[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

වඩිනු මැනවි

දෙවිවරු නොඑයි ආරාධනා කරන්න
පස්මහබැලුම් ගැන දැන් නම් නොබලන්න
නා ගස් තිබේ හිමි හට සෙවණක් වෙන්න
මෙතේ බුදු හිමියනි අප වෙනුවෙන් වැඩම කරන්න

නිවුණ පහන් බොහෝ තිබේ දැල්වෙන්න
මල් පොහොට්ටු බොහෝ තිබේ සුපිපෙන්න
බුදුහිමි එනතුරා අපි ඉන්නේ පිළිගන්න
බොහෝ දෙනෙක් ඉන්නව නිවනට යන්න

ප්‍රතිපත්ති පූජාවට ම ගරු කරමින්
බුදු දහම පිළිපදිනෙමු එක මොහොතින්
උවදුරු සියල්ල දුරුවේ බුදු හිමි ගුණයෙන්
මෙතේ බුදුරජුනි වඩිනු මැනවි අප වෙනුවෙන්

****

බක් පෝදා

බක් පුන් පොහොය ලබන්නේ සිංහල අවුරුදු මාසයේ දී හෙවත් අපේ‍්‍රල් මාසයේ දී ය. පරිසරය ම අලුත් වන අපේ‍්‍රල් මාසයේ උදාවන මෙම පොහොය ශ්‍රී ලාංකික අපට වඩාත් වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය බුද්ධත්වයෙන් පස්වන වසරේ දී බක් පුන් පොහොය දිනක දී සිදුවීම නිසාවෙනි. අප බුදුරජාණන් වහන්සේ සිරිලකට දෙවන වර එලෙස වැඩම කළේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන් වෛරය සංසිඳෙන බවත්, ලාංකීය රජවරුන්ට අවබෝධ කර දීම සඳහායි.

නාගදීපයේ චූලෝදර මහෝදර නම් වූ නා රජවරු දෙදෙනා පරම්පරාගත මැණික් පුටුවක් හේතුවෙන් සටන් කිරීමට සැරසුණි. මෙය මහා කරුණා සමාපත්තියට සම වැදුණු බුදුරජාණන් වහන්සේට පෙනුණි. පසුව මෙම නා රජවරු දෙදෙනා අතර සිදුවෙන මෙම අරගලය සංසිඳුවන්නට අප බුදුරදුන් වැඩම කළේ නාගදීපයටයි.

බුදුහිමියන් සදහම් දෙසා ඔවුන්ට බුදු දහම පිළිබඳ අවබෝධ කර වදාළහ. චූලෝදර මහෝදර දෙදෙනා ද සමගිවූ හ. සියලුම නාග ගෝත්‍රිකයන් තිසරණ සරණ ගිය අතර එම ආරවුලට මුල් වූ මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කළහ. එසේ පූජා කොට තමන්ට පිදීමට යමක් දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ එම මැණික් පුටුවෙහි ම හිඳ දහම් දෙසා එම පුටුව ඔවුන්ට ම ලබා දුන් අතර, එය නිදන් කොට නාග ගෝත්‍රිකයන් විසින් ස්තූපයක් හෙවත් චෛත්‍යයක් තනන ලදී.

****

ගුරුළුගෝමී පඬිරුවන

ගුරුළුගෝමී පඬිරුවන අපේ සාහිත්‍යයේ ආරම්භක යුගයේ සිටි ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකි. බුදු දහම කෙරෙහිත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ගෞරවාදරය, ශ්‍රද්ධාව ඇතිවන අයුරින් බෞද්ධ කතා පුවත් ඉතා රසවත් අයුරින් රචනා කිරීමට ගුරුළුගෝමී පඬිතුමා සමත් විය. සිංහල සාහිත්‍යයේ ඉතා වටිනා ග්‍රන්ථයක් වන ‘අමාවතුර’ මෙතුමා විසින් රචනා කරන ලද්දකි. අමාවතුර බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණයෙන් එකක් වන “පුරිසදම්ම සාරථී” ගුණය එනම් දරුණු පුද්ගලයන් දමනය කිරීමේ ගුණය විස්තර කිරීමට රචනා කර ඇත.

“ධර්මප්‍රදීපිකාව“ නමැති මාහැඟි කෘතිය ද ගුරුළුගෝමී පඬිතුමා විසින් සම්පාදනය කරනු ලැබූවකි. ගුරුළුගෝමී පඬිතුමා විසින් කරන ලද අමාවතුර, ධර්මප්‍රදීපිකාව නමැති අගනා ග්‍රන්ථ දෙක දහම් කරුණු පිරුණු ධර්ම ග්‍රන්ථ සේ ම සාහිත්‍ය රස පිරුණු සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් ලෙස සිංහල සාහිත්‍යයට අතිවිශාල ආලෝකයක් ලබා දී ඇත. මෙම ග්‍රන්ථ දෙකෙන් ගුරුළුගෝමී පඬිතුමාගේ බුදුදහම පිළිබඳ දැනුමත්, ලේඛන ප්‍රතිභාවත් මැනවින් පෙන්නුම් කරයි. ගුරුළුගෝමී පඬිතුමා අපේ ගත්කතුවර පරපුරේ මුල්පෙළ නියෝජනය කරන ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකි.

****

දළදා පෙරහර

කස හඬ පතුරා මඟ උවදුරු හැර
පෙරහර ළඟ එන්නේ
දසත දිලෙනවා බෝල බෝල ගිනි
විදුලි එළිය වැන්නේ.......

කොඩිකරුවන් සමඟින් බෙරකරුවන්
පෙරහර හැඩ වන්නේ
ගජගා වන්නම වැයෙනා තාලෙට
නැට්ටුවෝ නටමින්නේ.........

නිලමේවරු මහ අලි ඇත්තු ද
පිරිවර මැද යන්නේ
සාධුකාර මැද දළදා කරඬුව
ගෙන මඟුලැතු යන්නේ...

රටේ පැතිර යන රෝ බිය දුරු වී
සැම සුවපත් වන්නේ
දළදා හිමියනි මේ පින් බලයෙන්
මුලු ලොව සැනසෙන්නේ

පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]