අනුන්ට උපකාර කරන අයට සොබාදහමත් රැකවරණය දෙනවා
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
පෙර ලංකාද්වීපයේ පිහිටා තිබුණා දණ්ඩගෝණ නම් ගමක් කුඹුරු, වැව්, පොකුණු, අමුණු
ආදියත්, මහා වනාන්තරයකුත් මේ ගම අලංකාර කළා. ගම් වැසියන් ජීවත්වීමට කළේ කුඹුරු
ගොවිතැන, හේන් ගොවිතැන් සහ ගවපාලනය ආදිය යි.
මීකිරි විකුණා තම අඹුදරුවන් රක්ෂා කරන ගොපල්ලෙක් හිටියා. කඩිසර ගතියෙන් වගේම කරුණාව
පිරුණු හදවතකින් ද යුක්ත අයෙක්. බිරිඳටත්, දරුවන්ටත්, නෑදෑයන්ටත්, අසල්වැසියන්ටත්,
හිතවතුන්ටත් උදව් උපකාර කරමින්, දුකේ දී පිහිට වෙමින් ධර්මානුකූල ජීවිතයක් ගත කළා.
කිසිම වංචාවක් කළේ නෑ.
සත්‍ය වචන කතා කළා. කියන දේ කළා. මේ ගොපල්ලා දවසක් වෙනදා වගේ ම බිරිඳ උයාදුන් කෑම
පාර්සලයත් අරගෙන ගවයන්ට තණ කැවීමට මහා වනයට ඇතුළු වුණා.
මේ කැලයේ ජීවත් වුණා කාණසිගාල කියන සිවලෙක්, ගමේ මිනිස්සු ඌ දකින විට කතා කරන්නේ.
‘කාණසිගාල’ කියලා. එක ඇසක් අන්ධ වෙලා තිබුණ නිසා මේ නම පටබැඳිලා තිබුණා.
දවසක් මේ සිවලාට හොඳට ම බඩගිනි හැදිලා ගොදුරු හොයා ගිහින්. කෑමට කිසිම දෙයක්
හමුවෙලා නෑ. ඌට බඩගින්න ඉවසා ගන්න ම බැරි වෙලා. මෙහෙම ඉන්න සිවලාට දකින්න ලැබිලා
ඉත්තෑවෙක්. උගේ මස් ටිකක් හරි ගන්නට උත්සාහ ගන්න ඕන කියලා හිතලා ඌ අල්ලා ගන්නට
ගිහින් ඉත්තෑවා තමාගේ ශරීරය සොලවලා එයින් ඉත්තෑ කූරු සතුරාට එරෙහිව පිටට විදලා.
සිවලාගේ එක් ඇහැක එකක් වැදිලා උගේ ඇහැක් අන්ධ වෙලා'යි කියමින් කාණසිගාලයාගේ ඇහැ
අන්ධවීමට හේතුවත් ගමේ මිනිසුන් කියන්න පටන්ගෙන තිබුණා.
කුඩා දරුවන් පවා මේ කතාව හොඳින් දැනගෙන හිටියා. මොහුත් කෑම හොයමින් මහ වනයේ
ඇවිදිමින් සිටියා. ලොකු පිපාසයක් දැනිලා වැවෙන් වතුර බී එමින් සිටියා. එක් ඇහැක්
අන්ධ නිසා පෙනීම තරමක් දුර්වලයි. සතුරකුගේ ප්‍රහාරයකට ලක්වීමට ඇති අවස්ථාවත්
වැඩියි. කාණසිගාලයා මෙහෙම යන මාර්ගය අසල සැඟවී ගොදුරු සොයමින් සිටි පිඹුරෙක් දරණ
වැලෙන් ඌ වෙළාගත්තා. ගැලවීමට කොපමණ උත්සාහ කළත්, ප්‍රයෝජනයක් වුණේ නෑ. මොහොතින්
මොහොත මරණයට ළං වෙමින් සිටියා.
මහකැලෑවට ගිය ගොපල්ලා ගවයින්ට තණ කොළ කවා දහවල් සමයේ ඔවුන්ට ජලය දීම කළ යුතු නිසා
වැවට ගෙන එමින් සිටියා. පිඹුරෙක් කාණසිගාලව දරණවැලින් ඔතාගෙන ගොදුරු කරගෙන ඉන්න
හැටිත්, ඌ වේදනාවෙන් කෑ ගසන හැටිත් දකින්න ලැබුණා. වහාම අතෙහි තිබුණු පිහියෙන්
ලීදණ්ඩක් කපාගෙන පිඹුරාට ගසා සිවලා බේරා ගත්තා. එහෙත් අවාසනාවකට මෙන් සිවලා
දරණවැලින් අතහරිනවාත් සමඟ ගොපල්ලාව වෙළා ගත්තා. දැන් සිවලා නිදහස්, ගොපල්ලා පිඹුරාට
අසුවෙලා.
සිවලා මෙහෙම කල්පනා කළා . මම නිදහස් වුණා. දැන් මට මෙතැනින් පැන යන්න පුළුවන්. ඒත්
මට පැනයන්න මගේ ජීවිතය මට නැවතත් ලබා දුන්නේ මේ මිනිසා. මට කළ උපකාරයට මාත් උපකාර
කරන්න ඕන. යැයි හිතලා පිඹුරාගේ ඇඟ මතට වැදිලා ඒ ඒ තැන කඩා කමින්, කෑ ගසා බිය
ගන්වමින් ගොපල්ලා නිදහස් කර ගන්න උත්සාහ ගත්තා.
පුංචි ශරීරයක් තිබුණු ඔහුට පිඹුරාගේ ශක්තියත් සමඟ ගැටෙන්න බැරි වුණා. කළ යුතු දෙයක්
නැතිව ගියා. ඔහු තමාට කරන්න බැරි කටයුත්ත වෙනත් කෙනකු ලවා හෝ කරවා ගොපල්ලා නිදහස්
කර ගන්න හිතුවා. අසල කුඹුරු යායක මිනිසුන් සී සෑම්, වී වැපිරීම් කරන බව දුටුවා.
නොපමාව ඌ කුඹුරකට ගොස් ගොවියන්ගේ ඇඳුම්, කෑම් බීම් තබා තිබුණු තැනකට වැදී මිනිසුන්ට
පෙනෙන අයුරින් කෑ ගසා ඇඳුමක් අරගෙන කැලෑව දෙසට දුවන්න පටන් ගත්තා. ගොවියොත් මහ
හඩින් කෑ ගසා ඌ බිය ගන්වා ඒවා ගැනීමට උත්සාහ කළත් බැරි වුණා. ගල්මුගුරු ගෙන ඌ පස්සේ
එළවන්න පටන් ගත්තා. එයිනුත් සිවලා බියට පත් නොවී වස්ත්‍ර අරගෙන ගොපල්ලා සිටි තැනට ම
දිව ගොස් ඒ ස්ථානයේ දමා සැඟවී බලා සිටියා. ගොවියන් ඇවිත් බලන විට සිදු වී ඇති විපත
දැක්කා. වහාම සියලු දෙනා එකතුවී පිඹුරාගෙන් ගොපල්ලා මුදවාගෙන ගමට ගියා. සිවලාට වුණු
විපතත්, ගොපල්ලාට වුණු විපතත් ගම පුරාම ප්‍රසිද්ධ වුණා.
කාණසිවලාට ලොකු ගෞරවයක් දක්වන්න ගොපල්ලාත්, ගමේ මිනිස්සුත් පුරුදු වුණා. ගොපල්ලාගේ
සහ කාණසිවලාගේ මිතුරුකම දිනෙන් දින වර්ධනය වුණා. එයට හේතුව වුණේ දෙදෙනා ම මහ වනයේ
දී හමුවන නිසා. තිරිසනුන් පවා උපකාර කළ අයට උපකාර කරන බව මේ කතා පුවතින් පෙන්වා
දෙනවා.
සත්ව ලෝකයේ මෙවැනි සිදුවීම් අපමණ ව සිදු වෙනවා. මනුෂ්‍ය ලෝකයේත් උපකාර කළ අයට උපකාර
කිරීමේ පුවත් හමුවෙනවා. එහෙත් වර්තමාන සමාජයේ එවැනි සිදුවීම් හමුවන්නේ කළාතුරකින්.
ආත්මාර්ථය මතුවී පරාර්ථකාමි බව නැතිවී යාම මෙයට හේතුවයි.
යමෙක් තමාට උපකාර කළ මිතුරා සමීපයේ නො සිටියත් බොහෝ කල් නොදැක්කත්, මාගේ මිතුරා
නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා කියා මෛත්‍රී කිරීම හෝ කරන්නේ නම් එයත්
ප්‍රත්‍යුපකාර ගණයට අයත් වෙනවා. එවැනි පුද්ගලයින්ගේ කීර්තිය දිනෙන් දින පැතිර යනවා.
මිනිසුන්ට සහ දෙවියන්ට ප්‍රිය වෙනවා. මේ නිසා ම බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද
සූත්‍රයේ දී උපකාරක, අත්ථක්ඛායී, සමාන සුඛදුක්ඛ, අනුකම්පක යන හොඳ මිතුරන් ඇසුරු
කිරීමටත්, අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපාය සහාය යන මිත්‍ර ප්‍රතිරූපකයින්
ඇසුරු නො කිරීමටත් ධර්මාවවාද ලබා දී තිබෙනවා.
සමස්ත සමාජය ම සතුටින් ජීවත්වීමට නම් හොඳ මිතුරන් වගේ ම කෘතගුණ හඳුනන මිනිසුන්
තැනිය යුතු වෙනවා. එහි වගකීම් ඇත්තේ අද දවසේ වැඩිහිටි පරපුර නියෝජනය කරන පිරිසට යි.
එසේ නොවන විට ධනය, තනතුරු, උගත්කම්, කුලය, උසස් පහත්, මධ්‍යම බව ආදිය හේතු කරගෙන
කිසිකෙනෙක් අන් අය ගැන නොතකා අහංකාරයෙන් ජීවත්වීමට පටන් ගන්නවා. එවැනි අයට දුකක්,
කරදරයක් පැමිණියා ම වචනයකින්වත් සිත් සැනසීමට හෝ කෙනකු නැති වෙනවා. තමා තමාට ම දොස්
පවරා ගන්නවා, කම්පාවට පත් වෙනවා. ජීවිත හානි පවා සිදු කර ගන්නවා. එම තත්ත්වයට පත්
නොවීමට නම් ප්‍රත්‍යුපකාර ගුණය රකිමින් මිතුරුදම් පවත්වා ගැනීම වැදගත් වෙනවා.
මිතුරුකම් පැවැත්වීමට හෝ කෘතගුණ සැලකීම්වලට ආගම, ජාතිය, ස්ත්‍රී පුරුෂ භේදය,
ප්‍රදේශය හෝ රට, එසේ නොවේ නම් වෙනත් විවිධ ගැළපීම් බාධාවක් කර ගන්න එපා. |