[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ගුණ නැණ සපිරි මහ තෙර නමකගේ ගුණ සුවඳ

 ගුණ නැණ සපිරි මහ තෙර නමකගේ ගුණ සුවඳ

සැතපුම් දහස් ගණනක් දුර ප්‍රංශ රාජ්‍යයේ ජීවත් වුව ද පූජ්‍යතර මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි යනු ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට ආගන්තුකයකු නොවේ. එයට හේතුව සත්පුරුෂ ජන නන්දනීය වූත්, විශිෂ්ටතම මුද්‍රිත බෞද්ධ මාධ්‍ය ප්‍රකාශය වූත් “බුදුසරණ” පත මඟින් උන්වහන්සේ නිරන්තරයෙන් ම ජනතාව ආමන්ත්‍රණය කිරීම යි.

ලේඛනයේත්, දේශනයේත්, විශේෂයෙන් ම බෞද්ධ දර්ශනය පාදක කොටගත් සමාජ සංවර්ධන කාර්යයේත් වත්මන් යුගයේ අමිල ආදර්ශයක් වූ ඤාණිස්සර නා හිමියන් හදිසියේ ම අප හැම හැර ගොස් දැනට දෙමසක් ගතව ඇත. එවන් ගුණ නැණ සපිරි මහ තෙර නමකගේ ගුණ සුවඳ බුදුසරණ පත මඟින් ම යළි යළිත් ආශ්වාදනය කරන්නට සැලසීම සත්පුරුෂ යුතුකමක් වෙයි. මේ ලිපිය ඒ වෙනුවෙනි.

“පස්ස කණ්හස්ස මන්දියං”

“මාරයා විසින් කරන ලද විපතක තරම බලනු මැනවි” යනුවෙන් සියලු සුධීන් ගේ මුවගට නැඟෙන අයුරින් මෑත යුගයේ සිදුවු තවත් එක් විපතක් නම්, අප හොඳින් දන්නා හඳුනන, මුළු රටම ගෞරවයෙන් සලකනු ලබන සංඝ නේතෘ වරයාණ කෙනෙකුන් වන පූජ්‍යතර මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීමයි.

1985 වසරේ දී ප්‍රංශයට වැඩම කර ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමය නමින් බෞද්ධ විහාරස්ථානයක් ගොඩනඟා ප්‍රංශයේ සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබ දසක තුනකට අධික කාලයක් ප්‍රංශයේ ජීවත්වන වියට්නාම, කාම්බෝජ , චීන, සිංහල, සහ ප්‍රංශ ජාතිකයන් වෙත අපමණ සේවාවක් සලසමින් අන්තර් ජාතික හා අන්තර් ජන වාර්ගික සමගිය හා සමාදානය බෞද්ධ ධර්මය තුළින් මනා ලෙස ගොඩ නඟමින් මහා සමාජ සාසන මෙහෙයක් කරමින් කීර්තිමත්ව වැඩ සිටි උන්වහන්සේ ගේ හදිසියේ අපවත්වීම අදහාගත නොහෙන, දරාගත නොහෙන මහම විපතක් සෙයින් කාගේත් සිත් සතන් කම්පාවට පත් කළේ ය.

ඤාණිස්සර නා හිමි ප්‍රංශයට වැඩියදා සිටම තම මාතෘ භූමියේ දියුණුවට හැකි සෑම දෙයක්ම සිදු කිරීමට අමතක නොකළහ. 1990 වසරේ සිටම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල් ආධාර සහිත ශිෂ්‍යත්ව පිරි නැමීම සිදු කළහ. මාසයකට රු. 3000 කට වැඩි වටිනාකමකින් යුතු එවන් ශිෂ්‍යත්ව අදටත් 225 ක් පමණ මාසිකව පිරිනැමෙයි.

තම උපන් ගම් ප්‍රදේශයේ මිද්දෙණිය නගර රෝහලේ ඇඳන් 50 කින් යුතු වාට්ටුවක් සියලු පහසුකම් සහිතව ඉදි කරන ලද අතර එහි වෛද්‍යවරුන් සඳහා පහසුකම් ද සැපයිනි. මේ කාර්ය සඳහා රුපියල් කෝටි 3 ක් පමණ වැය කෙරිණි. තම ගම් ප්‍රදේශයේ සියලුම වැඩිහිටියන්ට මුදල් ආධාර දීමේ ක්‍රමයක් ද සැකසූ උන්වහන්සේ , හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සියලුම පැවිදි ආදාහන උත්සව සඳහා ද ආධාර මුදල් පිරිනැමූහ.

එසේම තම ගම් ප්‍රදේශයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සියලුම සිසු සිසුවියන් සඳහා මූලික වියදම් සඳහා ආධාර පිරිනැමීමක් ද උන්වහන්සේ විසින් සිදු කරන ලදී.

2004 වර්ෂයේ සුනාමි විපත අවස්ථාවේ නිවාස විශාල සංඛ්‍යාවක් ඉදිකරන ලද අතර, වත්මන්හි කොරෝනා විපතින් පීඩිතව සිටින අසරණ අය වෙනුවෙන් ද නිවාස ඉදිකර පරිත්‍යාග කරනු ලැබිණ. මේ වන විට තන්තිරිමලේ ප්‍රදේශයේ එවැනි නිවාස කීපයක් ම විවෘත කරනු ලැබ ඇත.

මේ ආකාරයෙන්. ප්‍රංශයේ වැඩ සිටිමින් ඒ රටේ ජනතාවට අනූන වු සේවාවක් සිදු කරන ගමන්ම තම මව්බිමේ අසරණ, පීඩිත ජනතාව වෙනුවෙන් ද ඤාණිස්සර හිමිපාණන් ගේ උදාර වූ මෙහෙවර මැනවින්ම ඉටුකරන ලදී.

ප්‍රංශ, ඉංගී‍්‍රසි භාෂාවන් මනා ලෙස හසුරුවමින් උන්වහන්සේ බුදු දහම මැනවින් උගන්වමින් සිදුකළ මෙහෙය එරට වාසි බෞද්ධ ජනතාවගේ නොමද පැසසුමට යොමුවිය. එනිසාම උන්වහන්සේගේ සාසන සාමජ මෙහෙවරට උදව් උපකාර කිරීමට සැදැහැවත් බොහේ දෙනකු නොපැකිළව ඉදිරිපත්වූහ.

ඤාණිස්සර හිමිපාණන් මෙරටට ප්‍රදානය කළ විදේශ විනිමය ප්‍රමාණතික්‍රාන්ත ය.

ඒ විදේශ විනිමය ප්‍රධාන කොටස් දෙකකින් යුත්ත ය. පළමුවැන්න මූල්‍යමය විදේශ විනිමයයි . දෙවැන්න නම් විදේශ කීර්තිය, ජාත්‍යන්තර ගෞරවය නැමැති විදේශ විනිමයයි.

එවන් හිමි නමකගේ හදිසි වියෝව අප හැමට ම දරාගත නොහෙන වේදනාවකි. ශාරීරිකව උන්වහන්සේ අප අතරින් නිකුත් වී ගිය ද, “අප්ප මත්තා න මීයන්තී” යන බණ පදයට අනුව උන්වහන්සේ අප හැම අතර දිගුකල් වෙසෙනු ඇත.

අපවත්වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මුරුංගාගස්යායේ ඤාණිස්සර ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා!

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]