[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා සමිඳුට පූජෝපහාර පිදෙන ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර

දළදා සමිඳුට පූජෝපහාර පිදෙන ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර

ක්‍රි.ව. 311 දී එනම් අනුරාධපුර රාජධානි සමයේ දී ලක්දිව රජ පැමිණි කීර්ති ශ්‍රී මේඝවර්ණ මහරජතුමන්ගේ රාජ්‍යත්වයෙන් නවවැනි වර්ෂයේ දී දඹදිව කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ බෑණනුවන් වූ දන්ත කුමරු විසින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ ලංකා ද්වීපයට වැඩම කරවන ලදී.

පන්සාළිස් වසක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් යුතු ව දේශනාකොට වදාළ සුවාසූ දහසක් වූ නිර්මල ධර්මස්කන්ධයෙහි පහස ලැබූ ඒ උතුම් දළදා වහන්සේ එකී කිත්සිරිමෙවන් මහරජු විසින් අපමණ ප්‍රීතිප්‍රමෝදයෙන් යුතු ව පිළිගනිමින් මහ පෙරහරින් රාජ මාළිගයට වැඩමවා විචිත්‍ර වූ ස්වර්ණමය කරඬුවක වඩා හිඳුවා මහත් වූ පුද පූජා පවත්වන ලදි. එපමණක් ද නොව එතුමන් විසින් එතැන් පටන් ලක්දිව රාජ්‍යත්වයට පත් වන සෑම පාලකයකු විසින් ම ශ්‍රී දළදා වහන්සේට සිදුකළ යුතු පුද සත්කාර නොකඩවා නිසි අයුරින් පවත්වා ගෙන යා යුතු බවට රාජ නියෝගයක් ද පනවන ලදි.

එතැන් සිට ලක්දිව රාජ්‍යත්වයට පත්වූ දෙවන ජෙට්ඨතිස්ස, බුද්ධදාස, දෙවන උපතිස්ස ආදී මහ රජවරු දළදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුද පූජා පැවැත්වීම තම පරම යුතුකම සේ සලකා නොයෙක් අයුරින් විවිධ පුද පූජාවන් මහත් භක්තියෙන් යුතු ව සිදුකළ බව දළදා වහන්සේගේ ඉතිහාසය විස්තර කරමින් පොළොන්නරු යුගයේ දී සම්පාදිත දාඨාවංසයෙහි දැක් වේ.

මේ අයුරින් ලාංකේය බෞද්ධ ජනයා විසින් අපමණ භක්ත්‍යාදරයෙන් යුතු ව දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකමින් විවිධ පුද පූජා පවත්වන්නට වූහ. කල් යාමේ දී මෙරට රාජ්‍යත්වයේ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වූහ. එ සමයෙහි දළදා වහන්සේ යම් පුද්ගලයකු සතු වී ද හෙතෙම, මෙරට පාලකයා ලෙස පිළිගැනීමට රටවැසියෝ උත්සුක වූ හ.

අනුරාධපුර යුගයේ සිට සිදුවූ රාජධානි ව්‍යාප්තියත් සමඟ දළදා වහන්සේ ද ක්‍රමක්‍රමයෙන් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව. කුරුණෑගල. ගම්පොළ හා කෝට්ටේ ආදී රාජධානිවලට වැඩම වූහ. අතීත රජ දරුවන් විසින් අලංකාර දළදා මන්දිර ඉදිකර ඒවාහි මහත් ගෞරවයෙන් දළදා වහන්සේ වඩාහිඳුවා පුදසත්කාර පවත්වන ලදී.

එසේ ම විවිධ කාලවකවානුවල දී පරසතුරු ආක්‍රමණයන්ට රාජ්‍යය නතු වූ අවස්ථාවන්හි දී ශාසන මාමක මහ තෙරවරුන් වහන්සේ හා රාජරාජ මහා මාත්‍යාදීහු තම දිවි දෙවැනි කොට මහත් පරිශ්‍රමයක් දරා දළදා වහන්සේ ආරක්ෂා කළහ.

සෙංකඩගල තම රාජධානිය කර ගනිමින් ක්‍රි.ව. 1592 දී ලක්දිව රාජ්‍යත්වයට පත් පළමු වැනි විමලධර්මසූරිය මහ රජතුමන් විසින් පන්සාළිස් වසක් පුරාවට කුරුවිට දෙල්ගමු විහාරයෙහි කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහ පෙරහරින් මහනුවරට වැඩමවීය. විචිත්‍ර වූ දෙමහල් දළදා මන්දිරයක් ඉදිකරවා ස්වර්ණමය කරඬුවක වඩාහිඳුවා පෙර රජ දරුවන් සේ ම දළදා වහන්සේ උදෙසා සිදු කළ යුතු සියලු පුද පූජාවන් නිසි අයුරින් නොකඩවා පැවැත්වීම ආරම්භ කරන ලදී. එතැන් සිට මහනුවර රාජධානියෙහි අවසානය දක්වා රාජ්‍යත්වයට පත් වූ සියලු රජ දරුවෝ තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ ආරක්ෂා කළහ.

මෙලෙස ශ්‍රී දළදා වහන්සේ උදෙසා අතීතයෙහි සිට පවත්වා ගෙන එනු ලබන විවිධ වූ පුද පූජාවන් අතර සාම්ප්‍රදායික සතර මංගල්‍යයට අයත් වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ප්‍රධාන වේ.

මෙකී ඇසළ මංගල්‍යය හෙවත් වත්මන් දළදා පෙරහරෙහි ආරම්භය අනුරාධපුර රාජධානි සමයේ සිට ම සිදුවූවක් බව මහාවංසය හා චීන දේශගවේෂක පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ.

කිත්සිරිමෙවන් මහ රජු දළදා වහන්සේ ලැබීමෙන් අපමණ ප්‍රීතියට පත් ව විසිතුරු පුද පෙරහරක් පවත්වා තම අසීමිත භක්ති ප්‍රණාමය දැක්වූ අතර වසරක් පාසා නොකඩවා පෙරහර පැවැත්වීමට නියම කළ බව ද ඉතිහාසයෙහි දැක්වේ.

පොළොන්නරු රාජධානි සමයෙහි දී මහා පරාක්‍රමබාහු මහ රජතුමන් මනහර වූ දළදා පෙරහරක් වාර්ෂික ව පැවැත්වූ බවත් සඳහන්ය. දඹදෙණි, කුරුණෑගල ආදී යුගයන්හි මඟතොට සුදුවැලි අතුරා. නගරය දෙව් විමනක් සේ සරසා, ධජ පතාකාදියෙන් වීථි අලංකාර කොට, තොරන් බැඳ, විචිත්‍ර නැටුම් ගැයුම් සහිත මනහර වූ පෙරහරක රජතුමා හා මැති ඇමති පිරිවර දළදා වහන්සේ වැඩම කරවූ බව වංශ කථා සාහිත්‍යයෙහි දැක්වේ.

සීතාවක රාජධානි සමයෙහි සිට මහනුවර රාජධානි සමය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ විටින් විට ඇතිවූ පරසතුරු ආක්‍රමණ, අභ්‍යන්තර දේශපාලන අර්බුධ හා ඇතැම් රාජ්‍ය පාලකයන්ගේ ශාසන විරෝධී ක්‍රියා පිළිවෙත් නිසා ලාංකේය සම්බුද්ධ ශාසනය අතිශය පරිහානියට පත්වූ බව නොරහසකි.

දහඅට වැනි සියවස මැද භාගය තුළ පහළ වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා ම අපමණ දුක් කම්කටොලු හා බාධක මැද වුව ද මෙලෙස පිරිහී ගිය ලක් බුදුසසුන නැවත ප්‍රකෘතිමත් කොට සුරක්ෂිත කිරීමට හැකි වූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ.

දළදා වහන්සේ උදෙසා අතීතයෙහි පටන් සිදු කෙරුණු දළදා පෙරහර මංගල්‍යය ද මේ සමය වන විට දෙවියන් උදෙසා පැවැත්වෙන දිව්‍ය පූජෝත්සවයකට සීමා වී තිබිණ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමය වන විට යට කී දළදා පෙරහර පැවැත්වීම වෙනුවට ඇසළ මාසයේ දී සිව්දේවාලයන්හි දේව පෙරහර පැවැත්වීම චාරිත්‍රයක් විය. එ සමයෙහි හුදෙක් ඇසළ මංගල්‍යය ලෙස හඳුන්වනු ලැබුවේ මෙකී දේව පූජෝපහාරය පමණකි. මෙහි ඇති අනුචිත බව මැනවින් වටහාගත් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩම කළ ප්‍රවර උපාලි මාහිමියන් සමඟ ද සාකච්ඡා කොට කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් හට ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි දළදා පෙරහර මංගල්‍යය පැවැත්වීමෙහි වටිනාකම පැහැදිලි කොට දළදා පෙරහර පැවැත්වීම සඳහා අනුශාසනා ලබා දුන්හ.

එතැන් පටන් වත්මන් දළදා පෙරහර පැවැත්වෙන ආකාරයට දළදා මාළිගයේ පෙරහර පළමුවත්, සිව් දේවාලයන්හි පෙරහර ඉන් අනතුරුවත් වීථි සංචාරය කෙරෙන අයුරින් පෙරහර සකස් කරවූහ.

අතීතයෙහි “ඇසළ කෙළිය” නමින් හැඳීන් වූ මෙම ඇසළ මංගල්‍යය විෂ්ණු දෙවියන්ගේ උපත සැමරීම උදෙසා සිදු කරන ලද්දක් බවත් එය දෙවියන් උපත ලද ඇසළ මස නව සඳ දිනයේ දී ආරම්භ කොට දෙවියන් විසින් අසුරයින් පැරදවීම අරමුණු කොට දින ගණනක් මුළුල්ලෙහි පැවැත් වූ බවත් වෙල්ලස්සේ මහදිසාව විසින් ඒ සම්බන්ධ ව වර්ෂ 1817 දී සිදු කර ඇති ඉපැරැණි විස්තරයක දක්වා තිබේ.

එහෙත් මෙකී ඇසළ මංගල්‍යය දළදා පූජෝපහාරයකට පරිවර්තනය වූ දා පටන් සම්පූර්ණ බෞද්ධ මුහුණුවරකින් යුතු ව ක්‍රියාත්මක වේ.

මහනුවර ඇසළ මංගල්‍යය කුඹල් පෙරහර පහකින් හා රන්දෝලි පෙරහර පහකින් සමන්විත වන අතර, පස්දිනක් මුළුල්ලෙහි මෙකී කුඹල් පෙරහර පැවැත්වේ. ඇසළ පෙරහර මංගල්‍යය සඳහා ශ්‍රී දළදා මාළිගයෙහි සහභාගිත්වය සිදුවන්නේ කුඹල් පෙරහරේ සිට ය.

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර කරඬුව සහිත මංගල හස්තිරාජයා සුභ මොහොතින් මාළිගාවේ සඳගල මත පාතැබීමෙන් අරම්භ වන ශ්‍රී දළදා පෙරහර, සිව් දේවාල පෙරහර ද සමඟ මහනුවර වීථි පුරා වීථිසංචාරය කෙරේ. කුඹල් පෙරහර ඉතා චාම් හා සරල වූවකි. කුඹල් පෙරහර පහ පැවැත්වීමෙන් අනතුරු ව පසු දින පටන් රන්දෝලි පෙරහර ආරම්භ වේ. එදින අලුයම සිව්මහා දේවාලයන්හි සුභ මොහොතින් රන්දෝලි බෑමේ චාරිත්‍රය සිදුකිරීමෙන් අනතුරු ව එම රාත්‍රියෙහි පටන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරේ.

කුඹල් පෙරහරට වඩා ඉතා විචිත්‍ර වූ රන්දෝලි පෙරහර එකිනෙකට වෙනස් විවිධ වූ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වූ අති දර්ශනීය වූවකි. මෙකී පෙරහර මංගල්‍යය තුළ ශ්‍රී දළදා වහන්සේ වෙනුවට උතුම් වූ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් රාජකීය පෙරහර කරඬුව, ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන සියලු ගෞරව පුදසත්කාර සහිත ව දෑලේ ඇතුන් පිරිවරා මංගල හස්තිරාජයා මතින් වැඩමවනු ලබයි.

වර්තමානයේ මෙම මහා සංස්කෘතික මංගල්‍යය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගෞරවාර්හ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අවවාදානුශාසනාවන්ට අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේතුමන්ගේ මඟ පෙන්වීම මත ඉතා විචිත්‍රවත් අන්දමින් සිදුකෙරේ.

නිකිණි පුර පසළොස්වක

 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
පූර්වභාග 10.41
පුර පසළොස්වක ලබා
12 සිකුරාදා
පූර්වභාග 07.08 ගෙවේ.
11 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]