමා 77 කොටස:

ගැමුණු බලකාය විජිතපුරට පැමිණි පසුව පෙරළියක් සිදුවේවි

“එළාර රජුට විරුද්ධ දෙමළ මිනිසුන් ඕනෑතරම් සිටිනවා. දෙමළ නොවන ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මෙහි ඉන්නවා. ඒ හැමෝම මේ රටේ සංස්කෘතිය, භාෂාව පිළිඅරගෙන රටට ආදරය කරමින් මෙහි ජීවත් වන අය. සිංහලයන් සමඟ සමඟියෙන්, සහයෝගයෙන් ජීවත්වෙන ඒ අය එළාර රජුගේ පරාජය බලාපොරොත්තු වෙනවා. එම පිරිසත් හඳුනාගෙන ඉදිරියට යන්නට ඕනෑ”

කුණ්ඩල බ්‍රාහ්මණතුමාගේ කතාවට සවන් දෙමින් සිටි තිදෙනාට ලජ්ජාවක් ඇති වූයේ තමන් වෙසෙන රට ගැන දත යුතු මෙබඳු කරුණු කෙරෙහි මෙතෙක් අවධානයක් යොමු නොකළ බැවිනි.

අමිතා, රිදී තැටියක තබාගත් ඔසු පැන් බඳුන් හතරක් ගෙන පැමිණියා ය. ඔසු පැන් සුවඳ ශාලාව පුරාම පැතිරිණි. පොල්පලා සහ හාතාවාරිය එකට තම්බා පෙරා ගත් ඔසු පැන් පොල් හකුරුත් සමඟ බීමට පියා කැමැති බව අමිතා දනී. අනෙක් අයගේ කැමැත්ත ගැන නොදත් ඇය “අවශ්‍ය නම් කොත්තමල්ලිත් තල් හකුරුත් ගෙන ආ හැකියි” කීවා ය.

“නැහැ දියණිය. අවශ්‍ය නැහැ. මේ වෙලාවට මේ ඔසුපැන් හොඳ බීමක් “කුණ්ඩල බ්‍රාහ්මණතුමා ස්තූති මුඛයෙන් පැවසීය.

“අමිතාත් ළඟ තිබෙන අසුනක වාඩිවෙන්න. රහසිගතව යුද්ධයට සූදානම් වන අනුරාධපුර තරුණ කාන්තාවන්ගේ නායිකාව ඇයයි. ඇය ප්‍රමුඛ තරුණියන් පනස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යුද්ධයට අදාළ ශිල්ප පුහුණු වෙනවා.”

“මහ සිටුතුමනි, මම මුලදීම කීවාක් මෙන් අපි බොහෝ ශක්තිමත්. මේ යුද්ධයෙන් දුටුගැමුණු රජතුමා ජයග්‍රහණය කරනවා ස්ථිරයි. හැබැයි ප්‍රමාද වේවි. විජිතපුර බලකොටුව ජය ගන්නට කාලයක් ගත වේවි. මහියංගන බලකොටුවේ අධිපති ඡත්‍ර, යුද්ධ වීරයෙක්.”

“ඒ කොහොම වුණත් දුටුගැමුණු පිලේ මුලින්ම ඉන්නේ මේ රටේ ජනතාවගේ වීර මාතාව. ඇය රණකාමියි. දුර දක්නා නුවණින් යුක්තයි. එළාර රජු කියන විදියට මහම කපටි අම්මණ්ඩි,

දුටුගැමුණු රජතුමාට උපදෙස් දෙන්නේ දාව ආචාර්ය තුමා. එතුමා මහා බුද්ධිමතෙක්. මහා පඬිවරයෙක් වන ත්‍රිපිටකතිස්ස මහ තෙරුන් වහන්සේ තුන්කල් දක්නා ඉසිවරයෙක්.

මහාසිව මහාස්වාමීන් වහන්සේත් පරසිත් දන්නා මහා පඬිවරයෙක්. උන්වහන්සේලා ළඟ හෝ දුරක සිට කරන ආශිර්වාදය ජයග්‍රහණයට හේතු වේවි. ජයග්‍රහණය දකින විට දෙපිලේ ම සිංහල සෙබළුන්ගේ උනන්දුව වැඩි වේවි.

“මහා ලේ වැගිරීමක් තමයි. ඒත් සිංහලයන්ට තමන්ගේ රට පරසතුරන්ගෙන් විනාශ වෙනවා බලා ඉන්නට පුළුවන් ද?

“යුද්ධ මණ්ඩල රැස්වීමට කලින් තබන, මහ සෙනෙවිවරුන්ගේ සාකච්ඡාවක් හෙට යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ දී රජතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. රාජ සභාවේ දී ගත් තීරණ වෙනස් නොකර තබා ගන්නට හැකි වුවහොත් ගැමුණු පිලට වාසි රැසක් අත්පත් කර ගත හැකියි” සිරිනාග කීය.

“සිරිනාග රහස් ඔත්තු සේවයේ යෙදෙමින් ඔවුන්ගේ සිත දිනාගෙන ඉන්න. ඔවුන්ගේ සැලසුම් අවාසි සහගත වන තැන් ගැන සැලකිල්ලෙන්් ඉන්න. කෙසේ වුවත් විජිතපුර බලකොටුවට ගැමුණු පිරිස ළං වෙන විට කිසියම් පෙරළියක් සිදුවේවි.”

කුණ්ඩල බ්‍රාහ්මණ තුමා ද ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේ මෙන් නිවැරැදිව අනාවැකි කියන්නකු බව සිරිනාගට වැටහිණි. ඒවා බොහෝ නිවැරැදි විය හැකි බව ඔහුට සිතිණි.

තවත් හෝරා දෙකක් පමණ යුද්ධය, රාජ්‍ය පාලනය, වෙළඳාම, කෘෂිකර්මය ගැන කතා කරමින් සිටි කුණ්ඩල බ්‍රාහ්මණ තුමා කාගේත් ආචාර මැද ගොස් අස්රියට නැඟුණේ ය.

මිත්‍ර මහ සෙනෙවිගේ මන්දිරය දැන් සිරිනාග මහ සෙනෙවිගේ නිල නිවාසයයි. අත්‍යවශ්‍ය කරුණක දී එහි යනු මිස මොහොතක් හෝ එහි රැඳී සිටින්නට බෝධිනාගගේ කැමැත්තක් නැත.

තම පියා වූ අසේල රජුගේ සතුරකු බව දැන දැනම එළාර රජුගේ සෙනවියකු ලෙස සේවය කරන්නට කැමති වීමෙන් ආත්මාර්ථකාමියකු බව ප්‍රකට විය. දේශ ද්‍රෝහියකු විය. මේ නිසා මිනිසුන් ඔහු දෙස බැලුවේ පිළිකුලෙනි.

ධන තණ්හාවෙන්, බල ලෝභයෙන් පිරී ගිය ඔහු රාජ්‍ය බලය යොදාගෙන අයුතු වැඩ රාශියක් කළේ ය. සමන්තී කෙරෙහි දැක්වූ ආදරය ද ව්‍යාජ බොරුවක් බව මිත්‍රගේ චරිතය පිළිබඳ කල්පනා කිරීමේ දී බෝධිනාගට වැටහිණි.

විමලී විනාශ කිරීම ට සමාව දිය නොහැකි කරුණක් වුව ද ඔහුගෙන් පලිගැනීමෙන් වැළකී සිටියේ ඇයගේ ඉල්ලීම නිසා ය. විමලී වෙනුවෙන් තම සිතෙහි හටගත් ආදරය තවමත් මැකී ගොස් නැත. ඇය වෙනුවෙන් සිරිනාගට ආදරය කළ යුතු ය. රැක ගත යුතු ය. යන හැඟීම නිසා බෝධිනාග ඔහු වෙනුවෙන් වෙහෙසෙයි.

ජයනාථ මහ සිටුතුමාගේ දියණිය අමිතා, සිරිනාග කෙරෙහි පිළිබඳ සිත් ඇතිව පෙමින් සිටිති'යි බෝධිනාගට හැඟී ගොස් තිබිණි. කෙසේ හෝ දෙපැත්තේ ම කැමැත්තෙන් එම විවාහය සම්මත වීම ඔහුගේ සතුටට හේතු විය.

“පියාණෙනි අද මෙහි නවතින්න. හෙට පෙරවරුවේ මා වෙනුවෙන් කළ යුතු රහසිගත රාජකාරියක් තිබෙනවා.”

සිරිනාගගේ පෙරැත්තය නිසා ඔහු එදා රැය එහි ගත කළේ ය.

පසුදා අලුයම අවදි වී ගෙඋයනේ සක්මන් කරමින් සිටි බෝධිනාග තාප්පය අසල වූ මිරිවැඩි සඟල හඳුනා ගත්තේ ය. එතැන තාප්පයට හේත්තු කළ ලෑල්ලක් ද විය. ඔහුට එක්වරම සිහිවූයේ සුමන මහ සිටුතුමාගේ මරණයත් සමඟ සිදුවූ සිටු මැදුරේ වස්තුව කොල්ල කෑම ගැනයි. මේ මැදුරේ මොන මොන දේවල් ඇද්දැයි සොයා බලන සිතක් බෝධිනාගට ඇති විය.

උදය ආහාර ගනිමින් සිරිනාග කතා කළේ ජයනාථ මහ සිටුතුමාගේ කැපවීම ගැන ය.

“සුමන මහ සිටුතුමාගේ ගතිගුණ ජයනාථ මහ සිටුතුමාටත් තියෙනවා. සිටු දේවියත්, සිටුකුමරියත්, නිහතමානියි. පරාර්ථකාමියි. ඒ නිසාමයි මම ගොවිතැන් භාරව කටයුතු කළේ” සිරිනාගගේ අදහස බෝධිනාග ද අනුමත කළේ ය.

නිකිණි අව අටවක

 අගෝස්තු 26 සිකුරාදා අපරභාග 12.23 අමාවක ලබා 27 සෙනසුරාදා අපරභාග 01.46 ගෙවේ.
26 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]