[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිදහසේ ලැගුම් ගෙන නිහඬව සිතන්නට ඇති එකම විශ්‍රාම බිම සොයා යමු

නිදහසේ ලැගුම් ගෙන නිහඬව සිතන්නට ඇති එකම විශ්‍රාම බිම සොයා යමු

සැප දුක් මතින් නිති පෙරළෙන ජීවිතයට උදාර අරුතක් ලබා දුන් බුදුරජාණන් වහන්සේ සැබෑම විමුක්තියේ නියමුවාණන් වූ සේක. ජීවන බර හිස මත පටවා සසර දුක් රැස අමතක කර දමා උමතුවෙන් දිව යන ජන සමාජයට නිදහසේ ලැගුම් ගෙන නිහඬව සිතන්නට ඇති එකම විශ්‍රාම භූමිය ලෙස සම්බුදු සසුන පිහිටවූ ඒ මහා නැණවතාණෝ හැර ඔබට මට අන් පිළිසරණක් නැත්ම ය.

තමා විසින් කරන ලද සුකෘත දුෂ්කෘතයන්ට අනුරූපී විපාකයන් තමා කරාම කෙදිනක හෝ පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. මුවගට සිනාවත්, ගතට සුව සහනයත්, සිතට ආනන්දයත් රැගෙන අප වෙත පැමිණෙන සුකෘත විපාකය ජීවිතය පීනනයට පත් කරයි. එහෙත් නෙතු අග කඳුළු රඳවමින් හැඬීම් වැලපීම් ඇති කරවමින් සිත ගත වේදනා භරිත කරමින් පැමිණෙන දුෂ්කෘත විපාකය මුලු ජීවිතයම කඳුළු සාගරයක ගිල්වා තබයි.

දානය , සීලය හා භාවනාව වශයෙන් පුණ්‍ය ක්‍රියාවන් තුනකි. ස්වල්ප වශයෙන් දන් දෙමින්, යන්තමින් සිල් රකිමින් භාවනාමය පිනක් කිසිසේත් නොකර සිටින කෙනෙක් මරණින් මතු මිනිස් ලොව උපදියි නම්, ඉතා අභාග්‍ය සම්පන්න ජීවිතයක් ඔහුට හිමි වේ. දුගී දුප්පත්ව දුර්වර්ණ රූපයකින් යුතුව පහත් කුලයක උපත ලබා අන්ත අසරණයන් වන්නේ එබඳු පුද්ගලයන් ය.

භවභෝග සම්පත් යහමින් ඇති කල්හි ස්වල්ප වශයෙන් දන් දෙන ඇත්තන්ට හා පිරිසුදු සිල් රැකීමේ අවස්ථාව හිමිව තිබිය දී එය මඟහරින ඇත්තන්ට මරණින් මතු උපත මිනිස් ලොව වේ නම් දිවිතුරාවට කුසගිනි වේදනාවෙන් දුක් විඳින්නට සිදුවේ. ඇතැම් විට එවන් ජීවිතයක පිනක් දහමක් නොපිරෙන බැවින් අපාගාමී වන්නට ද සිදුවේ.

යම්කිසි ප්‍රමාණයකට දන් දෙමින් අවම වශයෙන් පඤ්ච සීලයවත් ආරක්ෂා කරන ඇත්තන් මරණින් මතු මිනිස් ලොව උපත ලබා ධනයෙන්, බලයෙන්, කුලයෙන්, රූප සොබාවෙන් ආඪ්‍ය වූ ජීවිත හිමිකර ගනී. මිනිස් ලොව සැප සම්පත් විඳින සියල්ලන්ම පාහේ දන් දී පමණට සිල් රැකි එහෙත් භාවනාමය පින් නොකළ උදවිය යි.

නිර්ලෝභී ව තමාට හැකි උපරිම මට්ටමකින් දානපතියකු ලෙස දන් පැන් පූජා කරමින්, නිති පන්සිල්, පොහොය අටසිල් පිරිසුදු සීලය රක්ෂා කරමින් දිවි ගෙවන, එහෙත් භාවනාමය පින්කමක් සිදු නොකළ ඇත්තෝ මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදිති. ඒ අතර සතරවරම් දෙවිරාජවරු මිනිස් ලොව විසු පෙර ජීවිතයන්හි දිවි පරදුවට තාබ දන් දී සිල් රැකි උතුමෝ ය. දෙවිරාජවරු මිනිස් ලොව විසූ පෙර ජීවිතයන්හි දිවවිවි පරදුවට තබා දන් දි සිල් රැකි උතුමෝ ය. ඔවුහු කරුණු දහයකින් සෙසු චාතුම්මහාරාජික දෙවියන් අභිභවනය කරති. එනම් දිව්‍යමය ආයු, වර්ණ, සුව,යස, අධිපති බව හා දිව්‍යමය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මෙකී කරුණුවලින් ඉහළින්ම වැජඹෙති.

චාතුම්මහාරාජිකයෙහි ඉපදීමට හේතු වු යම් පින් බලයක් වේ නම් ඊටත් වඩා වැඩියෙන් දන් දී , සිල් පුරුදු කළ එහෙත් භාවනාමය පින් නොකළ පින්වත්හු මරණින් මතු තව්තිසා දෙව් ලොව උපදිති. එහි උපන් සක් දෙවි රජු ඉහත කී ආයු, වර්ණ ආදි කරුණු දහයෙන් සෙසු සියලු දෙවියන් ඉක්මවා සිටින අතර චාතුම්මහාරාජික හා තාවතිංස යන දෙදෙව් ලොවට රජතුමා වේ.

තවදුරටත් උසස් ආකාරයෙන් දන් පැන් පුජා කොට පිරිසුදු සිල් රැකි එහෙත් භාවනාමය පින් නොකළ ඇත්තෝ උපදින්නේ යාම දිව්‍ය ලෝකයෙහි ය. එහි රජතුමා වන සුයාම දෙවි රජු සෙසු යාම දෙවියන්ට වඩා ආයු, වර්ණාදියෙන් අගතැන් පත්ව වාසය කරයි.

මිනිස් ලොව වෙසෙන කාලයේ යාම දෙව් ලොව උපන් උදවියටත් වඩා ඉහළින් දන් දී ඉහළින් සිල් ආරක්ෂා කළ, එහෙත් භාවනාමය පින් නොකළ පිත්වත්හු මරණින් මතු තුසිත දෙව් ලොව උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. සන්තුසිත දෙවිරජු තුසිත දෙව්ලොව අධිපති වන අතර, සෙසු තුසිත දෙවියන්ට වඩා ආයු, වර්ණාදී දස කරුණින් ප්‍රභූත්වය උසුලයි.

නිම්මානරතී දෙව් ලොව උපදින්නේ තුසිතයේ උපන් පින්වතුන්ට වඩා ඉහළින් දාන, සීල පින් කරන ලද එහෙත් භාවනාමය පින් නොකළ උදවිය යි. සුනිම්මිත දෙවිරජු එහි අධිපති වේ.

කාමාවචර භූමියෙහි ඉහළම ස්ථරය වන්නේ පරනිම්මිත වසවත්තී දේව ලොව යි. සෙසු සියලු දෙවියන්ට වඩා දානයත්, සීලයත් ඉහළින් සම්පාදනය කළ, එහෙත් භාවනාමය පින් නොකළ උදවිය එහි උපදිති. වසවත්තී දෙවිපුතු එහි අධිපති වන අතර සියලු දෙවියන්ට වඩා බලවත් වේ.

භාවනාමය පින් සිදු කළ උදවිය ධ්‍යාන වැඩීම් වශයෙන් බ්‍රහ්ම ලෝකයේ උපදින අතර කල්ප ගණනින් ආයු ශ්‍රී විඳීමේ භාග්‍යය ඔවුනට හිමි වේ. දන් දෙන සිල්වතාට තමා කැමැති සැපතක් ලැබිය හැකි ය. ඊටම භාවනාවත් එකතු වේ නම් මෙලොවදීම මගඵල නිවන් අවබෝධ කළ හැකි වේ.

කිසිදු පිනක් නොකර අකුසලයෙන් නැහැවී කල් ගෙවන උදවියට ඉහත කී පුණ්‍යාත්මි අවස්ථාවන් හිමි නොවේ. අමාරුවෙන් නමුත් හැඟීම් පාලනයක් හා හොඳ ඉවසීමක් ඇති කල්‍යාණ මිත්‍ර ඇසුර පවත්වා ගන්නා පුද්ගලයාම පමණක් මරණින් මතු සුගතියෙහි උපදින අතර පින්ඵල පැමිණෙන්නේ ඔහු කරාම ය.

ප්‍රාණඝාතාදි දුසිරිත් සිදුකරන පුද්ගලයා තාවකාලික ව යම් ආස්වාදයක් ලබන නමුත් ආලෝකයෙන් අන්ධකාරය වෙත ගමන් යන්නාක් මෙන් මිනිස් ලොවින් චුතව සතර අපායට ගමන් කරයි. එහෙත් මෝහයේ ඇති බලවත් භාවය නිසා ඔහුට පාපයම මිහිරක් ලෙස වැටහේ. කුසලය නීරස ලෙස හැඟේ.

පින් පව් මිශ්‍ර වශයෙන් සිදුකරන උදවියට සුව දුක් මිශ්‍ර වූ ජීවිත හිමි වේ. එහෙත් අකුසල බර වැඩි වී නම් දුගතිය හා මුලුමනින්ම දුක් විපාකයන් ද, කුසල බර වැඩි වි නම් සුගතිය හා සැප දුක් විපාකයන් මිශ¡¡ ලෙසද හිමි වේ.

කර්ම විෂය ය අචින්ත්‍ය වූවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. අනාදිමත් සසර පුරාවට අප විසින් සිදුකරන ලද මෙතෙක් විපාක නොදුන් අප්‍රමාණ කුසලාකුසල කර්ම ප්‍රමාණයක් ඇත. ඒවා ලද අවසරයෙන් විපාක පිණිස ඉදිරිපත් වේ.

මිනිස් ලොව හා සුගතිය දුර්ලභ වන්නේ කුසලය දුර්ලභ නිසාවෙනි. කුසලය දුර්ලභ වන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර දුර්ලභ බැවිනි. කල්‍යාණමිත්‍ර ඇසුර දුර්ලභ වන්නේ බුදු උපත දුර්ලභ නිසාවෙනි.

අප ජීවත්වන මේ යුගය කෙබඳු ව්‍යසන මධ්‍යයේ ගෙවි ගියත් බුද්ධෝත්පාදයකි. බුද්ධානුසාසනාව පවතින, ඇසෙන යුගයකි. පිනැති සැදැහැතියන්ට මංගල සමයකි. සසර දුක් හඳුනන්නන්ට ඉන් මිදී යාම පිණිස මල් මාවතකි. යෝනිසෝ මනසිකාරය හා සතිය වඩන සත්පුරුෂයන්ට මොක් පුර පිවිසෙන ස්වර්ණ ද්වාරයකි. අන්ධකාරයට බිය වන්නන්ට ප්‍රඥාවේ රන් හිරු මඩල උදාවීමකි.

දහමින් දහම තෝරා, ගුණයෙන් ගුණය අමුණා දවසින් දවස පුරන පුණ්‍ය පාරමිතාවන්ගෙන් සමලංකෘත ජීවිතයක් හිමිකර ගත් වාසනාවන්තයා වීමේ භාග්‍යය ඔබටත් උදා කර ගත හැකි ය. එහෙත් ඔබ ඒ උදෙසා බලවත් උද්යෝගයක් ඇති කර ගන්න. නොපසුබස්නා වීර්යයෙන් හා බුද්ධාලම්බන පී‍්‍ර‍්‍රතියෙන් යුක්ත වන්න.

කම්පල අදහන නුවණ දියුණු කිරීම පිණිස ලද සෑම අවසරයකින්ම සද්ධර්මය අසන්නට කියවන්නට පුරුදු වන්න. පශ්චාත්තාපයට ඉඩ නොතබා කාය, වාග්, මනෝ සුචරිතයෙහි යෙදෙන්න. දෑත දිගුකොට දන් දීමත් , ජීවිතය හිමිකොට සිල් රැකීමත් සමථ විදර්ශනා භාවනා වැඩීමත් තුළින් මගඵල නිවන් අවබෝධය වෙත අප්‍රමාදීව පිළිවෙත් පුරා ළඟාවීම පිණිස වාසනාව පෑදේවා!

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]