[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්සලෙන් රෝහලට දානයක

පන්සලෙන් රෝහලට දානයක්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි

ගිලානෝපස්ථානය බුද්ධ පූජාවක්. බුදුරජාණන් වහන්සේ සාධුකාර දුන් විශේෂ පින්කමක්. එලෙසම භාග්‍යවතුන් වහන්සේ අවවාදයෙන් සහ ආදර්ශයෙන් වර්ණනා කළ පින්කමක්. භාග්‍යවතුන් වහන්සේ වදාළේ යෝ භික්ඛවේ, මං උපට්ඨෙය්‍ය සෝ ගිලානං උපට්ඨහෙය්‍ය යමෙක් (මගේ වචනය පිළිගැනීමෙන්) මට උපස්ථානය කරයි නම්, ඔහු ගිලන් අයට උපස්ථාන කරන්නේ ය යනුවෙනි. (මහාවග්ග පාලිය)

භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි එවැනි උතුම් ගිලානෝපස්ථානයක් සිදුකරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් අපට මුණ ගැසුණා. ඒ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේ යි.

උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූවා. අපගේ මේ පුණ්‍ය ආයතනය කොළඹ ජාතික රෝහලේ පිහිටා තිබෙන්නේ. විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය නමින් . ආරම්භයේ දී සංඝාවාසය නමිනුයි ප්‍රසිද්ධ ව තිබුණේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩ සිටි මඬිහේ මහා නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි එදා වැඩසිටි බම්බලපිටිය වජිරාරාමවාසී ව වැඩ විසූ පන්නල විපස්සී හිමියන් විසින් මෙම පුණ්‍ය ආයතනය ආරම්භ කළා. 1974 දී සංඝාවාසය ඉදිකර ජාතික රෝහල තුළම ආරෝග්‍ය ශාලා සේවාවක් ලබාදීම පිණිස මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. උන්වහන්සේ එහිම වැඩ වාසය කරමින් රෝගීන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයටත් ආගමානුකූල ව ලබාදිය හැකි වත්පිළිවෙත් කිරීමයි මුලින් ම සිදුකළේ. ඊට අතිරේකව විපස්සි හිමියන් රෝහලේ නේවාසික රෝගීන් අසලටම ගොස් ඔවුන්ගේ අඩුපාඩු සොයා බලා ඒවා ලබා දී තිබෙනවා. උන්වහන්සේ රෝහල් පන්සල මුල් කරගෙන ජාතික රෝහල, අක්ෂි රෝහල, දන්ත රෝහල, ළමා රෝහල, අංගොඩ මානසික රෝහල, සොයිසා කාන්තා රෝහල ඇතුළුව තවත් සෙසු රෝහල්වලට මේ සේවාව ව්‍යාප්ත කළා. උන්වහන්සේ 1998 දී අපවත් වූ අතර 2010 සිට මේ ආයතනයේ වගකීම මට පැවරුණා.

අපි මෙම පුණ්‍ය කටයුත්ත තවත් පුළුල් කරමින් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළා. බොහෝ විට ඉතා අඩුපාඩුකම් ඇති කාත් කවුරුවත් නැති බොහෝ දුර පළාත්වලින් පැමිණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සිටිනවා. කායික ව වගේ ම මානසිකවත් ඔවුන් අසරණ යි. අප ඔවුන්ට දෛනික ව පරිහරණයට අවශ්‍ය කරන සියලු දේ වගේම ඇඳුම් පැළඳුම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රතිකාරවලදී පිටතින් ලබාගත යුතු ඖෂධ සඳහා මුදල් ආදිය රෝගීන් වෙත ලබා දෙනවා. රෝගියා විසින් වාට්ටුව බාර වෛද්‍යවරයාට ඔවුන්ගේ අපහසුතාව දැනුම් දුන් විට වෛද්‍යවරුන් අපගේ කාර්යාලයට එය දැනුම් දෙනවා. අප පැය 24 පුරාම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. රෝගියාගේ සියලු අවශ්‍යතා ඉටුකරන්නේ සද්භාවයෙන්මයි.

අපගේ මේ රෝහල් සේවා මණ්ඩලය පවත්වාගෙන යාමට මෙරට මෙන් ම පිටරට පදිංචි බොහෝ දානපතීන් උදව් කරනවා.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව සහ එංගලන්තය තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් වෛද්‍ය උපකරණ එකතු කර අප වෙත එවනවා. අපි හොඳින් සොයා බලා පහසුකම් අඩු රෝහල් වෙත ඒවා බෙදා හදා දෙන වැඩ පිළිවෙළක් සකසලයි තිබෙන්නේ. දැනට අපි රෝහල් 316 කට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබෙනවා.

සමහර රෝගීන් සිටිනවා ඔවුන් රෝහලින් මුදා හැරියත් නිවසට යෑමට ගමන් වියදම්වත් නැති ඉතා අසරණ වූ පිරිසක්. ඔවුන් වෙනුවෙන් මෙම සංවිධානය ඉදිරිපත් වෙනවා. තව පිරිසක් සිටිනවා තමාගේ ඥාතියා මියගිය පසු මෘතදේහය නිවසට, ගමට ගෙන යාමටවත් මුදලක් නැතිව ඔවුන්ට අපි මුදලින් ආධාර කරනවා. මෘත දේහ ගමට රැගෙන යාමට අකැමැති නම් අප පාංශුකූල චාරිත්‍ර සිදු කර ඒ ඥාතීන්ගේ සිත් සුවපත් කරනවා. මෙහිදී රෝගියාගේ අසරණ බව තීරණය කරන්නේ වට්ටුවේ කාර්ය මණ්ඩලය යි. පරිත්‍යාගශීලී ඕනෑම කෙනකුට මේ සඳහා දායක වෙන්න පුළුවන්. වියළි ආහාරවලට අමතරව රෝදපුටු, ඇඳන්, කිහිළිකරු වගේ ම රෝහලට සහ රෝගීන්ට අවශ්‍ය ඖෂධත් ඔබට පූජා කළ හැකියි.

බුදු දහමේ දී අපට කියා දෙනවා දස දිසාවට ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා දී ගුණ පතුරන්න කියලා. සැබෑ කරුණාව කියන්නේ තමා කවදාවත් නොදුටු නො හඳුනන කෙනකු වෙනුවෙන් යම් උපකාරයක් පරිත්‍යාගයක් කිරීම යි. යම් කෙනකුට එසේ කළ හැකි නම් කරුණාවේ, මුදිතාවේ දියුණු අවස්ථාවක් රෝහල් පන්සලෙන් සිදු කරන්නේ සැමට කරුණාව දැක්වීමයි. එනිසා ඔබත් මේ උතුම් ගිලානෝපස්ථානය සමඟ එකතුව ඈත පළාත්වල සිටින නාඳුනන රෝහලකට, රෝගි යෙකුට බලාපොරොත්තුවක් නැති අවස්ථාවක පිහිට වීමට හැකියාව තිබෙනවා.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]