[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය


ධර්ම විනයධර සංඝ ශෝභන ගුණයෙන් උපශෝභිත මහ තෙරනමකි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියට අභිනවයෙන් පත් වන්නට යෙදුණූ අග්ගමහාපණ්ඩිත දොඩම්පහල චන්දසිරි අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශුභාශිංසනය පිරිනමන අතර ම අභිනව මහානායක ස්වාමීන්ද්‍ර පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් එළිදක්වනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහයට පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සංතෝෂයෙනි.

වර්ෂ 1950.11.25 දින උතුම් වූ ප්‍රව්‍රජ්‍යාවට පත්ව වර්ෂ 1962.06.17 වැනි දින මාතර ශ්‍රී මේධානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටි දොඩම්පහල චන්දසිරි අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාව පැවිදි ජීවිතයේ ඵල නෙළා ගැනීමට වඩාත් උචිත මාවත ලෙස තෝරාගෙන එකී ශාසන ප්‍රතිපත්තීන්හි මනාව පිහිටා කටයුතු කරන සීලවෘද්ධ, තපෝවෘද්ධ, ඤාණෝවෘද්ධ සංඝ නේතෘවරයාණන් වහන්සේ නමකි.

ධර්ම – විනයධර සංඝශෝභන ගුණයන්ගෙන් උපශෝභිත ව්‍යක්ත මහතෙර නමක් ලෙස තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝ රත්නයේ නොමද සම්භාවනාවට පාත්‍රව සිටින අභිනව උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1983 වර්ෂයේ සිට නොයෙක් ශාසනික ඨානාන්තරයන් උසුලමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මෙන් ම වත්මන් ලාංකේය සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදුකොට ඇති මෙහෙවර සුවිසල් ය. කල්‍යාණිවංශකීර්ති ශ්‍රී, වංගීසවංසාලංකාර, අමරපුර ගණපාමොක්ඛාචරිය ආදි ගෞරව සම්මාන ගණනාවකින් ම පිදුම් ලැබීම අභිනව මහා නාහිමියන්ගේ ශාස්ත්‍රාගම සම්බන්ධ ගැඹුරු ඤාණයට හා උදාර ලෝක ශාසනික සේවයට මහා නිදර්ශනයකි.

තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයේ සිත් දිනා ගනිමින් ගිහි – පැවිදි උභයපාර්ශ්වයේ ම සම්භාවනාවට පාත්‍ර ව සිටින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් අග්ගමහාපණ්ඩිත දොඩම්පහල චන්දසිරි අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉදිරියටත් උදාර ලෝකශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.


සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමෙහිලාවන කැපවීම ප්‍රශංසනීයයි

ශීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, යතිවරයන් වහන්සේලා නිසාම ශ්‍රී ලංකාවේ සඟ සසුන සෝභාවත් වූ බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සිරිමත් උත්තරීතර පදවියට කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්වීම ඉහත කාරණය මැනැවින් පැහැදිලි කරන්නා වූ අවස්ථාවකි. අභිනව මහා නායක පදවියට පත්වූ උන් වහන්සේ, තමන් සතු ගුණෝපේත ලක්ෂණයන් උපයෝගී කරගෙන බුද්ධ ශාසනය උදෙසා අමිල සේවයක් ඉටු කළ බව අප කවුරුත් දන්නා කරුණකි. සිරිලක දොඩම්පහල නම් ග්‍රාමයේ එදිරිසූරිය පටබැඳිගේ නම් සුප්‍රසිද්ධ පරපුරක ජන්ම ලැබ 1950 වසරේ දි සසුන් ගත වී , මාතර වීරබා පිරිවෙන සහ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙහි පැවිදි අධ්‍යාපනය ලබමින් සංඝයා වහන්සේ කෙනකුට උචිත මූලික අධ්‍යාපනය ලැබූහ. 1962 වසරේදී මාතර නිල්වලා උදකුක්ඛේප සීමාමාලකයේ දී පූජ්‍යපාද මාතර සද්ධර්මාරාම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ මාතර ශ්‍රී මේධානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුරු කොට අධිශීල සම්පන්න උපසම්පදාව ලැබූහ. කුඩාවැල්ලේ වංගීස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ භාවනා පුහුණුව ලැබූ උන්වහන්සේ විදර්ශනා භාවනාවට සහ වනවාසී සම්ප්‍රදායන් වැඩි දියුණු කිරීමට උචිත පරිසරයක් ඇති ස්ථානයක් බිහි කිරීමෙහිලා පුරෝගාමී විය. කොළඹ කලපළුවාවේ තපෝවනයත් මහනුවර උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනයත් තවත් දිවයිනේ බොහෝ තැන්හි උන්වහන්සේගේ දැක්මෙන් පෝෂණය වන්නේ ය. භාවනාව පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කර සිත දියුණු කිරීමේ ක්‍රම පිළිබඳ විශිෂ්ට පුහුණුවක් ලැබූ අභිනව මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ තුළින් අප රට තුළ මෙන් ම දේශ දේශාන්තරයන්හි ජීවත්වන බෞද්ධ ජනතාව තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කර සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමෙහිලා මහත් පිටුවහලක් විය.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සමස්ත මහා සංඝ රත්නයේ ගෞරවයට පාත්‍ර වෙමින් උන්වහන්සේ විටින් විට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ තනතුරු රාශියක් දැරූහ. ඒ අනුව 1996 වසරේ පාලක සංඝ සභාව නියෝජනය කොට 2009 වසරේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති පදවියට පත්වූහ. 2013 වසරේ දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නියෝජනය කොට සභාපති ධූරයට ද පත්වූහ. ඉන් අනතුරුව 2021 ජූලි මස 20 වැනි දින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක පදවියට පත් විය. අභිනව මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් චිරාත් කාලයක් ශාසනික කටයුතු සහ සේවාවන් සිදු කර ගෙන යෑමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා’යි ආශිංසනය කරම්හ.


දුර දක්නා නුවණින් කටයුතු කරන සංඝ නේතෘවරයාණන් වහන්සේනමකි

බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වැලිතර අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් අමරපුර සමාගම ආරම්භ වී එය ආකර්ෂණීය සඟ පරපුරකින් සැදුම් ලත් නිකායක් හැටියට සංවිධානය වීමේ දී නායකත්වය දුන් තෙරවරුන්ගෙන් එක් නමකි අතිපූජ්‍ය කතළුවේ ගුණරතන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වු සඟ පරපුර මුලදී අමරපුර කල්‍යාණවංස නිකාය නමින් හැඳින්වුණත් පසුව අමරපුර යන විශේෂණයෙන් තොරව කල්‍යාණ වංස නමින් වෙනම ම නිකායක් ලෙස ක්‍රියාත්මක විය.

ඒ නිසා ම එම නිකාය ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවට අන්තර්ගතව තිබුණේ නැත.

කල්‍යාණවංස නිකාය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පාර්ශ්වයක් බවට පත් වන්නේ අපේ වර්තමාන උත්තරීතර මහානායක මාහිමියන් වහන්සේ එවක දැක්වූ බලවත් උනන්දුව නිසා ය.

උන් වහන්සේ ප්‍රධාන නිකාය කාරක සංඝ සභාවේ දුරදක්නා බව අද පැහැදිලි වෙයි. අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්තමානයෙහි දොළොස් දහසක් පමණ භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයට පත්ව සිටිති.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති, සභාපති හා මහා මහෝපාධ්‍යාය යන පදවි දරා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඉහළම පදවිය වන උත්තරීතර මහා නායක පදවියට පත්ව සිටිති. එම පදවිය සෝභාවත් කරමින් විශේෂයෙන් අමරපුර සඟ පරපුරටත් පොදුවේ සම්බුද්ධ ශාසනයටත් විශිෂ්ට සේවයක් සිදු කිරීමටත් , දැනට කරන සේවාවන් වඩාත් ශක්තිමත්ව සිදු කිරීමටත් උන් වහන්සේට කායික මානසික ශක්තිය ලැබේවා'යි මෙම සාරාණීය අවස්ථාවේ දී මම ආශිංසනය කරමි.


ආදර්ශවත් යතිවර දිවිය ලෝ සසුන් වැඩ සදයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට අභිනවයෙන් තේරී පත්වී සිටින රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටුවා ඇති තදිය ශාඛාවන්හි ගරු අනුශාසක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේ වෙනුවෙන් සම්පාදනය කෙරෙන සුභාසිංසන සංග්‍රහයට පණිවිඩයක් ලබා දෙන්නේ ඉමහත් සතුටිනි.

අතිපූජ්‍ය දොඩම්පහල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහානායක ධුරය දරමින් දිගු කලක් ලෝ සසුන් වඩමින් කළ මෙහෙය අතිවිශාල ය. එකල්හි නිකායත්‍රයෙහි ම මහ සඟරුවන සමඟ කුළුණු මෙත් සිතින් ක්‍රියා කළ අයුරු පැසසුමට ලක්වූවකි. එහිදී මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ යතිවරයන් වහන්සේලා සමඟ ද ඉතා සමීප සුහද ඇසුරකින් කටයුතු කරමින් ආගමික, ජාතික, සාමාජික වශයෙන් සාර්ථක මෙහෙයක් සිදු කිරීමට නාහිමිපාණන් සමත්වී ඇත.කලපලුවාව ගෝතම තපෝවනයේ නිර්මාතෘ වරයාණන් මෙන්ම සිය ආචාර්යයන් වහන්සේ නමක් වූ අපවත්වී වදාළ අතිපූජ්‍ය කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක හිමිපාණන් වහන්සේගේ ගමන් මඟ වඩිමින් සිය ආයතනය හා ශිෂ්‍ය සමූහය මෙහෙයවමින් කටයුතු කරනු දැකීම කාගේත් පැසසුමට ලක්වූවකි. විදර්ශනා භාවනාව වැඩීමට රුචියක් දක්වන දෙස් විදෙස් යෝගාවචරයන්හට කමටහන් දෙමින් කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක ලෙස දිගු කලක් විශාල ශාසනික මෙහෙයක් ඉටු කරමින් අතිපූජ්‍ය වංගීස අධිකරණ නායක හිමිපාණන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමට අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනායාක හිමිපාණන් වහන්සේ සමත්වී සිටිති.

දොඩම්පහල මහානායක හිමිපාණන් වහන්සේගේ දිවි මගෙහි දී උන්වහන්සේට ලැබුණු තනතුරු සම්මාන උපාධි හා ගෞරව නාම බොහෝ ය. ඒ අතර අධිකරණ නායක, අනුනායක, මහානායක වැනි තනතුරු ද කල්‍යාණවංශකීර්ති ශ්‍රී වංගීසවංශාලංකාර ශාසන විභූෂණ අමරපුර ගණපාමොක්ඛාචරිය විපස්සනා කම්මට්ඨානාචාරිය අග්ගමහා පණ්ඩිත වැනි ගෞරව උපාධි නාමයන් ද ලබමින් අද වන විට ස්ව නිකායෙහි උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලැබීමට තරම් මහා නාහිමිපාණන් වහන්සේ භාග්‍යවන්තව සිටිති. මෙවන් ආදර්ශවත් යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහානායක හිමිපාණන් වහන්සේට මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආශිර්වාදාත්මක සුභාශිංසනය පිරිනමන අතර මෙතෙක් කරගෙන ආ ලෝක ශාසනික අර්ථ චර්යාව සාර්ථකව ඉදිරියටත් සිදු කිරීමට තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් , නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරම්හ.


ශාසනික ජාතික හා සාමාජයීය මෙහෙවර අතිශය ප්‍රශංසා කටයුතුයි

ශ්‍රී සම්බුද්ධ සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ආගමික, ශාසනික හා සාමාජීය වගකීම් සම්භාරයක් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මූලිකව සිදු වූ බව ගෞරවයෙන් සිහිපත් කරමි.

ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයේ අති මහත් භික්ෂූන් වහන්සේ පිරිසක් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නියෝජනය කරති. ඒ උතුම් සඟ පරපුරෙහි උත්තරීතර මහානායක ධූරයට පත් කලපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන කොට ඇති සෙසු මධ්‍යස්ථානවල අධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක සුබපැතුම් පළ කරමි.

තථාගතයන් වහන්සේ අනුදැන වදාළ මහා සඟ ගුණයෙන් අනූනව වැඩවසන, මහානායක හිමිපාණන් ශ්‍රී සද්ධර්මයෙහි, විනයෙහි, දේශනා චාතුර්යයෙහි පරිපූර්ණ පඬිරුවනකි. අභිනව ධූරයට පත්වීමට පෙර සිට අප නාසමිඳුන් වහන්සේ සමීපව ඇසුරු කිරීමෙන් ලද අනුශාසනා කෘතවේදී ව සිහිපත් කරමි.

දේශනයෙහි මෙන්ම අර්ථාන්විත කරුණු පැහැදිලි කිරීමේ උන්වහන්සේ සතු පරිචය මහානායක ධූරයේත්, තත් නිකායේත්, පූජනීය මහා සඟ පරපුරේත් උන්නතියට පිටිවහලක් වනු නොඅනුමාන ය.

ශාසනික, ජාතික, සාමාජීය උන්නතියට අප නාසමිඳුන් කරන මෙහෙය අතිශය ප්‍රශංසා කටයුතු ය.

ජාතික සහ ආගමික අනන්‍යතාව සහිතව මාතෘ භූමියේ ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ගත් මඟ ආදර්ශ සම්පන්න ය. එකී පූර්වාදර්ශයන් පෙරට ගැනීමට අප මහානායක ස්වාමීන් වහන්සේ සතු අධිෂ්ඨානයත්, කැපවීමත් මා බොහෝ අවස්ථාවන්හි දැක තිබේ. ඉන් අප නාසමිඳුන් දෙස් විදෙස්හි මහත් වූ සම්භාවනාවකට පාත්‍ර වූ බව ද සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන් යුතුව ය.

ශාසනමාමක සියලු දෙනාගේ ආදරයට, ගෞරවයට පත් ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමිපාණන් වහන්සේට අභිනව ධූරයෙහි ලෝ සසුන් වැඩ වැඩීමට සුවය, චිර ජීවනය ලැබේවා!යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.


වර්තමාන භික්ෂු පරපුරට ම ආදර්ශවත් සංඝ පීතෘවරයාණන් වහන්සේනමකි

“අප්පලාභෝපි චෙ භික්ඛු – සලාභං නාති මඤ්ඤති

තං වෙ දෙවා පසංසන්ති – සුද්ධාජීවං අතන්දිතං”

“ඉදින් යම් භික්ෂුවක් ප්‍රත්‍යලාභී නොවූවේ ද, තමාගේ ලාභය හෙළා නොදක්නේ වේ ද

පාරිශුද්ධ වූ ජීවිකාව ඇති කුසීත නොවූ ඒ භික්ෂුවට ඒකාන්තයෙන් දෙවියෝ ස්තුති කරත්.”

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයට තේරීපත් වූ මහාවිහාර වංශාලංකාර, ශාසන විභූෂණ, අමරපුර ගණමොක්ඛාචරිය, ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය. , අග්ගමහා පණ්ඩිත, අතිගෞරවාර්හ දොඩම්පහල චන්දසිරි අභිධාන නායක ස්වාමීන් වහන්සේ ඉහත බුදුවදනට අනුකූල වූ වර්තමාන භික්ෂු පරපුරට ම මහඟු ආදර්ශයක් සපයන සුපේශල ශික්ෂාකාමී මහ යතිවරයන් වහන්සේ නමකි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිව්වැනි උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලබන අප නායක ස්වාමීන් වහන්සේ, එම සංඝ සභාවේ පාලක සභාව හා විධායක සභාවන්හි සභික ධුර දරමින්, දීර්ඝ කාලයක් සම්බුදු සසුනටත්, ස්ව නිකායටත් අනභීභවනීය මෙහෙවරක් ඉටු කළහ.

වර්ෂ 2009 දී ස්ව නිකායේ උප සභාපති ධුරයට ද තේරී පත්වූ නායක ස්වාමීන් වහන්සේ වර්ෂ 2013 දී එම සංඝ සභාවේ සභාපති ධුරයට ද තේරී පත්වීම විශේෂිත ය.

ග්‍රන්ථ ධුරය මෙන්ම විදර්ශනා ධුරය ද ප්‍රගුණ කළ නායක ස්වාමීන් වහන්සේ, ශාසන චිරස්තිථිය සඳහා ඉටු කරන මෙහෙවර පිළිබඳ මම අතිශයින් සතුටට පත් වෙමි.

උන්වහන්සේ වැඩ වසන කලපළුවාව ගෝතම තපෝවන භූමිය රමණීය හා පරිසරාත්මක පුණ්‍ය භූමියක් වන අතර, එය මා සිත්ගත් ස්ථානයක් බව ද, මේ මොහොතේ දී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මාගේ රාජ්‍ය පාලන කාලය තුළ පමණක් නොව ඉන් පිටත දී ද නායක ස්වාමින් වහන්සේ මා සමඟ කල්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කළ අතර, විශේෂයෙන් උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා, විවිධ සේවාවන් ඉටු කිරීමේ දී මා හට මහත් ශක්තියක් හා ධෛර්යයක් වූ බව කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]