[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර පසළොස්වක 2022-01-17

අප්‍රමාදී වෙමු

සැවැත්නුවර මහලී නම් ලිච්ඡවී රජු දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තමන්ට ගැටලුවක් ඇති බවත්, එය විසඳා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය. ඒ සක් දෙවිඳුන්ට එම පදවිය හා අතිශය වූ සැප සම්පත් ලැබුණේ කෙසේද යන්න පිළිබඳ ය.

එහිදී බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක සක් දෙව්රද අප්‍රමාදී වූ අයුරු පෙන්වා දුන්හ. ඒ කතා පුවතට අනුව ඈත අතීතයේ මගධයෙහි මචල නම් ගමක් විය. එහි ඉතා ගුණ යහපත් තරුණයෙක් විය. මඝ නම් වූ එම තරුණයා වෙත වූ සුවිශේෂී ම ගුණයන් වූයේ කිසිදු හේතුවකට කෝප නොවීම හා අනලස්බව ය.

දිනක් මඝ බොහෝ දෙනා රැස්වන උත්සව භූමියක කොටසක් පිරිසුදු කරමින් සිටියේ තමන්ගේ පරිහරණයට ය. මනාව සැකසූ බිම දුටු අන් පුද්ගලයෙක් පැමිණ එතැනට හිමිකම් කීවේ ය. මඝ වෙනත් තැනක් පිරිසුදු කර ගත්තේ ය. තවත් කෙනෙක් එතැනට ද හිමිකම් කීවේ ය. මෙසේ කිහිප අවස්ථාවක ම සිදුවූයේ මේ අසාධාරණ යයි. එහෙත් මඝ කෝප වූයේ නැත. එය තමන්ට වූ අලාභයක්, පාඩුවක් ලෙස නොසලකමින් ඒ ගැන අපූරු ලෙස සිතන්නට ඔහු පෙළඹුණේ ය. මෙලෙස වෙහෙස මහන්සී අනුන් වෙනුවෙන් උපකාරී විය හැකි බවත් ඒ මඟින් පින් රැස් කරගත හැකි බවත් ඔහු කල්පනා කළේ ය. ඒ අනුව විශාල ප්‍රදේශයක් පිරිසුදු කරමින් බොහෝ දෙනකුට පහසුකම් සලසන්නට ඔහු එය අවස්ථාවක් කර ගත්තේ ය. ඉන් බොහෝ දෙනකුට සැප සැලසුණි. සතුටට පත්වුණි. අනුන් සතුටු වනු දැක මඝ ද සතුටු වූයේ ය. ඒ සතුටු සිත තව තවත් යහපත් දැයෙහි ම ඔහු පෙළඹවීය. මේ යහපත් පුද්ගලයා සමඟ තවත් තරුණ පිරිස් එක් විය.

එක් අවස්ථාවක හොඳ කරන්නට ගොස් එවැනි දෑ දකිනු නොරිසි වූ අයගේ කේලාම් නිසා රාජ උදහසට ලක් වෙන්නට ඔවුන්ට සිදු වුණි. යහපතෙහි හැසුරුණු ඔවුන්ට අයහපතක් කරන්නට හැකියාවක් නොලැබුණි.

මඝ මානවක තම පිරිස් සමඟ තව තවත් අප්‍රමාදී වෙමින් පින් රැස් කරගත්තේ ය. මිය ගිය කල්හිද ඒ අනුසස් ලැබුණි. ඒ සක් දෙව් රාජ පදවිය ලබමිනි. කලණ මිතුරා සමඟ එක් වූ අනෙක් පිරිස ද දෙව්ලොව පහළවූහ.

මේ කතාව අප නිතර අසා පුරුදු වූවකි. එහෙත් ඒ මඟින් දෙන පණිවුඩය ගැන අවධානය යොමු කරන බවක් සමාජයේ වැඩි දෙනෙක් තුළින් ගම්‍ය වන බවක් පෙනෙන්නට නැත. කුඩා දෙයටත් කෝපව, තමන්ට වන සාධාරණකම්, ආසාධාරණකම් පසුපසම දුවමින් සියලු කටයුතු පසෙක දමමින් කාලය කා දමන, ගැටලු නිර්මාණය කරමින් ජීවිතය ම අපායක් කර ගන්නා අයට මඝ චරිතය අපූර්ව ආදර්ශයකි. අසාධාරණකම් ඉවසීම යැයි නිවට වීමක් ගැන මෙහිදී අදහස් කළේ නැත. සෑම දෙයක ම නරකම දකිමින්, දොස් දකිමින් ඍණාත්මක ව සිතමින් පසු බසිනවාට වඩා ධනාත්මක සිතිවිලි ඇති කර ගනිමින් ජීවිතය ජය ගන්නට ය, මේ චරිත විසින් අප පොළඹවනු ලබන්නේ. අනෙක් ආදර්ශය අනුන්ගේ දියුණුව, සුව පහසුව, සතුට දැක සතුටු වීම ය. බොහෝ දෙනකුට නැත්තේ ද එයම ය. ඒ ඍණාත්මක බව ආධ්‍යාත්මික පරිහානියේ ලකුණකි. මඝ සතු තවත් සුවිශේෂී පුරුදු සතක් විය. ඒ මව්පිය උපස්ථානය, වැඩිහිටියන්ට ගරු කිරීම, නපුරු වචන නොකීම, කේළාම් නොකීම ආදී සත්වත පද ලෙසින් හැඳින්වෙන ගුණ ධර්මයන් ය. අනුන්ගේ ඇද සොයමින්, පරිහානියට නොගොස් මෙවැනි ගුණධර්ම වඩමින් තමන් ගැන සොයන්නට අප්‍රමාදීවීම ජීවිතයට වටිනාකමක් ගෙන දෙන බව සිතට ගත යුතු කාලය එළඹ ඇත.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]