[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතිපූජනීය වූත් වන්දනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

අතිපූජනීය වූත් වන්දනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අතිගෞරවාර්හ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

" අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලාංකේය භික්ෂූත්වයේ යථාර්ථය පිළිඹිබු කෙරෙන කැඩපතක් බඳුය.

සුපටිපන්නාදි ගුණාංගයන්ගෙන් හෙබි සුපේශල ශික්ෂාකාමී පරාර්ථචර්යාව හා සබැඳි ශාසන මාමක බහුශ්‍රැත මහ තෙරනමකි"

මල්වතු මහාවිහාරාධිවාසී යටිනුවර ගැරැප්පිටිය හා පිළිමතලාව රණවන පුරාණ විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලාංකේය භික්ෂූත්වයේ යථාර්ථය පිළිඹිබු කෙරෙන කැඩපතක් බඳුය.

සුපටිපන්නාදි ගුණාංගයන්ගෙන් හෙබි සුපේශල ශික්ෂාකාමී පරාර්ථචර්යාව හා සබැඳි ශාසනමාමක බහුශ්‍රැත මහ තෙරනමකි. ඓතිහාසික කන්දඋඩරට නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිඹුල්කුඹුර ග්‍රාමයේ පැරැණි සම්භාව්‍ය පරපුරකට අයත් බජ්ජල වලව්වේ රම්බණ්ඩාර නිලමේතුමා හා ඩිංගිරි අම්මා මැණිකේ යන දම්පතීන් සදාදරණීය මව්පියන් කොට වර්ෂ 1942 ක් වූ අප්‍රේල් මස 16 වැනි දින ටිකිරි බණ්ඩාර යන ගිහි නාමයෙන් ජන්ම ලාභය ලැබූහ.

දිඹුල්කුඹුරේ කනිටු විදුහලෙන් මූලික අක්ෂර ශික්ෂාව ලබා ද්විතීය අධ්‍යාපනය සඳහා මල්වතු මහා විහාරයානු බද්ධ ශ්‍රී සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව සාර්වභෞම වියත් භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් ලැබූ අධ්‍යාපනය හා ශික්ෂණය ජීවිතය අර්ථවත්වීමට හේතුවිය.

පැවිදි දිවිය ඇලුම්කළ ටිකිරි බණ්ඩාර කුමරුවා 1965 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනි දින එවකට මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා මල්වතු මහාවිහාරවාසී මාත්ගමුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන්ගේ සහ යටිනුවර දොඩම්වල ගැරැප්පිටිය පුරාණ විහාරය, පිළිමතලාව රණවන පුරාණ විහාරය යන උභය විහාරාධිපති පූජ්‍ය ඉලුක්වත්තේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා වතුරකුඹුරේ ඥානවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පූර්වෝපචිත කුශලශ්‍රීයෙන් විරාජමානව මල්වතු මහා විහාරයේ දී උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවයට පත්විය.

අනතුරුව මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කොට 1970 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳව ගෞරව උපාධිය ලබා පෙරළා මල්වතු මහා විහාරයට වැඩම කොට මහාවිහාරයෙන් දියත් කළ ශාසනික හා ජාතික කාර්යයන් සඳහා සිය ජීවිතය කැප කළහ.

මෙම කාල පරිච්ඡේදය තුළ නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ එවකට මල්වතු මහා විහාරයීය අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් චිංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී වූ රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගල හිමි, රත්තින්දේ අනෝමදස්සී යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ කර්මවාගාචාර්යත්වයෙන් ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී සුපරිසුද්ධෝපසමිපදාව ලැබූහ.

1976 වර්ෂයේ දී නුවරඑළිය ශ්‍රී නිශ්ශංක විද්‍යාලයෙන් ගුරු සේවය ආරම්භ කරමින් 2001 වර්ෂයේ දී විදුහල්පතිවරයකු වශයෙන් විශ්‍රාමගන්නාතෙක් උන්වහන්සේ ලත් දැනුම ශාස්ත්‍ර දානයක් ලෙසින් දහස් සංඛ්‍යාත සිසුන් වෙත තිළිණ කළහ. ඒ වගේම මල්වතු මහා විහාරය කේන්ද්‍රකරගෙන සිදුකරනු ලබන සෑම කාර්යයක් වෙතම සෘජු දායකත්වයක් ලබාදුන් උන්වහන්සේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන ගිය “තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනමේ” ක්‍රියාකාරිකයකු වශයෙන් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කළහ.

ශාසනික කටයුතු ජාත්‍යන්තර තලය දක්වා ගෙනයාමට දායක වෙමින් ඉන්දියාව, තායිලන්තය, චීනය, බුරුමය, ලාඕසය හා සිංගප්පූරුව වැනි රටවල ආගමික ශාසනික කටයුතු සඳහා වැඩම කළහ. ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීමත් සමඟ 1982 වර්ෂයේදී යටිනුවර ගැරැප්පිටිය පුරාණ විහාරය හා පිළිමතලාව රණවන පුරාණ විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පදවියට ගෞරවාර්හ දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්වූහ.

මාහිමිපාණන් වහන්සේ විසින් එම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කළහ. උන්වහන්සේ සිදුකළ ශාසනික සේවයට උපහාරයක් ලෙසින් අතිගෞරවාර්හ විමලකීර්ති සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ සභික ධූරයට පත් කරන ලදී.

අතිගෞරවාර්හ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ කාරුණික අනුග්‍රහය ලබා ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධූරයට පත්ව බුද්ධෝපස්ථානයෙහි යෙදී දළදා මාලිගාවේ පෞරාණික වත් පිළිවෙත් පිළිබඳ මනා පරිචයක් ලබා ශ්‍රී දළදා මාලිගාවේ නායක ස්ථවිරයන් වහන්සේ ලෙස වගකීම් දැරීමද, 2002 දී උපාධ්‍යාය ධූරයට පත්වීමද නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්වකෘත පුණ්‍ය මහිමයකි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස සඟ ගුණාංගයන්ගෙන් සෝභමාන වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සසුනට දායාද කර තිබීමද උදාර ශාසනික මෙහෙවරෙහි කැපීපෙනෙන ලක්ෂණයකි.

අති ගෞරවාර්හ රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී අඹන්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ පඤ්ඤාසේකරාභිධාන ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමත් සමඟ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝසභාව විසින් උපාධ්‍යාය ධුරන්දර අතිගරු දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරයට සමානචිජදයෙන් පත්කරන ලදී.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]