[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තමන්ගේ ම සිරුර ගැන වටහා ගන්නට හැකි නම් ජීවිතයේ සැබෑව දකින්න පුළුවන්

තමන්ගේ ම සිරුර ගැන වටහා ගන්නට හැකි නම් ජීවිතයේ සැබෑව දකින්න පුළුවන්

අසුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්හි ච මත්තඤ්ඤුං
සද්ධං ආරද්ධ වීරියං
තං වෙ නප්පසහතී මාරො
වාතො සෙලංව පබ්බත

රූපාදී අරමුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැලකීම පසිඳුරන් සංචර කර ගැනීම, ශ්‍රද්ධාව හා වීය¸ය, ඇති පමණ දැන ආහාර ගැනීම යන ගුණ ඇති තැනැත්තා සුළඟින් සෙලවිය නොහැකි පර්වතයක් මෙන් කෙලෙස් මරුට යටකර ගත හැකි නොවේ යනු ගාථාවේ අදහසයි.

ලොව පාලනය කරන ධර්ම දෙකක් වේ. හිරි – ඔතප් හෙවත් පවට ලජ්ජාව හා බිය යන දෙකයි. අත්තාධිපතෙය්‍ය,ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපත්‍යෙය යන කරුණු සලකාගෙන ද වැරැදි වැඩවලින් මිදිය හැකි ය.

තමාගේ ආත්ම ගෞරවයට හානියක් වේ යැයි වැරැදිවලින් වෙන්වීම අත්තාධිපත්‍යෙය නම් වේ. ලෝකයාගේ නින්දාවට භාජනය වේ යැයි සිතා පවින් වැළකීම ලෝකාධිපතෙය්‍ය නම් වේ. තමන් අදහන ධර්මයට හා සත් පුරුෂ ධර්මයට පටහැනි යැයි සිතා පවින් වැළකීම ධම්මාධිපතෙය්‍ය නම් වේ. ලජ්ජා භය නොමැති නම් මෙකී තෙවැදෑරුම් අධිපතිකම් ගැන සිතීමට ද නොහැකි ය.

මිනිස් සිරුරේ අංග ප්‍රත්‍යංග සුදුසු ලෙස පිහිටා තිබේ නම් එය ශුභ වශයෙන් බැලීමට ලෝකයා පුරුදුව සිටී. කවීන් වර්ණනා කරනු ලබන කාන්තාවකගේ කාන්තිමත් මුහුණ ගැන සලකන විට, එය ලප නොමැති පුන්සඳ වැනි යැයි ද, ඒ මුහුණේ දෙබැම කොසොඹ පත් යුගලයක් වැනි යැයි ද, නළල අඩ සඳක් මෙන් ද, දෙ ඇස උපුල් පෙති මෙන් ද, නාසය දඹ රනින් කළ හොරනෑවක් මෙන් ද , මුඛය රත් පියුමක් මෙන් ද, දත් දෙපෙළ මුතු ඇට මෙන් ද, අගය කර තිබේ. ඒ බැලීම පළමු ගාථාවේ කියූ සුභානුපස්සනාවයි.

මිනිස් සිරුරේ කැත කුණු පිට වන දොරටු නවයක් වේ. එයින් දෙඇස්, දෙකන, දෙනාසා පූටය යන දොරටුත් සමඟ සියල්ල නවයක් වේ. දෙඇස, දෙකන, දෙනාසා පූටය, මුඛය යන දොරටු හතක් ම පිහිටා ඇත්තේ, හොඳයි, ලස්සන යැයි සිතන මුහුණේ ම ය. මළ මුත්‍ර පිටවන දොරටුත් සමඟ සියල්ල නමයකි. ඇසෙන් පිටවන කඳුළු, කටින් පිටවන කෙළ යන මේවා ඉවත් කිරීමට හෙවත් පිස දැමීමට ස්ත්‍රී පුරුෂ කවුරුත් ලේන්සුවක් පාවිච්චි කරන බව නුවණින් සිතිය යුතු ය. මෙසේ බැලීම අසුභානුපස්සි නම් වේ.

“සචෙ ඉමස්ස කායස්ස
අන්තො බාහිරතො සියා
දණ්ඩං නූන ගහෙත්වාන
කාකෙ සොනෙච වාරයේ”

අපගේ මේ ශරීරයේ ඇතුල් පැත්ත පිට පැත්තට ආවොත් කපුටන් හා බල්ලන් එළවීමට පොල්ලක් රැගෙන මුර කරන්නට සිදුවේ, යනු ගාථාවේ අදහසයි. එබැවින් දෙතිස් කුණපවලින් සැකසී ඇති, ඇතුළත අසූචි පිරුණා වූ පිටතින් විසිතුරු චිත්‍ර අඳින ලද මැටි කළයක් බඳුවූ මෙම සිරුරේ අනිත්‍ය බව මෙනෙහි කිරීම මැනවි.

පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]