[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසුරු කරන අයගේ සැබෑව හඳුනා ගන්න මේ කරුණු ගැන අවධානයෙන් ඉන්න

ඇසුරු කරන අයගේ සැබෑව හඳුනා ගන්න මේ කරුණු ගැන අවධානයෙන් ඉන්න

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි කොසොල් මහ රජු උන්වහන්සේ සමඟ කතාබහ කරමින් සිටින විට මහ මඟ ගමන් කරන ජටිලයන්, නිගන්ඨයන්, අචේලකයන්, ඒකසාටකයන්, පරිබ්‍රාජකයන් සත් දෙනා බැගින් නොයෙක් තවුස් පිරිකර ගෙන මාර්ගයෙහි යනු දුටුවේ ය. ඒ දුටු රජු උතුරු සළුව ඒකාංශ කොට බුදුරජාණන් වහන්සේගෙන් තරමක් මෑත් වී දණ බිම ඇන, ඇඳිලි බැඳ මාර්ගයේ ගමන් කරන ශ්‍රමණ පිරිසට ඇසෙන සේ තමන් පසේනදී කොසොල් රජ බව දැන්වීය.

අනතුරුව නැවතත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි රජු සුළු මොහොතකට පෙර ගමන් කළේ රහතන් වහන්සේලා හෝ ඒ මඟට යොමු වූ අය බව පැවසී ය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ මහරජ, තමන් වැනි ගිහි සැප විඳින. එහි ඇලුන අයකුට රහතන් වහන්සේලා හෝ එම මඟට යොමුවූවන් හඳුනා ගත නොහැකි බව වදාළහ.

මිනිසුන් රූපයෙන් මනාව හඳුනාගත නොහැකි බවත්. දුටු පමණින් විශ්වාස කළ නොහැකි බවත්, අසංවර අය සංවර අයගේ ස්වරූපයෙන් ලෝකයෙහි හැසිරෙන බවත්, අභ්‍යන්තරයෙන් අපිරිසුදු එහෙත් බාහිරින් සෝභමාන වූ අය රනින් වැසුණු මැටි කොඩොලක් හෝ අඩමස්සක් මෙන් හැසිරෙන බව ද පෙන්වා දුන්හ.

යමකුගේ යථා ස්වභාවය හඳුනා ගත හැකි නිර්නායක කිහිපයක් එහිදී උන්වහන්සේ පැහැදිලි කොට ඇත. ඉන් පළමුවැන්න යම් කෙනකු ගේ සිල්වත්බව හඳුනා ගත හැක්කේ එකට වාසය කිරීමෙන් බවයි.

(සංවාසෙන ඛො මහාරාජ සීලං වේදිතබ්බං) යමකු දුටු පමණින්, වචන කිහිපයක් කතා කළ පමණින් ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වටහා ගැනීමට නොහැකි බව මින් අදහස් කෙරෙන අතර, කලක් ඇසුරු කිරීමෙන් ම ඒ පුද්ගලයාගේ යහපත් අයහපත් ස්වරූපය හඳුනාගත හැකි බව මින් පෙන්වා දෙයි.

දෙවන කරුණ නම් පුද්ගලයාගේ පිරිසුදු බව වටහා ගත හැක්කේ කතා ව්‍යවහාරයෙන් බවයි. බොහෝ සෙනෙහෙබර වදන් තෙපලන, කරුණාවෙන් ලතෙත් හදවතක් ඇතැයි පෙනෙන ලෙස කතාබස් කරන සමහර අය යම් යම් අවස්ථාවන්හි දී ඒ ස්වරූපයට හාත්පසින් ම වෙනස් ස්වභාවයන් ගන්නා අයුරු අපි දැක ඇත්තෙමු.

ඉදිරිපිට කරන කතාවත්, අසම්මුඛයෙහි කරන කතාවත්, මුලින් කළ කතාවත්, පසුව කරන කතාවත්. එකිනෙකට පරස්පර වන්නේ නම්, එතැන පවතින්නේ පුද්ගලයාගේ අපිරිසුදු සිතිවිලිත් සමඟ ගොඩනැඟෙන වංචනික ප්‍රයෝගයන් ය. ඒ අනුව පුද්ගලයාගේ පිරිසුදු අපිරිසුදු බව වටහා ගැනීමට කතා ව්‍යවහාරය ප්‍රයෝජනවත් වේ.

ඉහත කරුණු දෙකට ම අදාළ කරගත හැකි පුවතක් කකචුපම සූත්‍රයෙන් දැක ගත හැකි ය. සැවැත්නුවර වෙදෙහිකා නම් ගෘහපතිනියක් වූවා ය. ඇය ඉතා කාරුණික ගති පැවතුම් ඇති නිවුණු තැනැත්තියක ලෙස සමාජයේ ගෞරවාදරයට ලක්ව සිටියා ය.

කාලි නම් දාසියක් ඇයට සිටි අතර, ඇය දක්ෂ, අලස නැති, තමන්ට පැවරුණු වැඩ නිසි ලෙස ඉටු කරන තැනැත්තියකි. දිනක් ඇයට අමුතු සිතිවිල්ලක් ඇතිවුණි. ඒ තම ස්වාමි දියණිය පරික්ෂා කිරීමටයි.

තමන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන, සමාජයේ කා අතරත් නිවුණු යහපත් තැනැත්තියක් ලෙස ප්‍රකට තම ස්වාමි දියණිය සැබැවින් ම කාරුණික ද නැතහොත් තමන් සියලු කටයුතු මැනවින් ඉටු කරන නිසා කේන්තිය සඟවා නිවුණු ස්වරූපයෙන් සිටින්නේ ද යන්න පරික්ෂා කිරීමට යි. ඒ අනුව ඇය දිනක් වෙනදාට වඩා දවල් වන තුරු නිදා ගත්තා ය. එදින ස්වාමි දියණිය නොසතුටු සිතින් තමන්ට අවවාද කළ සැටි ඇය පරික්ෂා කළා ය.

දෙවැනි දින ඊටත් වඩා දවල් වන තුරු නිදා ගත් හෙයින් එදින ස්වාමි දියණිය නොසතුටු සිතින්, නො සතුටු වදනින් කතා කළ අයුරු දුටුවා ය. පසු දින තවත් දවල් වන තුරු නිදා සිටි දාසියට නොසතුටු සිතින්, දෝෂාරෝපණය කරමින්, දොර පොල්ල ගෙන ඇයගේ හිසට පහර දුන්නා ය.

පහර කෑ ඇය පාරට විත් නිවුණූ ගති පැවතුම් ඇති යහපත් තැනැත්තියගේ ක්‍රියා කලාපය බලවු යැයි කෑගසූ අතර, ඇයගේ කීර්තිරාවය ඉන් පහව ගොස් අපකීර්තියක් සමාජගත විය. මේ පුවත තුළින් ප්‍රකට කරන්නේ ද දුටු පමණින්, කතාබස් කළ පමණින්, සිනහව දුටු පමණින් මිනිසුන්ගේ යථා ස්වභාවය හඳුනා ගත නොහැකි බවයි. තුන්වන කරුණ නම් කරදරයක්, විපත්තියක් වන අවස්ථාවන්හි දි ශක්තිය විමසා බැලිය හැකි බවයි. (ආපදාසු ඛෝ මහාරාජ ථාමෝ වේදිතබ්බෝ) මෙහි ථාමො යනු ඥාන ශක්තියයි.

ඥාන ශක්තිය දැකිය හැකි වන්නේ කරදර විපත් නැති කලට නොව ඇති කලට ය.

එසේ ඥාන ශක්තිය නැතිනම් දොරක් නොමැති ගෙයකට ඇතුල් වූවකු මෙන් කළ යුතු දේ නොදැන හැසිරෙන්නට සිදු වනු ඇත. එබැවින් ඉදිරියට එන ප්‍රශ්න, විපත් අභියෝග හමුවේ නොසැලි ශක්තිමත්ව සිටිය හැකි නම්, එය වැදගත් ය. එමෙන්ම කෙනකුගේ ප්‍රඥාව දැකිය හැකි වන්නේ සාකච්ඡාව තුළිනි. (සාකච්ඡාය ඛෝ මහාරාජ පඤ්ඤා වේදිතබ්බා) මෝඩයාගේ කතාව ජලයෙහි පන්දුවක් සේ උඩට මතු වේ. එහි ගත යුත්තක් නැත. එහෙත් නුවණැත්තාගේ කතාව ගැඹූරුය. අවබෝධ වන සුළු ය. එබැවින් යමකුගේ ප්‍රඥාව දැකිය හැක්කේ නිහඬව සිටියදී නොව සාකච්ඡාව තුළින් ම ය.

මේ සියලු කරුණුූ අවබෝධ කර ගත හැක්කේ කෙටි කලකින් නොව දිගු කලක් ගතවීමෙන් බවත්, මෙනෙහි කරන්නවුන් විසින් මිස මෙනෙහි නොකරන්නවුන් විසින් නොවන බවත්, නුවණැත්තන් විසින් මිස මෝඩයන් විසින් නොවන බවත් බුදුරජාණන් වහන්සේ වැඩි දුරක් පෙන්වා වදාළහ.

මෙම දේශනාව අවසන රජු බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ ඒ ගමන් කළ පිරිස ශ්‍රමණයන් නොව තමන්ගේ චර පුරුෂයන් බවයි. මේ කරුණු සතර මිනිසුන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් කර ගත හැකි වටිනා නිර්නායකයෝ ය.

අනෙක් කවර හෝ සතකුගේ ස්වභාවය පහසුවෙන් ම හඳුනා ගැනීමට හැකි වෙතත් මිනිසා එලෙස පහසුවෙන් හඳුනාගත නොහැකි ය. එබැවින් මෙම කරුණු සතර පිළිබඳ දිගු කලක් පුරා කෙරෙන නිරීක්ෂණයෙන් මිනිසුන් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගෙන අයහපත් චරිත ඇත්තවුන් නිසි මඟට යොමු කරවාලීමටත් , යහපත් චරිත ඇත්තවුන් සමීප කරගෙන කටයුතු කිරීමටත් උනන්දු වෙමු.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]