[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවුරුන් කෙසේ කීවත් හරි දෙය පිළිගන්න වරද බැහැර කරන්න

කවුරුන් කෙසේ කීවත් හරි දෙය පිළිගන්න වරද බැහැර කරන්න

සමගියෙන් හා සතුටින් විවාද නොකර කිරි සහ ජලය මෙන් පෑහී එකමුතු ව, එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් ජීවත්වීම බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක්විට අගය කර තිබේ.

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත් ම පහසු කටයුත්තක් නොවේ. එය විචාරශීලී බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි. මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළේ ප්‍රාග් බෞද්ධ යුගයේ පැවැති සංස්කෘතිය වටහාගෙන එහි ම හරවත් පරිවර්තනයකි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමවත් සිදු නොවුණි.මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී වැඩ පිළිවෙළ නිසා ම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාවට හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ. ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මළවුන් ඇදහූවෝ මළවුන්ට පින් අනුමෝදන් කරවීමෙන් එයට නව අරුතක් එක් කළහ. ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ බුදුගුණ සිහි කර චෛත්‍ය හා බුදුපිළිමවලට වන්දනා කළහ. දෙවියන් ඇදහූවෝ දෙවියන්ට පින් දීමට හුරුපුරුදු වූහ.මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විධි හුරු පුරුදු වූ ජනතාව බුද්ධිමත් ව සිතීමට හුරුපුරුදු වීමත් සමඟ ම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් නැඹුරු වූ බවයි. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංස්කෘතික සංකල්පය, අපගේ ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව මනා ව මූර්තිමත් වන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකි ය. බෞද්ධයන් ලෙසත්, ශ්‍රී ලාංකිකයන් ලෙසත් අපි අපට ම අනන්‍ය වූ ආගමික හා ජාතිකත්වයක් ඇත්තෝ වෙමු.

බෞද්ධ ආභාසයෙන් පෝෂණය ලැබූ පුරාතන රජවරු වෙහෙර විහාර ආදි කොට ඇති ආගමික ගොඩනැඟිලි තැනීමෙන් ජනතාවගේ සදාචාර සම්පන්න ජීවිතය පෝෂණය කළහ. වැව් අමුණු ආදිය තැනීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළහ. ඒ ඔස්සේ බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු මෙරට ජනතාව මවුපිය-දූදරු, ස්වාමි-භාර්යා, ගුරු-සිසු, සේව්‍ය-සේවක යුතුකම් හා ඥාති සංග්‍රහ හොඳීන් හැඳීනගෙන ඒ අනුව ඔපවත් වූ සුඛිත මුදිත ජීවිත ගතකළහ. පරපීඩනය, සත්ත්ව ඝාතනය හෙළා දුටුවහ. අවිහිංසාව අගය කළහ. ජීවී අජීවී සමස්ත පරිසරය කෙරෙහි ම බෙහෙවින් හිතකර ආකල්පයක් දැක්වූහ. ආගමික පුදසිරිත් හා වතාවත්වලට මුල්තැන දී සෑම ව්‍යාපාරයක් ම ආරම්භ කළහ.

මෙසේ බුදුසමය හා ලාංකික සමාජය අතර සම්බන්ධතාව කෙතරම් සමීපවූයේ ද යත් බුදුදහමින් තොර ව ලාංකික සමාජයක් පිළිබඳ කතා කිරීමට ද නො හැකි ය.ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම වීමත්, රජු බෞද්ධයකු විය යුතු ය යන සම්මතයත් ඇති වූයේ බුදුදහම හා ශ්‍රී ලාංකික ජන සමාජයේ සබැඳීයාව මෙලෙස ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.මෙලෙස බෞද්ධ ඉගැන්වීම් ඔස්සේ ගොඩනැඟුණු ශ්‍රී ලාංකික අනන්‍යතාව හා සහජීවනය පදනම් කරගෙන සමස්ත ලෝකයාගේ ම ගෞරවාදරයට ලක්වීමට බෞද්ධයාට වාසනාව උදාවුණි.

එහෙත් ඊට පටහැනි ව යමින් ජාති, කුල, ආගම්, පක්ෂ, පළාත් වශයෙන් භේද වැපිරීමටත් මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමටත් යමකු ක්‍රියා කරන්නේ නම් එය බෞද්ධ ඉගැන්වීම්වලට ප්‍රතිවිරුද්ධ ය. පුද්ගලයාගේ චරිත සංවර්ධනය ඇති කරවන හා සමාජ සම්බන්ධතා තහවුරු කෙරෙන පිළිවෙත් වශයෙන් සිඟාලෝවාද සූත්‍රයේ දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු ඉගැන්වෙයි. දානය හෙවත් පරිත්‍යාගය බෞද්ධයන්, ජාතිය ආගම ආදි විසමතා සලකා සිදු කරන්නක් නොවේ. පිරිසුදු සිතින් ඕනෑම පුද්ගලයකුට යමක් පරිත්‍යාග කිරීම පින්කමකි. තිරිසන් සතකුට වුව ද දන් දීම උතුම් ම ය. ප්‍රියවචන කතා කිරීම හා අර්ථ චර්යාව හෙවත් අනුන්ගේ දියුණුවට උදවු කිරීමට ද ජාති ආගම් භේද සලකා බැලිය යුතු නොවේ. සියලු සත්ත්වයන් පිළිබඳ සමානාත්මතාවෙන් ක්‍රියා කළ යුතු ය. ජාතික ආගමික සහජීවනය ගොඩ නැඟෙන්නේ එසේ ක්‍රියා කළ හොත් පමණකි. ඒ බව එදා පටන් ම මෙරට බෞද්ධයෝ දැන සිටියහ.විවිධ සංස්කෘතීන්ට අනුව හැඩ ගැසුණු අන්‍ය ජාතීන් හා අන්‍ය ආගමිකයින් වෙසෙන සමාජ වටපිටාවක අපට ජීවත් වීමට සිදුවූයේ යැයි සිතමු. ඔවුන් සමඟ මතවාද,ගැටුම් ඇතිකර ගන්නා තැනැත්තා බුදුදහමෙහි එන සහජීවන ප්‍රතිපත්තියට පිටුපාන්නකු බවට පත් වේ. සමාජයේ එක් කොටසකට පමණක් නොව සියලු දෙනා කෙරෙහි ම අප මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණය පැතිරවිය යුතු ය.වෛරයෙන්, ද්වේෂයෙන් තොර මනසින් සමස්ත සත්ත්ව වර්ගයා ම මා වැනි යැයි සිතමින් මෙත් වැඩීම ද, අනුන්ගේ දුක දැක හදවතේ අනුකම්පා සිතිවිලි ජනිත කර ගැනීම ද, සැපසේ ජීවත්වන පුද්ගලයන් දැක හෝ අසා ඔවුනට ඊර්ෂ්‍යා නොකොට මොවුහු යහතින් වෙසෙත් යනුවෙන් සතුටු සිත් ඇති කර ගැනීම නම් වූ මුදිතාව ද සැමවිට ම මධ්‍යස්ථ වසිතා කටයුතු කිරීම නම් වූ උපෙක්ඛාව ද අප මැනැවින් පුරුදු පුහුණු කළ යුතු ය.

පළමු සිල් පදයෙහි එන පරිදි ස්වකීය ජීවිතයට තමා බෙහෙවින් ප්‍රිය කරන්නාක් මෙන් අන්‍යයෝ ද තම තමන්ගේ ජීවිතවලට බෙහෙවින් ප්‍රිය කරති. දෙවැන්නෙන් කියැවෙන පරිදි පුහුදුන් සැවොම ස්වකීය වස්තුවට ඇලුම් කරති. එය වෙනත් අයකු විසින් සොරකම් කරනු ලැබීමෙන් වස්තු හිමියාට ඇති වන සිත් පීඩාව හා පාඩුව සැමට ම පොදු ය. මේවාට ජාති,ආගම්, කුල භේදයක් නොමැත. කය ද කායික වින්දනය ද වැරැදි ලෙස භාවිත කිරීමෙන් වැළකීම තෙවැනි සිකපදයෙන් කියවේ. එයින් වැළකීම මිනිස් සමාජයේ ශිෂ්ටත්වය හා සුහදතාව ආරක්ෂා වීමකි. බොරු කීම යනු අන්‍යයන් රවටන හැඟීමෙන් වංචාකාරී අදහසින් යුතු ව යමක් පැවසීමයි. සුරාවෙන් වැළකීම කායික, මානසික නීරෝගීතාව මනාව ආරක්ෂා වීමට බලපායි.

බුදුරජාණන් වහන්සේ අනුන්ගේ දියුණුව උදෙසා ක්‍රියා කිරීම ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. අප එය ක්‍රියාවට නැඟීමේ දී ද කිසිදු ජාති, ආගම්, කුල භේදයක් අදාළ කරගත යුතු නොවේ. අනුන් යනු තමා හැර සියලු ම දෙනා බව සිහියේ තබාගත යුතුය. කෙතෙක් යහතින් ජීවත් වුව ද යමකු ඕනෑ ම අවස්ථාවක අසරණ භාවයට පත්වීමට ඉඩකඩ ඇත. ඇතැම් විට රෝගපීඩා, ගංවතුර, සුළි සුළං, නායයෑම්, නියඟය ආදි විපත් මෙයට බලපෑ හැකි ය. මෙබඳු විපත් ජනතාවට උදාවන්නේ ජාතියක්, ආගමක්, කුලයක් බලා නොවේ. එබැවින් සෑම විටක ම එකී භේද නොසලකා අසරණ වූවන්ට උපකාර කිරීම ද බුදුදහම අනුගමනය කිරීමකි. සැප දුක දෙකෙහි දී ම තමා හා අනුන් සමාන ලෙස සලකා ක්‍රියා කිරීමේ මාහැඟි ගුණාංගය සමානාත්මතාවයි. මෙය මිනිස් සමාජය තුළ පිරිහෙමින් පවත්නා බවක් පෙනේ.

මෙම සමානාත්මතාව මෙරට බෞද්ධයන් ලෙස අප මැනැවින් ප්‍රගුණ කළ යුතු ගුණාංගයක් වන අතර එයට ද කිසි සේත් ම ජාති, ආගම්, කුල භේද අදාළ කරගත යුතු නොවේ. තව ද නූතන සමාජය තුළ ඇතැමුන් අන්‍ය මත ඉවසීම කෙරෙහි එතරම් නිවැරැදි ප්‍රතිචාරයක් දක්වන බවක් නොපෙනේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන අවදියේ බොහෝ මිථ්‍යා මත දැරූ ආගමික නායකයෝ සිටියහ. ඒ සෑම දෙනෙක් ම ස්වකීය දහම හුවා දැක්වූ අතර, අන් සියලු දහම් හෙළා දුටුවහ. එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කවරකු පැවසුව ද නිවැරැදි අර්ථවත් දේ පිළිගැනීමත්, එසේ නොවන දේ බැහැර කිරීමත් සිදු කළ යුතු බවයි. සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වීමට නම් සියලු ආගම් ඇදහිය යුතු යැයි යමකු අදහස් කළ හොත් එය සහමුලින් ම වැරැදි සහගත බව ද අප තේරුම් ගත යුතු ය.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]