[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2022-06-07

මිතුරු සිත

ගැටලුවලින් පිරුණු දුක්ඛිත ජීවිතයකින් මිදී සැපත සතුට සපරි ජීවිතයක් ගෙවීමේ නිරන්තර අභිලාෂය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය යි. මිය යන තුරුත් නොමියෙන බලාපොරොත්තුවක් ලෙස ඒ සිතිවිල්ල මොහොතින් මොහොත වර්ධනය වුව ද සතුට ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? එවැනි තැනකට තමන්ගේ සිතිවිලි, කායික මානසික හැසිරීම් හසුරුවා ගත හැකි වන්නේ මොන තරම් සුළු පිරිසකට ද? තමන්ගේ ම ආකල්පවල ඇති නොමනා බව ම ය, මේ අභාග්‍යයට හේතු වන්නේ.

මිනිසා වෙත පැවතිය යුතු ප්‍රධානතම යහ ආකල්පයක් වන්නේ මිත්‍රශීලි සිතිවිල්ලයි. නිරන්තරයෙන් ගිනිගෙන දැවෙන, රත්වෙන සිතක ස්වභාවය ම සතුරු බවයි. එක් අතකින් රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූල සිතිවිලි නිසා තමන් තමන්ට ම සතුරු වේ. ඒ ආකල්පම සමාජයට මුදාහරින්නේ ක්‍රියාකාරකම් ද සමඟිනි.

එයින් මිදෙන්නට උත්සාහ නොකරන මිනිසා සතුට බලාපොරොත්තු වේ. එය හැඟීම් මාත්‍රයකට පමණක් සීමා වන්නේ තමා ගිලෙමින් සිටින අඳුරෙන් එළියට එන්නට, අඳුරට එළියක් දල්වන්නට සිත නොනැමෙන නිසා ය. පුහුණුවක් නොමැති වීම නිසා ය.

සම්බුදු දහම ලෝකයට මිතුරුකම උගන්වන දහමකි. ජීවි අජීවි සියල්ලන්ට ම මිතුරුවන ලෙසයි බුදුදහම අවධාරණය කරන්නේ. මේ මිතුරුකම නම් මෛත්‍රියයි. බෙද්ධ සමාජය මෛත්‍රිය පුරුදු පුහුණු කරන සමාජයකි. සැබෑ බෞද්ධයා බුදු දහම අසන, දරන, පිළිපදින පුද්ගලයෙකි. ඔහු මෙත් සිතිවිලිවලින් යුතු වූවෙකි. ලෝභ, දෝෂ, මෝහාදි අකුසල සිතිවිලිවලට මතුවන්නට ඉඩ නොදී ඒවා යටපත් කරමින්, සිතිවිලි හික්මවා ගනිමින් සිටින්නෙකි. සතුට වැඩෙන්නේ ඒ, හික්මවීමේ තරමට ය.

අද අපි සමාජයක් ලෙස ජීවත්වීම පිළිබඳ අභියෝගයකට මුහුණ දී සිටිමු. ආත්මාර්ථකාමී සිතිවිල්ලෙන් තමන් පමණක් එයින් ගොඩඑන්නට සිතනවා නම්, ඒ පුද්ගලයා තුළ මිත්‍රශීලි බවක් නැත. මොහොතින් මොහොත තමන් වෙත ලැබේ යැයි බලා සිටින සතුට ඒ පුද්ගලයාට දුරස් ය. එහෙයින් ආත්මාර්ථකාමී අදහස් වහාම බැහැර කළ යුතු ය.

සමාජය පිරිහෙන්නේ, ගැටලු ප්‍රශ්න වැඩි වන්නේ ගුණ දහම් පිරිහුණු තරමට ය.

අම්මා තාත්තා දරුවන්ට මිත්‍රශීලි නොවෙනවා නම්, දරුවන් අම්මා තාත්තාට සතුරු නම් ආදී ලෙස සමාජ කණ්ඩායම් අතර සතුරුකම වැඩෙනවා නම් එතැන සතුට ගිලිහී යයි.

දුර්ගුණයන්ට ළං වන තරමට තමන් වෙත ඇදී එන විපත් කරදර වැඩි ය. සොබා දහම පවා එවැනි පුද්ගලයාට එරෙහි වේ. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන්නේ මිනිසා තුළ තෘෂ්ණාව මුල් කොට ඇති වූ නරක ගති නිසා සොබා දහමෙන් ලැබුණු සැප පහසුකම් සියල්ල අතුරුදන් වන බව ය. ඒ නරක ගති අතර සතුරු සිත ප්‍රධාන ය.

මෙත් සිතිවිලි වර්ධනය කර ගන්නට අපට සම්බුද්ධ චරිතය ම ආදර්ශයට ගත හැකි ය. බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමිතාවක් සේ පූර්ණය කරන කාලයේ සිතිවිලි පැවැත්වූයේ මම ලොව කිසිවකුට සතුරු නොවෙමි. මම ලොව සෑම දෙනාගේ ම මිතුරෙක් වෙමි. හිතවතෙක් වෙමි. සැමට උපකාර කරමි යනුවෙනි. අපගේ ජීවිත ගොඩනඟා ගන්නට, සතුට ළඟා කර ගන්නට මේ ජීවිතාදර්ශය ගෙන ක්‍රියාවට නඟන්නේ නම්, ජීවිතය මොන තරම් ලස්සන වේවි ද? ඒ ලස්සන මුළුමහත් සමාජයට ම ය.

පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]