[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පිරිසුදු කරන සමථ භාවනාව

සිත පිරිසුදු කරන සමථ භාවනාව

“නීවරණාදී සමේතීති සමථෝ “ නීවරණ ධර්මාදිය සංසිඳුවාලන නිසා සමථය යැයි කියනු ලැබේ. පංච නීවරණ ධර්මයෝ කුසලයට විරුද්ධ ධර්ම වේ. සමථ භාවනාව ඒ පංච නීවරණයන්ගෙන් සිත මුදවාගෙන විදර්ශනා භාවනාවට අනිවාර්ය පූර්ව සාධකයක් වේ.

සමථ භාවනාවෙන් චිත්ත සන්තතියේ පවතින නීවරණ ආදී කෙලෙස් ධර්මයෝ දුරු කරයි, සිත පිරිසුදු කරයි , සිත දියුණු කර, නොකිලිටි තත්ත්වයකින් පියවරෙන් පියවර උසස් තත්ත්වයකට පමුණුවයි.

විදර්ශනා භාවනාවෙන් පංචස්කන්ධයට අයත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන නාමරූප සංයෝගයන් හි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය විනිවිද දකියි.එසේ දකිමින් ප්‍රඥාවෙන් සහමුලින්ම කෙලෙසුන් නසන්නට කටයුතු කරයි.

සමාධිය කියන්නේ ඒකාග්‍රතාවයටයි. සමාධිය කියන තනි වචනයෙන් චිත්ත සන්තතියේ ඒකාග්‍රතාවයේ අවස්ථා ගණනාවක් ම හඳුන්වනු ලැබේ. සමාධිය ගැන ඉදිරියේ දී වෙනම විස්තර කරනු ලැබේ. ධ්‍යානවල ඇති ආකාරයට උසස් ප්‍රමාණයක චිත්ත සමාධියක් ම නොවුණත් විදර්ශනා භාවනා සඳහා ද චිත්ත සමාධිය ඉතා අත්‍යවශ්‍ය වේ. බෝධිපාක්ෂික ධර්ම 37 තුළ විවිධ තැන්වල දී සමාධිය ගැන කියවේ.

සමථ භාවනාවෙහි වටිනාකම් ගැන කියැවෙන තැන් අතරින් කිහිපයක් පහත උපුටා දක්වමි.

“මහණෙනි සමථය වඩන්න. ඒ මක්නිසාද යත් , සමාහිත පුද්ගලයා යථාභූත ලෙස ධර්මයන් දක්නා හෙයිනි” (සංයුක්ත නිකාය)

“දල්වන ලද පහනක් අඳුරු ශාලාවකට ගෙන ආ විට, අඳුර නසා ආලෝකය උපදවා පතුරුවන්නේ ද, එසේම ප්‍රඥාව උපන් වහාම, මෝහාන්ධකාර විනාශකොට ප්‍රඥාලෝකය උපදවයි.” (මිලින්ද ප්‍රශ්නය)

“ඥානයට හේතුභූත වන ධර්ම දෙකක් ඇත. ඒ සමථය හා විපස්සනාවයි. සමථය වැඩිවුවහොත් ලැබෙන ආනිසංසය කුමක්ද? සිත දියුණු වේ. සිත දියුණු වුවහොත් ලබන ආනිසංසය කුමක්ද? සියලු රාගය ඉවත් කෙරේ. විපස්සනාව වැඩුවහොත් ලබන ආනිසංසය කුමක්ද? ප්‍රඥාව දියුණු වේ. ප්‍රඥාව දියුණු කළහොත් ලබන ආනිසංසය කුමක්ද? සියලු අවිද්‍යාව ඉවත් කෙරේ.” (අංගුත්තර නිකාය) භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කළහ.

සමථ භාවනාව, විපස්සනා භාවනාව පිළිවෙලින් එකිනෙක මාරු කරමින් පුහුණු කරන ක්‍රමයක් තිබේ. එයට “සමථ විපස්සනා යුගනද්ධ ක්‍රමය” යැයි කියනු ලැබේ. එනම් සමථය හා විපස්සනාව යුගල වශයෙන් සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමය අනුගමනය කරන අය පළමුව ප්‍රථම ධ්‍යානයට සමවදී. ඉන්පසුව එයින් නැඟී සිට ඒ ප්‍රථම ධ්‍යානයේ තිබූ වේදනා, සංඥා ආදි චෛතසික ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස මෙනෙහි කොට විදර්ශනා ප්‍රඥාව දියුණු කරයි.

දුතියධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ආදී ධ්‍යාන වලදී ද කලින් ආකාරයටම ත්‍රිලක්ෂණයට නංවා නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට යොමු වෙයි. එසේ ධ්‍යානත් උපදවාගෙන විදර්ශනා භාවනාත් වඩා මාර්ග ඵල උපදවා ගෙන කටයුතු කරන රූපාවචර, අරූපාවචර ධ්‍යාන උපදවා ගත් අනාගාමී උතුමන්ට සහ රහතන් වහන්සේලාට පමණක් නිරෝධ සමාපත්තියට සම වැදිය හැකි ය.” (අං: නි/ පටි:සං: ම/ යුගනද්ධ කථා)

සමථයානිකයා

නිවන් දකින්නට යන තම යානය සමථය බවට පත්කරගත් පුද්ගලයා සමථයානිකයා වේ. සිත දියුණු කරමින් කුමන හෝ රූපාවචර අරූපාවචර ධ්‍යානයක් උපදවාගෙන, එම ධ්‍යානයේ සිට, නාමයන්ගෙන් විදර්ශනා භාවනාවට යොමු වී, ප්‍රඥාව දියුණු කරමින්, මාර්ග ඵල උපදවා ගන්නා උත්තමයින් සමථයානිකයින් වේ.

ධ්‍යාන කිසිවක් නොලබා විදර්ශනා භාවනාවේ ආධාරය පමණක් ඇතිව ලෝකෝත්තර මාර්ගඵලයන් උපදවා ගන්නා පුද්ගලයින් “සුක්ඛ විපස්සක” යැයි හඳුන්වනු ලැබේ.

සුක්ඛ විපස්සනායානිකයා සමථයානික යාගෙන් වෙන් වන්නේ ධ්‍යාන උපදවා ගත්තේ නැති නිසා ය.

දීඝනිකාය ටීකාවෙහි “සුක්ඛ” යන වචනයට දී තිබෙන තේරුම වන්නේ “වියළි“ යන්නයි. “ඔහුගේ විපස්සනාව වියළි ය. රළු ය. සමථ භාවනාවේ තෙතමනයෙන් තෙත් නොකරන ලද්දේ ය” යන්නයි. ශුෂ්ක විපස්සක, සුක්ඛ විපස්සක ආදී නම් කියන්නේ ද මේ පිරිසට ය.

විපස්සනා භාවනාව පමණක් වඩා ධ්‍යාන උපදවා ගත නොහැකි ය. ධ්‍යාන උපදවා ගන්නට සමථ භාවනාව වැඩිය යුතු ම ය. සමථ භාවනාව පමණක් වඩා මාර්ගඵල ලැබිය නොහැකි ය. ඒ සඳහා විදර්ශනා භාවනාව වැඩිය යුතු ය.

රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන යැයි දෙයාකාරයක් වේ. පුර්ණ චිත්ත සමාධියකට පැමිණි පසු, තාවකාලිකව පංච ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය සහ පංච නීවරණයන්ගේ පූර්ණ අත්හිටුවීමක් සිදුවේ. ඒවායෙහි ක්‍රියාකාරීත්වය නතර වුවත්, සිත සහ ධ්‍යාන අංග වූ චෛතසික ධර්මයෝ මහත් ගත සමාධියකට පත්ව දියුණු තත්ත්වයක පවතී. එවැනි දියුණු සිතක් ඇතිව පිරිහෙන්නේ නැතුව මියගියහොත්, ඒ ධ්‍යානයට ගැලපෙන ආකාරයේ බ්‍රහ්ම භූමියක උත්පත්තිය ලබයි.

සූත්‍ර පිටකයේ ආනාපානසති සූත්‍රය දේශනා කර ඇතිි සෑම තැනකම එහි පළවෙනි හතරින් කායානුපස්සනාව ලෙස ධ්‍යාන උපදවා ගන්නා ආකාරය බුදුපියාණන් වහන්සේ දේශනා කර තිබේ.

සිත පංච නීවරණාදී කෙලෙසුන්ගෙන් මුදවාගෙන දියුණු කරගන්නා ආකාරය ඇතුළත් සමථ භාවනා ගැන දේශනා කර ඇති සූත්‍ර ප්‍රමාණය අති විශාල වෙයි. කෙලෙසුන්ගෙන් සිත මුදවා ගනිමින් මොහොතක් හෝ කුසල් වැඩීමේ ආනිසංස විපාක දත් බුදුපියාණන් වහන්සේ නිරන්තරයෙන් ම කුසල් වැඩීමෙහි වටිනාකම දේශනා කළහ.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]