[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බුදු හිමි දුටුවෙමි

මල් පෙත්තේ සුවඳ තුළින් බුදු හිමි දුටුවා
හමනා මඳ සුළඟ අතර බුදු හිමි දුටුවා
අහසෙ දිලෙන සඳ පානේ බුදු හිමි දුටුවා
පුංචි මමත් මගේ සිතින් බුදු හිමි දුටුවා

අහසේ තරු කැට අතරින් බුදු හිමි දුටුවා
සුවඳ හමන සුවඳ දුමෙන් බුදු හිමි දුටුවා
පහන් දැල්ල අතරින් මම බුදු හිමි දුටුවා
පුංචි වුණත් මම හැමදා බුදු හිමි දුටුවා

සීත ගගුලේ සිරී පාදේ බුදු හිමි දුටුවා
ජය සිරිමහ බෝ සෙවණේ බුදු හිමි දුටුවා
ස්වර්ණමාලි මහ සෑයේ බුදු හිමි දුටුවා
පුංචි මමත් නිවන් යන්න බුදු හිමි දුටුවා

****

සතුන්ට හිංසා නොකරමු

සියලු සත්වයෝ මරණයට බිය වෙති. දඬුවමට බිය වෙති. ජීවත්වීමට පි‍්‍රය කරති.

මේ වන විට ගව ඝාතනය ලොව පුරා පැතිර ඇති දෙයකි. අපි ගවයාගෙන් කිරි, පොහොර ආදිය ද ලබා ගනිමු. මිනිස්සු අවසානයේ කෲර ලෙස එම සත්ත්වයාගේ ගෙල කපා මරණයට පත්කර මාංශ ආහාරයට ගනිති. අපි එලෙස නොකළ යුතු ය. මන්ද සතුන්ට හිංසා කර එම පාපය දිට්ඨධම්ම වේදනීය කර්ම වශයෙන් ඵල දෙන නිසා ය.

දිනක් බුදුන් වහන්සේ වඩින විට ළමයින් පිරිසක් සර්පයකුට පහර දෙනු දැක, දරුවනේ, ඔබ මොකද කරන්නේ? යි විමසූහ. ස්වාමීනි, මේ සර්පයා මරන්නයි හදන්නේ'' ඔවුහු පැවසූහ. දරුවනේ ඔබ කැමැති ද දඬුවම් විඳින්න. පහර කන්න. බුදු හිමි ඇසූ සේක. නැත ස්වාමීනි,

ඒවගේ තමයි, සතුන්ටත් රිදෙනවා. තුවාල වෙනවා. අපි සතුන්ටත් ආදරය කරුණාව, මෛත්‍රිය දක්වමු. බුදුරජාණන් වහන්සේ වදාළහ. දිනපතා සතුනට කෑම ටිකක්, ජලය ටිකක් දෙමු. ඒ සතුන් සතුටින් ආහාර ගන්නා හැටි බලා අපිත් සතුටු වෙමු.

****

නමදිමු අනුබුදු මිහිඳු මාහිමි

ලක් දෙරණ එකලු කළ
අවිහිංසාව මෙ බිම පතළ කළ
දම් රසින් ගුණ දම් හෙළි කළ
මිහිඳු හිමි සිහි කරමු සැම කල

එදා මහ වන මැද
මුවකු පිටුපස යන විට
දෙවනපෑතිස් රජ හට
මිහිඳු හිමි හමු වූයේ පිනට ය

හිංසාව පිටු දැක්කා
අවිහිංසාව රජ වූවා
දම් නද පැතිර වූවා
ලක් දෙරණ පින්බිමක් වූවා

දම් හඬ රැව් දී මෙරට
මිථ්‍යා ඇදහිලි දුරු කොට
කලාවෙන් සූ සැට
මඟ එකලු විය එතැන් සිට

මිහිඳු හිමි සැමදා
සිහි කරමු නිබඳා
ගුණ දම් නොබිඳා
සුරකිමු අප පොසොන් පෝදා

****

ඇසළ පෝය

ඇසළ පෝය වැදගත් වන්නේ සිදුහත් කුමරු රාජ සම්පත් අතහැර අභිනිෂ්ක්‍රමණය කළ දිනය නිසා වගේ ම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව වදාළ දිනය නිසා ය.

ඇසළ සඳ නැඟී එයි
දහම් මල් පුබුදවා
සමිඳු මංගල දෙසුම
වදාළා ලෝ තෙමා.....

ඒ උතුම් දහම් පද
රැව් දිදී සිසාරා
සාධු නද පැතිරුණා
තිලෝ දුක නිවාලා
සාධු නමදිමු අපිත් සිහිකර
ඒ ඇසළ පුන් පොහෝ දා...

****

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු තුන්වැනි ධර්ම සංගායනාවෙහි ප්‍රතිඵලයක් ලෙස ය.

එතැන් සිට දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම වැළඳගැනීම, අරිට්ඨ කුමරු ඇතුළු කුමාරවරු පැවිදිවීම ඇතුළු බෞද්ධාගමික කාරණා මුල්කොට ගෙන ලංකාවේ බුදුදහම ස්ථාපිත විය. වෙහෙර විහාර ඉදිවිය.

මාස කීපයක් ගතවන විට අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පිරිසක් දේවානම්පියතිස්ස රජතුමා හමුවී රජතුමනි, අපටත් පැවිදි වීමට අවසර ලබා දෙනු මැනවැයි ඉල්ලා සිටියහ. රජතුමා මේ පිළිබඳ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් විමසා සිටියහ.

රජතුමනි, කාන්තාවන් පැවිදි කිරීම අප හට අකැප ය. මගේ ගිහි කල නැඟණිය පැවිදි වී ජම්බුද්වීපයේ වැඩ සිටියි. කාන්තාවන් පැවිදි කර ගැනීම සඳහා එතුමිය වැඩමවා ගත හැකියැයි වදාළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංඝමිත්තා රහත් තෙරණිය ඇතුළු මෙහෙණිවරු එකොළොස් නමක් ලක්දිවට වැඩම කළහ. සඟමිත් තෙරණිය වැඩමවීමෙන් අප ලක්දිවට ඉටු වූ සේවාව අපමණ ය.

****

ඉතිහාස කතාවක්

සිරිසර සිරිලක කන්ද උඩරට සෙංකඩගල පුරවර ශී‍්‍ර දළදා වහන්සේ පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ ය. ඉතා විසිතුරු සිද්ධීන්ගෙන් මෙන්ම අසිරිමත් කතාන්දරවලින් ඒවා පිරී ඇත. අනුරාධපුරවර ධම්මචක්කගේහ මන්දිරයේ පටන් සෙංකඩගල පුරවර ශ්‍රී දළදා මාළිගාව දක්වා සියලු රාජධානිවල සුවිශේෂයෙන් නිමවන ලද ගේහ, මණ්ඩප, කරඬු, ආසන මත දළදා වහන්සේ වඩා හිඳුවා ගෙන මහා සංඝරත්නය, රජ, මැති, ඇමැතිවරුන්, සිටුවරුන්, මහ ජනතාව කළ පුද පූජා. ආවතේව පෙරහර වන්දනාමාන අපමණ ය.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]