[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්ෂණයක් පාසා ක්ෂයවන ජීවිතයට පසුතැවීම් කුමටද ?

ක්ෂණයක් පාසා ක්ෂයවන ජීවිතයට පසුතැවීම් කුමටද ?

පුද්ගල ස්වභාවය පිළිබඳ තථාගත දහමෙහි කියවීම වන්නේ නානත්ත සඤ්ඤා නානත්ථ කායා යන්න යි. ඉන් ප්‍රකාශ වන්නේ පුද්ගල අපේක්ෂාවල හා පුද්ගල හැසිරීම්වල දක්නට ලැබෙන විෂමතාවයි. ජීවිතය පිළිබඳ බලාපොරොත්තු හා ජීවිතවල පවතින අසමානතාවන් පිළිබඳව යි.

විශේෂිත වශයෙන් ම මින් ප්‍රකාශවන්නේ සෑම පුද්ගලයෙකුට ම ආවේණික වූ තමා සතුව පවතින සුවිශේෂතා පමණක් නොව, එම විශේෂතා හේතුවෙන් පුද්ගලාන්තරව එක හා සමාන පුද්ගලයන් හඳුනාගත නොහැකි බවයි. එමෙන්ම පුද්ගලයා පිළිබඳ බුදුදහම බලනුයේ අනන්ත විශ්වය තුළ අප්‍රමාණ ජීවීන් සමූහයා අතර අයකු ලෙස භෞතිකවාදී ඉගැන්වීමට එහා ගිය නාමරූපමය බෙදා දැක්වීමකි. ඒ අනුව සෑම පුද්ගලයකුගේ ම සමාන අවස්ථාවක් ලෙස පසිඳුරන් පිනවීමේ අවස්ථාව දැක්විය හැකි වන්නේ සමස්ත සමාජය ම දිව යන්නේ පංච කාම සම්පත් ලබා ගැනීම සඳහා බව ඉතා පැහැදිලි ය.

මෙම අපේක්ෂා සම්පූර්ණ කර ගැනීම සඳහා අප්‍රමාණ ව්‍යායාමයක යෙදෙන පුද්ගලයන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. ඒවා ඇතැම් විට අතිශය අධාර්මික ක්‍රමෝපායයන් බව ද නොරහසකි. ඒ අනුව තම පෞද්ගලික සැප සම්පත් සාධනය කර ගැනීම සඳහා සිදු කරන පොදු සමාජ විනාශයන් බහුල ය.

විශේෂ වශයෙන් ම තම ධනෝත්පාදන කි‍්‍රයාවන් සඳහා දහමින් ප්‍රතික්ෂේපිත කුරිරු කි‍්‍රයාවන්හි යෙදෙමින් පාරිසරික වශයෙන් සිදුකෙරෙන හානිය ඉතා විශාල වේ. තම පෞද්ගලිකත්වය වෙනුවෙන් පොදු දේපළ වශයෙන් සැලකෙන වන විනාශය පමණක් නොව වැව් කෙත්වතු ආදිය යොදා ගැනීම මහත් සමාජ ගැටලුවක් බවට පත්ව ඇති අයුරු පෙනේ. එමෙන් ම විවිධ මත්ද්‍රව්‍ය, මත්පැන් හා වස විෂ යොදන ලද ආහාරපාන ආදිය සාමාන්‍ය ජන සමාජය තුළ අලෙවි කිරීමෙන් සිදුකරන සමාජ ව්‍යසනය සාමාන්‍ය වූවක් නොවේ.

එමෙන් ම පොදු සමාජ සංස්ථාව තුළ කාම සම්පත් අපේක්ෂා වෙන් සිදුකරන අසම්මත කි‍්‍රයාවන් ශිෂ්ට සම්පන්න සමාජයක නොතිබිය යුතු ඉතා පහත් හැසිරීම් බවට පත්ව ඇත. සමාජය තුළ සාමකාමීව, සුශික්ෂිතව, සුන්දරත්වයෙන් ගෙවාලන පවුල් ජීවිත විනාශ කරන කාමෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයන් පිළිබඳ ඕනෑතරම් තොරතුරු අසන්නට දකින්නට ලැබේ. මෙසේ පංච කාම සම්පත් අසීමාන්තිකව වින්දනය කිරීම සඳහා යොමු වන පුද්ගලයා සන්තානගතව අප්‍රමාණ පසුතැවීම්වලට ලක්වීම ද වලකාලිය නොහැක.

පුද්ගල සමාජය සුවිශේෂී වශයෙන් ම පස්කම් සැප පසුපස හඹා යාම අහඹු සිදුවීමක් නොවන්නේ ය. එය පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය යි. මෙසේ විවිධාකාර ක්‍රමෝපායන් ඔස්සේ තම අභිප්‍රායන් සඳහා වෙහෙස දරන පුද්ගලයන් ඉන් කිසිදු සෑහීමකට පත්නොවන ආකාරය පිළිබඳව ද දහමින් පැහැදිලි කරනු ලැබේ. එමෙන්ම වියපත් නොවී සිටීම සඳහාත්, දීර්ඝායුෂ විඳීම සඳහාත් සමාජගත පුද්ගලයාගේ ඇති කැමැත්ත කොතෙක් දැයි ප්‍රමාණ කළ නොහැකි තරම් ය.

ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරන අතර, ඇතැම්විට වෛද්‍යමය උපදෙස් ඇතිව හෝ නැතිව ඖෂධ භාවිතය ආදී විවිධ පිළියම්වලට යොමුවී සිටින පුද්ගල සංඛ්‍යාව අසීමිත බව ප්‍රකට කරුණකි.

විවිධ රෝග පීඩාවන්ගෙන් අත්මිදී නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා විවිධ ඖෂධ නිපදවා ඇත. වැඩි කලක් ජීවත් වීම සඳහාත්, ශාරීරික ශක්තිය හා වර්ණය රැක ගැනීම සඳහාත් විවිධ ඖෂධ නිෂ්පාදනය කොට ඇති බව නොරහසකි. ඖෂධ ව්‍යාපාරය ලෝකයේ ඉතා ප්‍රබල ව්‍යාපාරයක් බව බොහෝ දෙනා දන්නා කරුණක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ශරීරයේ පැහැය හා වියපත් බව යටපත් කිරීම සඳහා භාවිත කරන නිෂ්පාදන බව සඳහන් කිරීම නිවැරැදි ය. ඇතැම් විට ආලේපන විලේපන මෙන්ම පානය කරන බෙහෙත් ද්‍රව්‍ය වශයෙන් ද භාවිත කරන අතර, සාමාන්‍ය පුද්ගලයකු වුවත් දිනකට භාවිත කරන බෙහෙත් ප්‍රමාණය ඉතා බහුල බව බොහෝ දෙනා දන්නා කරුණකි. සැබැවින්ම මෙම ව්‍යායාමය දීර්ඝ කාලයක් පි‍්‍රයමනාපව, සවිමත්ව, ලෙඩ දුක් වලින් තොරව ජීවත්වීම සඳහා ය. එය උපන් සත්ත්වයාට අනිවාර්ය වූ ජරා මරණ දෙකින් අත්මිදීම සඳහා කරනු ලබන සටනකි. එහෙත් අපි අපේක්ෂා කරන ජීවිතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු සිඳ බිඳ දමනු ලබන්නේ ජරාව හා මරණය නම් වූ ස්වභාවික කි‍්‍රයාදාමය විසින් බව ධම්මපද පාලියෙහි දණ්ඩ වග්ගයට අයත් මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි කරනු ලැබේ.

“ යථා දණ්ඩේන ගෝපාලෝ
ගාවෝ පාචේති ගෝචරං
ඒවං ජරාඡ මච්චූච
ආයුං පාචෙන්ති පාණිනං”

පුද්ගලයාගේ ආයු ශක්තිය මෙහෙයවීම පිළිබඳ දහමින් කෙරෙන මෙම ප්‍රකාශනයෙන් පෙන්වා දෙනුයේ ගොපල්ලා ගව රැල කෙවිටෙන් ගොදුරු බිමට ගෙන යන ආකාරයෙන් ජරා මරණ දෙක විසින් සත්ත්වයා ආයු ශක්තිය ගෙවා ලන බවයි. භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන් වහන්සේගේ දේශනා වඩාත් පැහැදිලිව අවබෝධ කරදීම සඳහා උපමා භාවිත කොට ඇති අයුරු ඉතා ප්‍රකටය.

ගොපල්ලන් හා ගවයන් බොහෝ විට ඒ සඳහා උපයෝගි කොට ගන්නා ලදහ. ඇතැම්විට මඟ තොට වැඩමවන අවස්ථාවල බහුල වශයෙන් දක්නට ලැබෙන්නට ඇත්තේ ගවයන් බලාගන්නන් හා සමූහ වශයෙන් තණබිම් කරා රැගෙන යන ගවයන් විය හැකිය. එම දසුන සාමාන්‍ය භාරතීය ජන සමාජයට අහඹු දසුනක් නොවන්නේය. එමෙන් ම අසන්නාට ඉතා හුරුපුරුදු උපමාවක් වන නිසා දේශිත ධර්මය තේරුම් ගැනීම ඉතා පහසු වනු ඇත.

මෙහි “ගෝපාලෝ” යන පාලි වචනයෙහි අදහස හරකුන් රැක බලා ගන්නා යන්න යි. ඔහුගේ අතෙහි කෙවිටක් හෙවත් කෝටුවක් ඇති අතර, එය භාවිත කරමින් ගවයන් ක්‍රමානුකූලව තණ බිම් කරා ගෙන යාම හා ආරක්ෂා සහිතව නැවත දක්කා ගෙන ඒම ඔහුගේ වගකීමයි. “ ජරා” යන වචනයෙහි අදහස වන්නේ වයස්ගතවීමය.

සිරුර දිරාපත්වීම, ඉන්ද්‍රිය දුබලතාව, කෙස් ලොම් පැසීම්, දත් වැටීම්, සමෙහි දුර්වර්ණය මෙන් ම රැලි වැටීම ද ප්‍රකට ලක්ෂණ වේ. “මච්චු” යන්නෙන් දැක්වෙනුයේ මරණය පිළිබඳව වන අතර එක් භවයකට අයත් ජීවිතයක අවසානය මින් ප්‍රකාශ වේ. ආයුෂ, උණුසුම හා සිත එකවිට සිරුරෙන් ඉවත්වීම මරණය ලෙස දැක්වේ. කිනම් ප්‍රබල පුද්ගලයකු වුව ද ඉන්පසු දිරාගිය දර කැබැල්ලකට සමාන බව දහමින් විස්තර කෙරේ.

බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සමයක පුර පොහෝ දිනක උපාසිකාවෝ පන්සියයක් පමණ පිරිසක් පෙහෙවස් සමාදන්ව විසූහ.

විශාඛා උපාසිකාව සිල් සමාදන් ව සිටි වැඩිහිටි උපාසිකාවන් සමීපයට ගොස් සිල් සමාදන් වීමෙන් ප්‍රාර්ථනා කරන්නේ කුමක් දැයි විමසුවා ය.

මහලු වූ මම දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරන්නෙමැ’යි පිළිතුරු දුනි.

අනතුරුව මැදිවියේ උපාසිකාවක් සමීපයට ගිය විශාඛාවන් ඇයගේ ප්‍රාර්ථනය විමසීය. පිළිතුර වූයේ සැමියාගේ අනියම් බිරියන් පිළිබඳ ඇති කෝපයෙන් මිදීම සඳහා බව යි.

ඉන්පසු ඉතා තුරුණු වියේ පසුවන උවැසියන්ගෙන් අසන්නට ලැබුණේ කුළුඳුලේ පිරිමි පුතුන් පිළිබඳ ප්‍රාර්ථනාවයි. විශාඛාවන්ගේ ඊළඟ විමසීම තුරුණු වියට එළඹෙමින් සිටි නව යොවුන් වියේ පසුවූ උපාසිකාවන්ගෙනි. ඔවුන්ගේ පිළිතුර වූයේ ඉතා තුරුණු වියේදී ම විවාහ වීම පිළිබඳ ප්‍රාර්ථනාවක් ඇති බව ය.

සිල් සමාදන් ව සිටින කිසිවකුත් සිල් රැකීමේ පරමාර්ථය හඳුනා නොගැනීම පිළිබඳ කණස්සල්ලට පත් විශාඛාවන් එම සියලු උපාසිකාවන් බුදුරදුන් හමුවට පමුණුවා සියල්ලන්ගේ ප්‍රාර්ථනාවන් ද ප්‍රකාශ කළා ය.

මෙය බුදුරදුන් ජීවමාන සමයෙහි වූ සිදුවීමකි. වර්තමානයෙහි සිල් සමාදන් වන බොහෝ උවැසියන්ගේ ප්‍රාර්ථනාවන් ද මීට නොවෙනස් වනු ඇත. එහෙත් විමසීමට කෙනෙක් නැතිවා සේ ම විමසුවහොත් මහත් කලබැගෑනියක් වීම ද වැළැක්විය නොහැකි වන්නේ ය.

කෙසේ නමුත් බුදුරදුන් ජීවමාන සමයෙහි විශාඛාවන් වැනි වරද නිවැරදි කර යහපතෙහි පිහිට විය හැකි මඟඵලලාභී උපාසිකාවක් නිසා සිල් සමාදන් වීමේ සැබෑ අර්ථය ඔවුන්ට වටහාගත හැකි වුණි.

ජරාවත්, මරණයත් සත්වයන්ගේ ආයුෂ කෙළවර කරනුයේ ගොපල්ලා කෙවිටෙන් ගව රැළ තණ බිම කරා රැගෙන යන ආකාරයට බව ප්‍රකාශිත දම් දෙසුමෙන් බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණීම කෙතරම් පුණ්‍යවන්ත අවස්ථාවක් දැයි සිතා සැනසිය හැකි වේ.

ලංකා ශාසන ඉතිහාසයෙහි සහ බුද්ධ චරිතයෙහි අතිශය වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවී ඇති අද දිනය ඇසළ පුර පොහෝ දිනය යි. එම ඓතිහාසික තොරතුරු සහ ශාසනික තොරතුරුවලින් පහන්ව, නොදැනීම ජරාව මරණය විසින් අප ලබා ඇති ආයු ශක්තිය ක්ෂණයක් පාසා ක්ෂය කරන බව මෙනෙහි කරමින් සසරින් එතෙර වීමට උත්සාහවත් විය යුතු ව ඇත.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]