[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිනුම සහ පැරදුම නිවැරැදිව හඳුනාගනිම

දිනුම සහ පැරදුම නිවැරැදිව හඳුනාගනිමු

අක්කොධෙන ජිනේ කොධං - අසාධුං සාධුනා ජිනෙ
ජිනේ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං

පරදින්නට කිසිවකු කැමති නැත. නිරන්තරයෙන් ජයග්‍රහණම බොහෝ අය ප්‍රාර්ථනා කරති. එය අහිමි වූ විට දුක් වේදනාවන්ට පත් වෙති. සමහරු සිය දිවි තොර කර ගනිති. මෙවැනි වේදනාවන්ට පත් නොවන්නට නම් හැම දෙනාම බලාපොරොත්තු වන ජයග්‍රහණ හිමිකර ගැනීමේ මාර්ග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු ය. එය සැනසීමට මඟයි.

ක්‍රෝධය සිත අපිරිසුදු කරන බලගතු සිතිවිල්ලකි. තමන් ද විනාශ කොට අනුන්ගේ ද විනාශය ළඟා කරන අකුසල ධර්මයකි. ක්‍රෝධය දිනිය යුතු එහෙයිනි. සාමාන්‍යයෙන් තමන්ට ක්‍රෝධ කරන්නාට තමන් ද ක්‍රෝධ කිරීම සිරිත ය. එහෙත් ක්‍රෝධයෙන් යුක්ත කෙනකු දිනීමට නම් ක්‍රෝධ නොකර සිටිය යුතු ය. අසත්පුරුෂයකු දිනීමට උසස් ගුණයෙන් ක්‍රියා කළ යුතු ය. තද මසුරුකමින් යුත් කෙනකු දිනීමට පරිත්‍යාග කළ යුතු ය. බොරු කියන්නකු දිනීමට නම් ඇත්ත කතා කළ යුතු ය.

කුජ්ඣනං කොධො යනුවෙන් ධර්මයෙහි දැක්වේ. එහි රළු පරළු ගතිය ක්‍රෝධ නමින් දැක්වේ. ඉන්ද්‍රියයන්ට අකමැති අරමුණක් ගැටුණු විට සිතෙහි ක්‍රෝධය හට ගනී. එතැන් සිට කය ද දුර්වර්ණ වේ. රළු වචන කීමට පෙළඹේ. පහර දීම පමණක් නොව ජීවිතහානිවලට ද පෙළඹේ. සමහරු අනුන්ගේ දිවි තොර කොට එයින් නො නැවතී තම තමන්ගේ ජීවිත ද තොර කර ගනිති. අවසානයේ විමසිලිමත්ව බලන විට එසේ කළ සෑම දෙනාම පරාජයට පත් වී ඇති බව පැහැදිලි වෙයි.

කිළිටි වස්ත්‍රයක් අපිරිසුදු ජලයෙන් සේදීම අපහසු ය. ඒ සඳහා යොදාගත යුත්තේ පිරිසුදු ජලය යි. ක්‍රෝධ කරන තැනැත්තා දිනිය හැක්කේ අපිරිසුදු ජලයට සමාන වූ ක්‍රෝධ සිතින් නොව මෛත්‍රිය නමැති පිරිසුදු ජලය භාවිත කිරීමෙනි.

තථාගතයන් වහන්සේ මහා පිරිස පිරිවරාගෙන වැඩ සිටි අවස්ථාවක උන්වහන්සේ හමුවට පැමිණි චිංචිමානවිකාව දරුණු ලෙස උන්වහන්සේට චෝදනා කළා ය. අග්ගිකභාරද්වාජ බමුණා තම නිවෙසට වැඩම වූ බුදුරදුන්ට මුඩු මහණ, වසලය ආදී වචනවලින් බැණ වැදුණි. අජාසත්, දෙව්දත් ආදීහු නිරන්තරයෙන් විරුද්ධකම් කළහ. උන්වහන්සේ විනාශ කිරීමට පවා උපක්‍රම යෙදවූහ. ඒ සැම වෙත බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණේ රාහුල හිමියන් කෙරෙහි පැවති කාරුණික සිතයි.

වැරැදි සිදුවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. වරදට පිළිතුර වරදම නොවේ. සමාජයේ ජීවත් වන කවුරුන් හෝ වරදක් කළත් තමන්ට ජයග්‍රහණය ලැබෙන්නේ එකට එක කිරීමෙන් නොවේ. ඉවසීමෙන් හා මෛත්‍රියෙන් ම කටයුතු කිරීමෙනි. තථාගතයන් වහන්සේ එය අපට ආදර්ශයෙන්ම පෙන්වා දුන්හ.

අසත්පුරුෂ අය සිත, කය, වචනය යන තිදොරින් නිරන්තරයෙන් ම කරනුයේ අන් අයට අයහපතක්ම ය. නරා වලක වැටී සිටි මිනිසකු දුටු වඳුරා ඔහු මහත් වෙහෙසක් ගෙන ගොඩට ගෙන ක්ලාන්ත ගතිය පහ කිරීම සඳහා සාත්තු කරමින් සිටියේ ය. මද වේලාවකින් සිහිය ලැබූ මිනිසා තමාට උපකාර කළ වඳුරා මරා කෑමේ චේතනාවෙන් පසෙක තිබූ ගලක් ගෙන වඳුරාගේ හිසට දරුණු පහරක් ගැසී ය. මේ පිළිබඳව කපි ජාතකය කරුණු දක්වා ඇත.

තිරිසන් සතා තුළ තිබූ තරමටවත් ගුණයක් නොතිබූ කුරිරු මිනිසාගේ හැටි බලන්න.

වංචනිකයන්, මිනිස් ඝාතකයන් සහ විවිධ අසත්පුරුෂකම්වලින් යුත් අයට පහර දීම හෝ වැනසීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළහ. ඒ මඟින් කෙනකු සුමඟට ගත හැකිය කියා හෝ ඇති වී තිබෙන ගැටලු විසඳිය හැකිය කියා හෝ උන්වහන්සේ නො සිතූහ. ඔවුන් වෙත කරුණාව මෙහෙයවා සුමඟට ගැනීම බෞද්ධ ප්‍රතිපත්තිය යි.

සැරියුත් මාහිමියන් පමණක් නොමඟ ගිය අසූ දහසක් පවුල් සුමඟට ගැනීමට කටයුතු කළ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි. එසේ නම් මේ සමාජයේ ජීවත්වන අසත්පුරුෂයන් සුමඟට ගැනීමට ඇන කොටා ගැනීම් නවතා සත්පුරුෂ ගුණ ධර්මයන් තුළින් ජය ලැබීමට උත්සාහ ගැනීම බුද්ධිමත් පියවර යි.

අධික ආශාවෙන් පෙළෙන තැනැත්තකුගේ ඒ දුර්ගුණය නැති කිරීමට නම් පරිත්‍යාගයට පෙළඹිය යුතු ය. සසර සයුරෙන් එතෙරව ජය ලැබීමට එය අත්‍යවශ්‍ය ය.

හිරි - ඔතප් නැති තැනැත්තාට කළ නොහැකි වරදක් නැත. එයිනුත් බොරුකීම කෙරෙහි ඔවුහු බෙහෙවින් පෙළඹෙති. මෙය සියලු පව් සිදු කිරීමට හේතුවන මූලික කරුණකි.

එහෙයින් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කතා කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්ව සත්‍යයෙන් ජය ගැනීමට අපට බුදුපියාණෝ උපදෙස් දුන්හ.

අපි ඒ සියලු ජයග්‍රහණයන් ලබා ගැනීම පිණිස ඒ සම්බුදු මඟ ගමන් කරමු.

නවම් අමාවක පෝය

   මාර්තු 02 බදාදා පූර්වභාග 01.04 අමාවක ලබා එදිනම අපරභාග 11.09 ගෙවේ.
02 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]