[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර බැමිවලින් මිදීම අවබෝධ කොට ජීවත්වීම තරම් සැනසීමක් තවත් තිබේද?

සසර බැමිවලින් මිදීම අවබෝධ කොට ජීවත්වීම තරම් සැනසීමක් තවත් තිබේද?

අපවත්වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහානායක මහා නාහිමිපාණන් වහන්සේගේ 106 වැනි ජන්ම දින අනුස්සතිය වෙනුවෙනි

තෙවළා බුදුදහමේ පරම නිෂ්ඨාව වනුයේ ශාන්තියයි. මිනිසත් බව ලැබූ කවරකු හෝ මේ සැනසුම සාක්ෂාත් කරලීමට දැනුම් තේරුම් ඇති වූ දා සිට තමන් විසින් තෝරාගත යුතුව ඇත්තේ, දහමට අනුව නම් දුකින් මිදිය හැකි විමෝක්ෂ මඟම වේ. එනමුත් මේ මඟට වැටීමට නම් පෙර කළ පින් ඔවුන්ට තිබිය යුතු ම ය.

කෙලෙස් දුහුවිල්ලෙන් අපිරිසුදු වූ ගිහිගෙය සම්බාධ සහිත ය. අනගාරික වූ පැවිදි දිවිය එළිමහන මෙන් නිදහස් ය. විවෘත වූවකි. රහසිගත ක්‍රියා නැත. සැහැල්ලු ය. කරදර ද අවම ය. සාමීචි ප්‍රතිපදාවකට පිළිපන්නේ නම් තමාට හෝ තම උපස්ථායකයාට ද බරක් නොවන පරිදි තමාගේ ජීවිත අවශ්‍යතා අවම මට්ටමින් සපුරාගෙන ජීවිත කාලය පුරා සන්තුෂ්ටව කල් ගෙවා ජීවිත නිමාව කළ හැක.

වසර 102 කට ආසන්න කාලයක් දිවි සැරිය ගෙවූ අප කථානායකයාණෝ අපවත්වීමට දින 05කට පෙර ද ආධාරක රහිතව දෙපා මෙහෙයවමින් පා ගමනින් එහා මෙහා යමින් ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ කොළඹ 07 විජේරාම මාවත මහා නායක චාරිකාරම පරිශ්‍රයේ පැවැති රැස්වීමට වැඩමකොට සභාපති අසුන හොබවමින් සිනාමුසු පි‍්‍රයශීලි සරල වදනින් ගැඹුරු දහම් පද තෝරා දෙමින් සභාව මෙහෙය වූ අපුරු අයුරු දැනුදු සිහියට නැඟේ. ඒ අන් කිසිවක් නිසා නොව තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පැවිදි දිවියේ ම 90 වසරක කාලයක් සත්පුරුෂ දහමේ නියැළීමේ වාසනා ගුණ නිසා ම ය. මෙවන් උතුමන්ගේ සංසාර ගමන ද අනිවාර්යයෙන් ලඝු වේ.

1915 වසරේ ඌව පරණගම දවුල්දෙණ ග්‍රාමයේ උපත ලැබ 12 වියේ දී සාමණේර පැවිද්දට පත්ව 2017 වසර තෙක් පැවිදි සුවය 90 වසරක පමණ කාලයක් විඳිමින් කල්ගත කළේ විමුක්තිය සඳහා වූ සද්ධර්මාවබෝධය අරභයා ම බව දසක දෙකහාමාරක පමණ කාලයක් තුළ අපට ලැබුණු සමීප ඇසුර තුළින් සාක්ෂි දක්වමින් කීමට පුළුවනි. පිල් කළඹේ බර දරන මොනරාගේ ගමන සෙමින් ය. පියාපත් බර පමණක් ගෙන වේගයෙන් අහසේ පියාසර කරන ශ්වේත හංස රාජයකු බඳුව අල්ප අවශ්‍යතා ඇති සැහැල්ලු දිවියක් ගත කළ අප උත්තරීතර මහා නාහිමිපාණන් රැස් කිරීම පසෙකලා හිස් කරන පිළිවෙතක සිටි උතුමෙකි. එමෙන්ම පැවිදි දිවියක් තුළ සමීප කරගත යුතු බහුශ්‍රැත බව, විනය ගරුක විනීත බව, විශාරද ව්‍යක්ත බව යනාදි යහගුණයන්ගෙන් පිරිපුන් සංඝ නේතෘවරයෙකි.

පෙර පින් ඇති මෙවන් දරුවකු මෙලොවට ජනිත කළ මහා නාහිමිපාණන්ගේ මවුපිය දෙදෙනාටත්, සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියට හේතු කාරණා ඇති මෙවන් දරුවකු පැවිදි කොට ප්‍රාචීන- ප්‍රතිචීන භාෂා ශාස්ත්‍ර නිපුණත්ව ලබා දුන් සියලු උපාධ්‍යාචාර්ය උතුමන් වහන්සේලාට හා ජීවිත කාලය පුරා සිවුපසාදියෙන් ඇප උපස්ථාන කළ පැවිදි ගිහි සත්පුරුෂයනටත් පුණ්‍යානුමෝදනා කරමින් අප කථානායක උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලද මා හිමිපාණන් වහන්සේට ඉක්මන් භවයක දී ම පටිච්චසමුප්පාද සංඛ්‍යාත චතුස්සත්‍යාවබෝධය ලැබ නිවන සාක්ෂාත් කෙරෙත්වායි අදිටන් කරමු.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]